අවුරුදු මේසය සරසන හරි ලස්සන රසම කේක්

අප්‍රේල් 8, 2024

 

බක්මහ සිරියත් සමඟින් අවට සිසාරා පැතිර යන්නේ පදමට බැදෙමින්, රසට හැදෙන කැවිලි පෙවිලිවල රසමුසු සුවඳයි. මේ සුවඳ ඉතිරී පැතිරී යන විට එය මොනතරම් සිරියාවක් ද? ඒ විතරක් නෙවෙයි ඒ රසයත් එක්ක කේක් කෑල්ලක රසයත් එක සේ විඳින්න ඇත්නම්ි, කැවිලි මේසය සම්පූර්ණයි. මේ ඔබේම දෑතින් පහසුවෙන් අඩු මුදලකින් හදාගන්න පුළුවන් කේක් කිහිපයකි.

ඉතිං ලහිලහියේ අවුරුදු සංග්‍රහයට සූදානම් වන ඔබට තරුණී වෙතින් පිදෙන රසමුසු සංග්‍රහයයි මේ.

කදිම රස ලෙමන් කේක්

විවිධ රසැති කේක් අතරට වෙනස්ම රසයක් ඇති ලෙමන් කේක් එකකි. දෙහි යුෂ එකතු කරගනිමින් සාදාගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය -

බිත්තර 6ක්

සීනි ග්‍රෑම් 200ක්

පිටි ග්‍රෑම් 150ක්

බේකින් පවුඩර් තේ හැඳි 02ක්

බටර් තේ හැඳි 02ක්

කිරි මේස හැඳි 05ක්

දෙහි යුෂ තේ හැඳි 03ක්

සූරාගත් දෙහි ලෙලි

තේ හැඳි 1/2ක්

 

සාදන ක්‍රමය

 

මුලින්ම බඳුනකට කිරි සහ බටර් දමා එය රත්වෙන්නට තබා ඉන්පසු නිවෙන්නට පසෙකින් තබන්න. ඉන්පසු බිත්තර සුදුමදවලට ලුණු ස්වල්පයක් එක්කරමින් ඝනවන තෙක් ගසන්න. බිත්තර ගසාගන්නා අතරතුරදී සීනිත් ටිකෙන් ටික දමන්න. බිත්තර කහ මද ද වරකට එක බැගින් එකතු කරමින් ගසන්න.

දැන් මෙයට සිහින්ව සූරාගත් දෙහි ලෙලි සහ දෙහි යුෂ තේ හැඳි තුන ද එක්කර ගන්න.

මීළඟට පිටි සමඟ බේකින් පවුඩර් එක්කර තුන්වරක් හලා ගන්න. දැන් පිටි සහ කලින් සකසා ගත් පිටි මිශ්‍රණය මාරුවෙන් මාරුවට දමමින් හැන්දකින් පෙරළන්න.

ඉන්පසුව විෂ්කම්භය අඟල් 9ක් වූ රවුම් තැටි 2ක් ගෙන එහි බටර් සහ සීනි තවරා එයට කේක් මිශ්‍රණය දමාගන්න. සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වය ඇති උඳුනක විනාඩි 20 - 25ක් පමණ බේක්කර ගන්න.

කේක් නිවුණු පසු එක් කේක් එකක් මත බටර් අයිසින් තවරා අනෙක් කේක් එක ඒ මතින් තබන්න.

බටර් අයිසින් සඳහා බටර් ග්‍රෑම් 50ක් අයිසින් සීනි ග්‍රෑම් 100ක් එක්කර බීට් කරගත යුතුයි. (ගසාගත යුතුයි)

දැන් මේ සඳහා ලෙමන් ෆ්‍රොස්ටින් අයිසින් සාදාගත යුතුයි. එය සාදාගන්නා අාකාරයයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

සීනි ග්‍රෑම් 150ක්

බිත්තර සුදුමද 02ක්

දෙහි යුෂ තේ හැඳි 03ක්

වතුර මේස හැඳි 05ක්

 

සාදන ක්‍රමය

 

බිත්තර සුදු මදය ඝන වනතෙක් ගසා ගන්න. දෙහි යුෂ, සීනි, වතුර එකට මිශ්‍රකර රත් කරන්න. එම මිශ්‍රණය මඳගින්නේ උතුරවන්න. මෙයින් බිංදු කිහිපයක් ඇල්වතුරට දැමූ විට මෘදු ගුළියක් ආකාරයට සෑදේ නම් මිශ්‍රණය පදමට උකු වී ඇත. එවිට මෙම සීනි මිශ්‍රණය ගසාගත් බිත්තර සුදුමද මතට වත්කරමින් ඉතාම වේගයෙන් බීටරයෙන් ගසා ගන්න. ගසාගත් මිශ්‍රණය සහිත බීටරය උඩට ඔසවන විට මිශ්‍රණය පහළට නොවැටෙන ආකාරයෙන් තිබෙනතෙක් නොකඩවාම ගසන්න. මෙය වහාම කේක් එක වටා තවරා ඉන්පසු පිහිතුඩකින් හෝ ගෑරුප්පුවකින් කැමැති ආකාරයට සකසා ගන්න.

