අලුත් අවුරුද්දෙ ඇඟට දාගත්ත තෙල් බස්සන පුදුම කෑම

අප්‍රේල් 15, 2024

 

හැමෝම එනකල් බලාගෙන හිටපු සිංහල අලුත් අවුරුද්ද ගෙවුණේ හරිම ඉක්මනට වගේ.

තෙල් තාච්චි ළිප තියලා.. නැකතට චාරිත්‍ර කරලා... නෑගම් ගිහින් වැඩිහිටියන්ගේ ආශීර්වාදය අරගෙන මේ සිංහල අලුත් අවුරුද්ද අපි හැමෝම සැමරුවේ මහ ඉහළින්. ඉතින් මේ අලුත් අවුරුදු සතියෙ ගෙවුණෙම සිංහල අලුත් අවුරුදු කැවිලි පෙවිලි එක්ක. දකින දකින කාගේ කාගෙත් අත්වල තිබුණේ කොණ්ඩ කැවුමක්.... මුං කැවුමක්... එහෙමත් නැත්තම් උඳු වළල්ලක්. මේ දවස්වල කාපු මේ තෙල් කෑම දිවට රස වුණාට ඇඟට නම් වැඩිය

ගු ණදායක නැහැ. ඒ නිසාම ඉදිරි දින ටිකේ තෙල් කෑමෙන් ටිකක් ඈත් වෙලා ඉන්න එක කාට කාටත් හොඳයි. ඉතින් ඒ නිසාම අවුරුද්දේ තෙල් කෑම එක්ක ඔට්ටු වුණ අයට මෙදා සැරේ ගේන්න හිතුවෙ තෙල් අඩු ගමේ කෑම ටිකක්. මේ ටික හදලම රස බලමු.

 

 

වට්ටක්කා මිශ්‍ර බත

 

 වට්ටක්කා රස බලන්න වැඩියෙන්ම කැමැති පොඩිහිටියන්. හැබැයි මේ වට්ටක්කා බත ලොකු පොඩි කවුරුත් ආසාවෙන් රස බලාවි. මොකද ඉස්සන්, කුකුළු මස් සහ සොසේජස් එකතු කරලා සකසන මේ බත ඉතාම රසවත්.

 

 මේ සඳහා කපාගත් වට්ටක්කා ග්‍රෑම් 500ක්, කපාගත් සොසේජස් කිහිපයක්, කපාගත් හතු කෝප්ප 1/2ක් (සෝදලා වතුර මිරිකලා ගන්න), කපාගත් ඉස්සන් ග්‍රෑම් 100ක්, අඹරාගත් කුකුළු මස් ග්‍රෑම් 100ක්, සීනි මේස හැඳි 1ක්, කපාගත් සෝයාසෝස් මේස හැඳි 2ක්, කුඩාවට කපාගත් වට්ටක්කා කෝප්ප 1ක්, හාල් කෝප්ප 1ක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

 පෑන් එකට තෙල් ටිකක් දාලා කුකුළු මස් ටික දාලා ෆ්‍රයි කරගන්න. ඊළඟට හතු, සොසේජස්, ඉස්සො ටික දාගන්න. හොඳට බැදගන්න.

ඒකට සීනි, සෝයාසෝස්, වතුර කෝප්ප 1/2ක් වගේ දාලා  වට්ටක්කා ටිකත් දාලා වහලා විනාඩි 5-10ක් තැම්බෙන්න තියලා ළිප නිවාගන්න. 

හාල් ටික සෝදලා වතුර අවශ්‍ය පමණට දාලා ලුණු හා සෝයාසෝස් ටිකක් දාගන්න. 

බත ඉදුණම හදාගත් මිශ්‍රණය බත් එකට දාලා හොඳට මිශ්‍ර කරගන්න. 

 

රණවරා මැල්ලුම

රණවරා කියන්නේ අපේ ආයුර්වේදයේ නිතරම සඳහන් වෙන හරි අපූරු ඖෂධයකි. රණවරා කෑවාම හමේ පාට වැටෙනවාය කියලාත් කියනවා. මේ රණවරා මැල්ලුම හදාගන්න

රණවරා කොළ, රතුලූනුු, අමු මිරිස්, ලුණු සහ ගාගත් පොල් ස්වල්පයක් අවශ්‍යයි.

මුලින්ම රණවරා කොළ ටික හීනියට ලියාගන්න. රතුලූනූ ටිකයි, අමුමිරිස් ටිකයි හීනියට කපාගෙන ඒවා ගාගත් පොල් එක්ක මිශ්‍රකර ගන්න. ලුණු අවශ්‍ය පමණින් එකතුකර ගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණයට මැල්ලුම් කොළ ටික දාලා මලවා ගන්නයි තියෙන්නේ. පස්සේ රහ වැඩි කරගන්න දෙහි චුට්ටක් දාන්න.

