නත්තලට නැතිවම බැරි ස්වීට්ස්

දෙසැම්බර් 11, 2023

අවුරුද්දේ ලස්සනම දවස් උදා වෙන්නේ අන්තිමට. හැමෝම හිතන්නේ එහෙමයි. මොකද සීතල නත්තල කියන්නේ ක්‍රිස්තියානි, බෞද්ධ, මුස්ලිම් ඔය කොයි ආගමේ වුණත් කාටත් ලස්සන මිහිරි කාලයක්. ඉතිං ඒ නත්තල උදා වෙන්න තවත් ඉතිරිව ඇත්තේ සති දෙක තුනක් පමණයි. නත්තල ගැන මතක් කරද්දිම කාටත් මතක් වෙන්නේ රතු, කොළ, කහ වගේ වර්ණවත් පාටවලින් සැකසුණු රසකැවිලි මේසයක්. මේ නිසාම නත්තල කියන්නේ පොඩ්ඩන්ට නම් අවුරුද්දේ හොඳම දවස් කිහිපය කිව්වොත් හරියටම හරි. ඉතින් ලොක්කන්ටයි පොඩ්ඩන්ටයි හරියටම ගැළපෙන විදිහට පුංචි පුංචි නත්තල් රසකැවිලි කිහිපයක් ගෙන එන්න හිතුවා. සීතල නත්තල තවත් මිහිරි කරන මේ රසකැවිලි ඔයාලත් හදලා නත්තලේ මිහිර බෙදා ගන්න.

 

 

සිනමන් කැන්ඩි කේන්

බටර් කෝප්ප 1ක් (කාමර උෂ්ණත්වයේ)

සිහින්ව කුඩු කරගත් සීනි කෝප්ප 1ක්

ලොකු බිත්තර 1ක්

වැනිලා රසකාරක තේ හැඳි 1ක්

කුරුඳු කුඩු තේ හැඳි 1ක්

සිහින්ව කුඩු කරගත් Red Hots කෝප්ප 1/2ක්

ලුණු තේ හැඳි 1/2ක්

රතු වර්ණකාරක තේ හැඳි 1/2 - 3/4 ක් පමණ

 

 

තරමක් ලොකු භාජනයක් ගෙන එයට බටර් සහ සීනි එකතුකර ක්‍රීම් වනතුරු බීට් කරගන්න. එයටම බිත්තර ද එකතුකර බීට් කරගන්න. දැන් එයටම වැනිලා, කුරුඳු කුඩු එකතුකර බීට් කරගන්න. ඉන්පසු පිටි, ලුණු සහ සිහින්ව කුඩු කරගත් රෙඩ් හොට් ද එකතුකර සෙමින් බීට් කරගන්න. කුකී පිටි ගුලිය අතින් හෝ ලී හැන්ඳකින් හොඳින් අනා ගන්න.

පිටි මිශ්‍රණය සමානව භාජන දෙකකට වෙන්කර ගෙන, එක භාජනයකට රතු පැහැ වර්ණකය එකතුකර අතින් හොඳින් මිශ්‍ර කරන්න.

භාජන දෙකෙන්ම වෙන වෙනම අඟල් 4 1/2ක් පමණ දිග, අඟල් 1 පමණ පළල දිග කඹ සාදාගෙන වර්ණ දෙකෙන් කඹ එකිනෙකට අඹරා ගන්න.

සාදා ගත් කඹය එක පැත්තක් මිටක හැඩයක් ආකාරයට නවාගන්න. බේකිං ෂීට් එකකට සාදා ගත් කැන්ඩි කේන් ඉඩ තියෙන විදිහට අතුරා ගන්න. සෙල්සියස් අංශක 375 ට අවන් එක රත්කර ගෙන මිනිත්තු 10ක් පමණ රන්වන් පැහැ වනතුරු බේක්කර නිවෙන්නට හරින්න.

**********************

රම් බෝල්ස්

 

කුඩු කරගත් බටර් කේක් ග්‍රෑම් 450ක්

පොඩි උකු ටින්කිරි එකක්

ඩෙසිකේටඩ් කොකනට් කප් 1ක්

කොකෝවා පවුඩර් කප් 1/2ක්

රම් මේස හැඳි 2ක්

සරසා ගැනීමට ඩෙසිකේටඩ් කොකනට් හෝ දියකරගත් කුකිං චොකලට්

 

 

සරසා ගන්න දේවල් හැර අනෙක් සියල්ලම එකට මිශ්‍ර කරගන්න. කුඩා බෝල සාදා ගන්න. ඩෙසිකේටඩ් කොකනට්වලින් සරසනවා නම් එවේලේම දවටා ශීතකරණයේ තබා ගන්න.

දියකරගත් චොකලට්වලින් සරසනවා නම් සාදාගත් රම් බෝල විනාඩි 30ක් ශීතකර චොකලට්වල දවටා නැවත ශීත කරගන්න.

**********************

මිනි ක්‍රිස්මස් රීත්

මාෂ්මෙලෝස් ග්‍රෑම් 200ක්

බටර් මේස හැඳි 2ක්

කොළ පාට කලරින්

කෝන්ෆ්ලේක්ස් කෝප්ප 2ක්

ස්ප්‍රින්කල්ස්

 

මාෂ්මෙලෝස් සහ බටර් එකට දමා මයික්‍රොවේව් කරගන්න. දැන් මේකට කොළ පාට කලරින් දාලා කලවම් කරගන්න. ඉන්පස්සේ මේකට කෝන්ෆ්ලෙක්ස් ටිකක් දාලා කලවම් කරගන්න.

ට්‍රේ එකක් අරගෙන බේකිං ෂීට් එකක් දාලා මේ මිශ්‍රණයෙන් පොඩි කෝප්ප 1 ගානේ දාලා මැද්දෙන් හිලක් හදා ගන්න. දැන් මේකට ස්ප්‍රින්කල්ස් එක එක විදිහෙන් දාගන්න. දැන් ශීතකරණයට දාගන්න.

**********************

ස්නෝ මෑන්

 

උණු කරගත් වයිට් චොකලට් ග්‍රෑම් 200ක්

මෙල්ට් කරගත් බටර් කෝප්ප 1/2ක්

පොල් තෙල් මේස හැඳි 2ක්

මිල්ක්මේඩ් කෝප්ප 1/2ක්

ඩෙසිකේටඩ් කොකනට් කෝප්ප 1 1/2ක්

 

 මේවා ඔක්කොම හොඳට කලවම් කරලා ශීතකරණයට දාගන්න. පැය 2කින් එළියට අරන් හැන්දකින් හූරලා අරන් කුඩා බෝල හදා ගන්න. ඒවා ඩෙසිකේටඩ් කොකනට්වල දවටා ගන්න. බෝල 3ක් ටූත් පීක් එකකින් සෙට් කරන්න. දැන් ඇස් දෙකට පොඩි බෝල දෙකක් තියලා, නහය හදලා ෆොන්ඩන්ට්වලින් ලේන්සුවක් කපලා බෙල්ල වටේ ඔතන්න.

 

 

උපදෙස්

සූපවේදී සුජිත් ආරියරත්න