ලස්සන පාටට රිබන් කේක්

ලස්සන පාටින් තියෙන මේ වැනිලා බටර් කේක් එක තේ වෙලාවකට වගේනම් නියමෙට ගැළපෙනවා. ඒ වගේම තමයි උපන්දින කේක්වලට එහෙම ගන්නෙත් මේ රිබන් කේක් එක තමයි. බටර් කේක් එකක් හදාගන්න දන්නා ඔයාලාට මේ රිබන් කේක් එක හදන එක මහ ලොකු වැඩක් නෙවෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

පාන් පිටි ග්‍රෑම් 250

කැස්ටර් සීනි ග්‍රෑම් 250

මාගරින් හෝ බටර් ග්‍රෑම් 250

බිත්තර 04ක්

කිරි කෝප්ප 1/4ක්

බේකින් පවුඩර් තේ හැඳි 02ක්

වැනිලා තේ හැඳි 01ක්

ෆුඩ් කලරින් කොළ හා රෝස පාට

සාදන ක්‍රමය:

සීනි ටිකයි මාගරින් ටිකයි හොඳට ක්‍රීම් ගතියට එනකන් බීට් කර ගන්න. ඔයාලා මේකට සීනි ටික ග්‍රයින්ඩ් කරලා අර ගත්තහම මාගරින් ටිකත් එක්ක හරිම ලේසියෙන් ඉක්මනින් කලවම් කරගන්න පුළුවන්.

බැටර් එක හොඳට ක්‍රීම් ගතියට ආවාට පස්සේ බිත්තර එක එක දදා බීට් කරන්න.

වැනිලා ටික එකතු කර ගන්න.

පිටි ටිකට බේකින් පවුඩර් ටික දාලා හොඳට හලලා මේ බැටර් එකටම දාගන්න.

පිටි ටික දාගත්තාට පස්සේ බීට් කරන එක නතර කරලා කලවම් කරන්න. පිටි ටික දාගත්තාට පස්සේ ඕනෑවට වඩා බීට් කළොත් එහෙම කේක් එක හයිය වෙනවා.

පිටි ටික කලවම් කර ගත්තාට පස්සේ කිරි ටික දා ගන්න.

දැන් මේ බැටර් එකට පාට දා ගන්න ඕනේ. ඒකට බටර් එක සමාන කොටස් දෙකකට බෙදලා බෝල් දෙකකට දා ගන්න.

එක කොටසකට කොළ පාට කලරිනුත් අනිත් කොටසට රෝස පාට කලරිනුත් දාගන්න.

මුලින්ම බේකින් ට්‍රේ එකේ යටට කොළ පාට බැටර් එක දාගන්න. ඒකට උඩින් හෙමින් සැරේ රෝස පාට බැටර් එක දාලා වැඩිය තද කරන්නේ නැතුව හෙමින් සැරේ මට්ටම් කර ගන්න.

මේ කේක් එක 180° C ක උෂ්ණත්වයක විනාඩි 35ක් 40ක් විතර බේක් කර ගන්න.

බේක් කර ගත්තාට පස්සේ කේක් එක නිවෙන්න තියලා රස බලන්න.

මේ තියෙන්නේ රිබන් කේක් බේක් කරන එක විදිහක්. මේ විදිහට පාට දෙකම එකම බේකින් ට්‍රේ එකකට දාන්නේ නැතුව ඔයාලාට ඕනේ නම් පාට දෙක වෙන වෙනම බේක් කරලා පස්සේ එකතු කර ගන්නත් පුළුවන්.