 

අළුපුහුල් වෑංජනය

අළුපුහුල් එදා ගම්වල නිතර දෙවෙලේ කෑමට එකතු කරගත් කෑමක් වුණාට දැන් ඉන්න උදවිය අළුපුහුල් මුළුතැන්ගෙට ගේන්නේත් කලාතුරකින්. හැබැයි නිතර දෙවේලේ දකින්න නැති දේ තමයි හොඳම දේ කියලත් කියනවනේ.. ආන් ඒ වගේ අළුපුහුල් ගෙඩියෙත් ගුණ බොහොමයි. එහෙනම් අළුපුහුල් වෑංජනය මේ විදිහට හදලා බලමු.

අළුපුහුල් ගෙඩියෙන් කාලක්, අමු තුනපහ කුඩු තේ හැඳි 2ක්, මිරිස් කුඩු තේ හැඳි 2ක්, රතුලූනූ ගෙඩි 4-5ක්, අමු මිරිස් කරල් 2ක්, සුදුලූනූ බික් කිහිපයක්, කහ කුඩු තේ හැඳි 1/2ක්, ලුණු සහ මිටිකිරි කෝප්ප 3/4ක් අවශ්‍යයි

 මුලින්ම අළුපුහුල්වල පිට පොත්ත අයින් කරලා හෝදලා ඇට එක්කම මදය කෑලිවලට කපාගන්න.

මැටි ඇතිලියකට මේ ටික දාලා අමු තුනපහ කුඩු හා මිරිස් කුඩු කබලේ යාන්තමට බැදලා මේකට දාගන්න. දැන් ලූනු, අමුමිරිස්, සුදුලූනු හීනියට ලියාගෙන පුහුල් එකට දාගෙන ඒකටම ලුණු හා කහ එකතු කරලා වතුර කෝප්ප කාලක් එක්ක ළිපේ තියන්න.

මේ ටික තැම්බීගෙන එනකොට මිටි කිරි ටික දාගන්න. දැන් කිරි ටික උතුරනකොට ළිපෙන් බාගන්න.

 

මුං මස්

කුකුළු මස්වලට සම කළ හැකි මුං මස් වෑංජනයක් එක්ක කැකුළු හාල් බතක් බඩ පැලෙනකම් කතහැකියි. එහෙමයි එදා ගමේ උදවිය කිව්වේ. එදා හදපු මුං මස් කරිය අද මෙහෙම හදලා බලමු.

 

මේ සඳහා මුං මිශ්‍රණයට මුං ඇට ග්‍රෑම් 200ක්, කරපිංචා, සුදුලූනු බික් 3-4ක්, තළාගත් බී ලූනු ගෙඩි 1ක්, තළාගත් අමු මිරිස් කරල් 2ක්, ගම්මිරිස් කුඩු ටිකක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

කරිය සැකසීම සඳහා ඉඟුරු සුදුලූනු පේස්ට් ස්වපයක්, මිරිස් කුඩු තේ හැඳි 2ක්, කහ කුඩු තේ හැඳි 1/2ක්, ගම්මිරිස් කුඩු ටිකක්, ලුණු, අමු තුනපහ කුඩු තේ හැඳි 1/2ක්, ගොරකා කෑලි 3ක්, චොප්කරගත් ලූනු ටිකක්, උළුහාල් ස්වල්පයක්, සූදුරු ස්වල්පයක්, මිටිකිරි කෝප්ප 1ක්, බැදපු තුනපහ කුඩු ටිකක් සහ රම්පේ කෑල්ලක් අවශ්‍යයි.

මෙය සැකසීමේදී මුං ඇට රැයක් පෙඟෙන්න දාලා අරගෙන මුං මිශ්‍රණයට කිව්ව ඔක්කොම දාලා ග්‍රයින්ඩ් කර ගන්න. දැන් ස්ටීම් කරන්න පුළුවන් තැටියක කෙසෙල් කොළයක් දාලා හරි බටර් ගාගත් ලන්ච් ශීට් එකක් හරි දාලා ඒකට මේ මික්ස් එක දාලා තරමක් මහතට තුනී කරගෙන විනාඩි 30ක් ස්ටීම් කරගන්න. ඊට පස්සෙ කෑලි කපාගන්න.

තෙල් ටිකක් භාජනයකට දාලා රත්වෙනකොට ලූනූ, ඉඟුරු සුදුලූනූ පේස්ට් එක දාලා තෙම්පරාදු කර ගන්න. ටිකකින් උළුහාල්, සූදුරු, ගොරකා සහ රම්පේ එකතු කරගන්න.

මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු හා ලුණු රස අනුව දාගන්න. හොඳට මිශ්‍ර කරලා ස්ටීම් කරපු මුං කෑලි ඇතිලියේ අතුරාගන්න. කිරි ටික දාලා උතුරනකොට බැදපු තුනපහ කුඩු ටිකක් උඩින් ඉහලා අවශ්‍ය ගානට කරිය හිටින්න හින්දගෙන ළිප ඕෆ් කරගන්න.

 

 

 

බීට්රූට් බතක්

 

බීට්රූට්වලින් බත් හදන්න පුළුවන්ද කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මොකද බැරි.. මෙන්නම මේ විදිහට මේ බත හදන්න පටන් ගමු.

