බත් පතට වෙනස් රසයක්

ජනවාරි 23, 2023

වෙනස් රසයකින් යුතු ආහාර වේලක් රස විඳින්න කවුරුත් කැමැතියි. පහසුවෙන් සපයා ගැනීමට හැකි දේවලින් වෙනස් රසයක් එන ලෙස ව්‍යාංජනයක් සැකසිය හැකි නම් එය ඔබට පහසුවක් වේවි. අද අප ඔබට ඉදිරිපත් කරන්නේ බත් පතට වෙනස් රසයක් ගෙන දීමට පහසුවෙන් සකසා ගත හැකි ව්‍යාංජනයක් සහ වෙනස් රසයකින් යුතු චිලි පේස්ට් එකකි. මෙය ඔබේ බත් පත තවත් රසවත් කිරීමට සමත් වේවි.

 

පේර ඇඹුල

පේර ගහක් දෙකක් වත්තේ තිබෙනවා නම් ඔබට පහසුවෙන් සාදා ගත හැකි ව්‍යාංජනයකි. දවසින් දවස වෙනස් රසයක් ගෙන දෙන පේර ඇඹුල එකම ආකාරයේ ව්‍යාංජන රස විඳි ඔබට සැබෑම වෙනසක් ලබා ගැනීමට කදිමයි.

ඒ සඳහා

හොඳින් ඉදුණ පේරගෙඩි 4-5ක්

රතුලූනු ගෙඩි 3-4ක්

සුදුලූනු බික් 4-5ක්

අමු මිරිස් කරල් 3-4ක්

අවශ්‍ය නම් කුඩා තක්කාලි ගෙඩියක්

බැදපු මිරිස් කුඩු මේස හැන්දක්

අමු තුනපහ මේස හැඳි 2ක්

රම්පේ, කරපිංචා

කුරුඳු පොතු කැබැල්ලක්

අබ ස්වල්පයක්

උළුහාල් ස්වල්පයක්

තෙල් ස්වල්පයක්

ලුණු රස අනුව

කහ කුඩු ස්වල්පයක්

 

 

 

 

පේර ටික සෝදා හතරට පලා ඇට ඉවත් කරන්න. අතේ මහපටැඟිල්ල ආධාරයෙන් පහසුවෙන් ඇට ඉවත් කරගත හැකියි. මෙම ඇට ඉවත් කරගත් පේර කැබැලි දෙකට කපා ගෙන ලුණු හා කහ කලවම් කරන්න.

බඳුනකට තෙල් ස්වල්පයක් දමා ළිප තබන්න. එය රත්වන විට අබ, උළුහාල්, රම්පෙ, කරපිංචා, සිහින්ව කපා ගත් ලූනු, සුදු ලූනු, අමු මිරිස් ආදිය දමා තෙම්පරාදු කරගන්න. දැන් මෙයට මිරිස් කුඩු, තුනපහ ආදිය ද දමන්න. පසුව පේර කැබැලි ටික ද මෙයට එකතු කරන්න. හොඳින් කළවම් කරගෙන මඳ ගින්නේ පිසගන්න. මෙය තැම්බීමට වැඩි වේලාවක් ගත නොවේ.

උපදෙස්

ශ්‍යාමලී රාජපක්ෂ

--------------------------

සෝයාමීට් චිලි පේස්ට්

ඒ සඳහා

තම්බා ග්‍රයින්ඩ් කරගත් සෝයා මීට් ග්‍රෑම් 100ක්

තලාගත් ඉඟුරු, සුදු ලූනු ග්‍රෑම් 50ක් පමණ

සිහින්ව කපා ගත් කරපිංචා ග්‍රෑම් 50ක් පමණ

වියළි කෑලි මිරිස් ග්‍රෑම් 75ක් පමණ

ලුණු අවශ්‍ය පමණට

පොල් තෙල් ස්වල්පයක්

දුඹුරු සීනි ස්වල්පයක්

ලුණු වතුරේ දියකරගත් සියඹලා යුෂ ස්වල්පයක්

 

 

ප්‍රථමයෙන් මැටි ඇතිළියක් ළිපේ තබා පොල් තෙල් ස්වල්පයක් දමා හොඳින් රත්වන්නට තබන්න. ඉන්පසු එයට තලාගත් ඉඟුරු, සුදු ලූනු දමන්න. එය හොඳින් තෙම්පරාදු වන විට, එයට ග්‍රයින්ඩ් කරගත් සෝයාමීට් දමා රන්වන් පැහැ වන තෙක් බැදගන්න. මෙය කිරීමේ දී මඳ ගින්නේ එය තබා ගැනීමට සිහි තබා ගන්න.

සෝයාමීට් රන්වන් පැහැයට හැරෙන විට කුඩාවට කපා ගත් කරපිංචා එයට එකතුකර කලවම් කරන්න. මෙයට ම කෑලි මිරිස් එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. ස්වල්ප වේලාවකින් දියකරගත් සියඹලා යුෂ හා අවශ්‍ය පමණට සීනි එකතුකර හොඳින් කලවම් කරන්න. මෙයට රස අනුව ලුණු ද එකතු කරන්න. නිවෙන්නට තබා හොඳින් පිරිසුදුකර වියළා ගත් බෝතලයක දමා අසුරා ගන්න.

මෙය සෑදීමේ දී මිරිස් කළු නොවන සේ, රතු පැහැයට තිබෙන අයුරින් බැදගැනීමට මතක තබා ගන්න. සීනි එක්කළ පසුව මෙයට රන්වන් පැහැයක් ලැබේ. 

උපදෙස් - මදූෂි මායාදුන්නේ