ආදරණීය සැමරුමකට චොකලට්වලින් හැඩවැඩ කළ කේක් එකක්

දෙසැම්බර් 4, 2023

දියණියක්, බිරියක්, මවක් වූ ඔබ සැමවිටම වෙහෙස වෙන්නෙ තමන්ගෙ ආදරණීයයන් සතුටින් සහ සුව පහසුවෙන් තබන්නටයි. ඔවුන් වෙනුවෙන් තරම් වෙහෙස මහන්සිව වැඩ කළත් කිසිවිටෙකත් වෙහෙසක්, එපාවීමක් දැනෙන්නෙම නැති තරම්. ඒ විතරක් නෙමෙයි පුංචි පුංචි පුදුම කිරීම් හරහා ඔවුන්ව පුදුමයට පත් කරවන්නටත් ඔබ අමතක කරන්නේ නැහැ.

බලන්න... මේ කේක් එක විවාහ සැමරුමක්, එහෙත් නැතිනම් ආදරණීය සැමියාගේ උපන්දිනයක් සමරන්නට ආදරයෙන් තිළිණ කළ හැකියි නේද?

 

අවශ්‍ය ද්‍රව්‍ය

* අඟල් 06 ප්‍රමාණයේ කේක් තැටියේ බේක් කරගත් කේක් 3ක්

* බටර් අයිසිං සහ චොකලට් අයිසිං

* ඩාක් චොකලට් ගානිෂ්

* විවිධ වර්ගයේ චොකලට් (චොකලට් බාර්, ලොකු පොඩි චොකලට් බෝල, චොකලට්වලින් ආවරණය කරන ලද වේෆස් බිස්කට්)

* රවුම් චොකලට් ක්‍රීම් බිස්කට් කිහිපයක්

* චොකලට් කප් කේක් එකක්

* ඉදුණු ස්ට්‍රෝබෙරි ගෙඩි 7-8ක්

* එඩිබල් ගෝල්ඩ් ලීෆ්

* සුදු පැහැති අඟල් 10 ප්‍රමාණයේ කේක් බෝඩ් එකක්

* කළු පැහැති ෆොන්ඩන්ට් අයිසිං පොඩි ප්‍රමාණයක්

* එඩිබල් ග්ලූ ස්වල්පයක්

 

සකස් කරගන්නා ආකාරය

 

* බේක් කරගත් කේක් එක හොඳින් නිවෙන්න හැර, අයිසිං කිරීමට සුදුසු පරිදි අනවශ්‍ය කොටස් ඉවත්කර සූදානම් කරගන්න.

* ඉන්පසු ටර්නින් ටේබල් එක මත කේක් බෝඩ් එක තබා ඒ මත කේක් එක තබන්න. දැන් කේක් එකේ මැද චොකලට් අයිසිංවලින් සැන්ඩ්විච්කර, කේක් එක බටර් අයිසිංවලින් ආවරණය කරගන්න. එය විනාඩි 10ක් පමණ ශීතකරණයේ තබන්න.

* ශීතකරණයේ තැබූ කේක් එක නැවත ටර්නින් ටේබල් එක මත තබා බටර් අයිසිං හොඳින් තවරා කේක් එක ලස්සනට ආවරණය කරගන්න. එනම්බටර් අයිසිංවලින් ෆිනිෂින් කරගන්න.

* නැවත කේක් එක ශීතකරණයේ තබන්න.

* කේක් එක හොඳින් ශීත වූ පසු සාදාගත් ඩාක් චොකලට් ගානිෂ් එක කේක් එක වටේට වැක්කෙරෙන වත්කර ගන්න. පසුව නැවතත් කේක් එක විනාඩි 5-10ක් ශීතකරණයේ තබන්න.

* කලින් සාදාගත් කප් කේක් එක මත චොකලට් අයිසිං 2ච් නොසෙල් එකෙන් පයිප් කරන්න. ඉන්පසු එය කේක් එක මත රඳවා ගන්න.

* පසුව මේ කේක් එක ඔබ කැමති, ගැළපෙන ආකාරයට ලස්සනට හැඩ ගන්වා ගන්න. ස්ට්‍රෝබෙරි ද සම්පූර්ණ ගෙඩි හා කපා ගත් බාග එකතු කරන්න.

* අවසානයේ කේක් එක ඉදිරිපස කේක් බෝඩ් එක මත අවශ්‍ය නම හා වයස හෝ ඔබට පණිවුඩය ෆොන්ඩන්ට් කටර් එකක් ආධාරයෙන් කපා එඩිබල් ග්ලූවලින් අලවා ගන්න.

 

 

උපදෙස්

කේක් නිර්මාණ ශිල්පිනී

නිසංසලා වීරක්කොඩි