 

බත සැකසීමට සිහින්ව ලියාගත් බීට්රූට් ගෙඩි 1ක්, සෝදාගත් හාල් කෝප්ප 2ක්, බේ ලීව්ස් 2ක්, තෙල් ස්වල්පයක්, ගම්මිරිස් ඇට ස්වල්පයක්, කරාබුනැටි 2-3ක්, සූදුරු තේ හැඳි 1ක්, කුරුඳු පොතු 1ක්, කපාගත් අමු මිරිස් කරල් 2ක්, කපාගත් ලූනූ ගෙඩි 1ක්, ඉඟුරු සුදුලූනූ පේස්ට් මේස හැඳි 1ක්, කහ කුඩු තේ හැඳි 1/4ක්, මිරිස් කුඩු තේ හැඳි 1/2ක්, තම්බාගත් ග්‍රීන්පීස් කෝප්ප 1/2ක්, මින්චි කොළ ස්වල්පයක් අවශ්‍යයි.

 මුලින්ම භාජනයක් ළිපේ තියලා තෙල් ටිකක් දාගන්න. මේකට බේ ලීව්ස්, ගම්මිරිස් ඇට, කරාබුනැටි, සූදුරු, කුරුඳු පොතු හා අමු මිරිස් ටික එකතු කරන්න. 

කළවම් කරන ගමන් ලූනු ටික දාගන්න. ලූනු ටික මැලවුණාම ඉඟුරු, සුදුලූනු පේස්ට්, කහ කුඩු, මිරිස් කුඩු, ග්‍රීන්පීස් හා මින්චි කොළ එකතු කරන්න. ටික වෙලාවක් තෙම්පරාදු කරගන්න.

සිහින්ව ලියාගත් බීට්රූට් ටික දාගන්න. රස අනුව ලුණු එකතු කරන්න. හාල් ටික දාලා කළවම් කරලා බත ඉදෙන්න ඇති ප්‍රමාණයට වතුර දාලා උයාගන්න.

 

 

කරවිල පානය

සිංහල අලුත් අවුරුද්දට නිතරම පැණිරසවලින් බඩ පුරවා ගත්ත උදවියට නම් කියාපු පානයක්. දියවැඩියාව තියෙන අයට කොහොමත් ගුණදායකයි කියලයි හැමෝම කියන්නේ.

 

මේ සඳහා පෙති කපාගත් කරවිල කෝප්ප 1ක්, පොඩියට කපාගත් දෙහි බෑයක් සහ රස අනුව ලුණු අවශ්‍යයි.

මුලින්ම කරවිල හා දෙහිවලට වතුර කෝප්ප 1ක් දාලා ලුණු දාලා  හොඳට ග්‍රයින්ඩ් කරගන්න. 

දැන් මේක හොඳට පෙරලා අරන් කැමති නම් සීනි ටිකක් දාලා බොන්න. දියවැඩියාව තියන අය නම් සීනි දාන්න අවශ්‍ය නෑ.

 

අලුත් අවුරුද්දෙ මඤ්ඤොක්කා පිට්ටු

කෙනෙක් කතාබහක් නැතුව මුල්ලකට වෙලා ඉන්නවනම් නෝක්කාඩුවට පිට්ටු ගිලලද කියල අහන එක අපේ පුරුද්දක් නේ.

හැබැයි මඤ්ඤොක්කා පිට්ටු ගිලපු කෙනෙක් ගොළු වෙලා ඉන්නවනම් ඒ වෙන මොකුත් නිසා නෙමෙයි, මඤ්ඤොක්කා පිට්ටුවල රස විස්තර කරන්න වචන ගළපන්න බැරි නිසා.

මේ සඳහා වියළාගත් මඤ්ඤොක්කා පිටි ග්‍රෑම් 200ක්, හාල්පිටි ග්‍රෑම් 100ක්, ගාගත් පොල් ගෙඩි 1ක් සහ උණු වතුර ස්වල්පයක් අවශ්‍යයි. මුලින්ම පොතු ඇරලා කපලා හෝදගත්තු මඤ්ඤොක්කා ටික පොඩියට වෙන්න කපලා අව්වේ වේළාගන්න. ඊට පස්සෙ වේළාගත්තු මඤ්ඤොක්කා ටික කොටාගෙන, හලාගෙන මඤ්ඤොක්කා පිටි ටික හදාගන්න.

ඊට පස්සෙ භාජනයක් අරගෙන මඤ්ඤොක්කා පිටි හා හාල්පිටි එකතු කරන්න.

ඒකට ගාගත්තු පොල්, ලුණු සහ වතුර එකතු කරලා කැට හිටින විදිහට කළවම් කරගන්න.

මේ විදියට කැටකර ගත්තු මිශ්‍රණය පිට්ටු බම්බුවකට දාලා තම්බා ගන්න.

 

 

උපදෙස්

සූපවේදී සුජිත් ආරියරත්න