 

නියම පදමට ‍ෙචාකලට් කේක්

ලොකු කුඩා කවුරුත් ආසාවෙන් රස විඳින ජනප්‍රිය කේක් එකකි මේ,

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් ග්‍රෑම් 250ක්

සීනි ග්‍රෑම් 250ක්

පිටි ග්‍රෑම් 225ක්

කොකෝ පවුඩර් ග්‍රෑම් 25ක්

බිත්තර 4ක් හෝ 5ක්

බේකින් පවුඩර් තේ හැඳි 1/2ක්

කිරි කෝප්ප 1/4ක්

 

සාදන ක්‍රමය

පළමුව බටර් කේක් සහ සීනි එක්කර හොඳින් ගසා ගන්න. ඉන්පසු බිත්තර එක බැගින් දමමින් ගසන්න. පිටි, කොකෝ පවුඩර් සමඟ එක්කර හළා ගන්න. දැන් හොඳින් ගසාගත් බටර් මිශ්‍රණයට පිටි ටික ටික දමා කලවම් කරගන්න. කිරිවලට බේිකින් සෝඩා දමා දියකර එය කේක් මිශ්‍රණයට දමා කලවම් කරගන්න. මෙහිදී මිශ්‍රණය දියාරු ගතියෙන් වැඩිවීම හෝ ගොරෝසු වීම වළක්වාගත යුතුයි.

කේක් එක ගසන විට සීනි දියවනතුරු තියා නොගැසිය යුතුයි. එසේ කිරීමට යාමෙන් මිශ්‍රණය දියාරු ස්වභාවයක් ගනියි.

එය කේක් එකෙහි තද ගතියක් ඇතිවීමට බලපායි. එලෙසම අවන් එකෙහි උෂ්ණත්වය අඩු වැඩිවීම්වලදී ද කේක් එකෙහි තදවීමක් අැතිවිය හැකියි. මෙහිදී කේක් එක මැදින් බැසීමට ද ඉඩ ඇත. සකසාගත් කේක් මිශ්‍රණය බේක්කර ගන්නා විට සෙල්සියස් අංශක 160ට තබා විනාඩි 45ක පමණ කාලයක් බේක්කර ගන්න.

චොකලට් එක සාදා ගන්නා අයුරු

චොකලට් කේක් එක සඳහා අප භාවිත කරනුයේ චොකලට් අයිසින් පමණි. මෙහිදී අප බටර් අයිසින් යෙදුවහොත් එහි රසය වෙනස් වෙයි.

චොකලට් අයිසින් සඳහා

බටර් ග්‍රෑම් 100ක්

අයිසින් සීනි ග්‍රෑම් 250ක්

මෙය බීට් කරන්න. ඉන්පසු චොකලට් හෝ කොකෝ පවුඩර් දමා මිශ්‍රකර ගැනීමෙන් චොකලට් අයිසින් සාදාගත හැකියි. වැනිලා එසන්ස් ස්වල්පයක් එක්කර ගැනීමෙන් රසය හා වර්ණය වැඩිපුර ගත හැකියි.

 

පහසුවෙන් හදන්න පුළුවන් බටර් කේක්

පැයක් වගේ කෙටි කාලයකින් සොෆ්ට් බටර් කේක් එකක් හදා ගන්න පුළුවන් නම් අපූරුයි නේද? පුංචි බබාලාටත් මේ කේක් එක රස විඳින්න පුළුවන්. හරිම පහසු සරල මේ කේක් එක මේ විදියට හදලා බලමු.

කිලෝ එකක කේක් එකකට අවශ්‍ය ද්‍රව්‍ය

බටර් හෝ මාගරින් ග්‍රෑම් 250

සීනි ග්‍රෑම් 250

බිත්තර 4

පාන්පිටි ග්‍රෑම් 250

බේකින් පවුඩර්

වැනිලා ස්වල්පයක්

 

මෙන්න මෙහෙම හදා ගන්න.

සීනි හා බටර් හොඳින් බීට් කර ගන්න.

මෙයට බිත්තර හතර වරින් වර එකතු කර විනාඩි විස්සක් පමණ හොඳින් බීට් කරන්න.

එයට වැනිලා තේ හැඳි දෙකක් එකතු කරන්න.

පාන්පිටි ග්‍රෑම් 250ට බේකින් පවුඩර් තේ හැඳි දෙකක් එකතු කර තුන් වතාවක් හලා ගන්න.

බටර් මිශ්‍රණයට පාන්පිටි එකතු කර එක දිශාවකට පමණක් කලවම් කරගන්න.අඟල් 8×8 කේක් තැටියකට තෙල් කඩදාසි අතුරා ගන්න.

සෙල්සියස් අංශක 180 හා ෆැරන්හයිට් අංශක 360 දී විනාඩි හතළිහක් පමණ බේක් කරගන්න.

 

 

 

කේක් නිර්මාණ උපදේශිකා

පැසන්ඩා ශ්‍යාමිණී ජයකොඩි