අලංකාර මලින් උපන් කටට රසට කෑම බීම

මාර්තු 18, 2024

 

මල්... මල්... මල්… අපි මේ යන්නේ මල් කඩන්නවත් මල් විකුණන්නවත් නෙමෙයි. මල්වල රසබලන්න. එහෙම කියද්දි ටිකක් අමුත්තක් දැනෙනවා ඇති. ඇත්තටම අද කියලා දෙන්න යන්නේ ගෙවත්තේ වැවෙන මල් වර්ගවලින් රසම රස ආහාර පාන වර්ග කිහිපයක් හදන ආකාරයයි. මේ මල්වර්ග බොහොමයක එළවළු වර්ගවලවත් නැති පෝෂණ ගු ණ රැසක්ම තියෙනවා. එහෙම් මෙන්න මේ විදිහට හදලා රස බලමු.

 

උපදෙස්

සූපවේදී සුජිත් ආරියරත්න

 

නිල් කටරොළු ජෙලි

 

ජෙලි වර්ගවල රස බලන්න ගොඩක්ම කැමැති අපේ පොඩිත්තෝ. ඉතින් මේ කියන්න යන විදිහට සෞඛ්‍යාරක්ෂිතව ජෙලි රස බලන්න පුළුවන්.

නිල් කටරොළු මල් 10 - 12ක්, අගර් අගර් මේස හැඳි 3ක්, සීනි මේස හැඳි 3ක්, මිටිකිරි කෝප්ප 1ක් සහ ලුණු

මුලින්ම මල් ටික වතුර කප් භාගයක් දාලා ළිපේ තියලා තැම්බුණාම මල් ටික ඒ වතුරටම හොඳට පොඩි කරල යුෂ පෙරාගන්න. 

වෙනම භාජනයකට වතුර කෝප්ප 2ක් දාලා ඒකට අගර් අගර් දාලා සීනි ටිකත් දාගන්න. මේ ටික හොඳට කලවම් කරගන්න. දැන් ළිප ඔන් කරගන්න. වතුර නටනකොට නිල් කටරොළු වතුර ටික එකතුකර ගන්න.

මේකට මිටිකිරි කෝප්ප 1ක් වගේ දාලා ලුණු දාලා කලවම් කරගන්න. හොඳට නටනකොට ළිප ඕෆ් කරගන්න. දැන් මේ මිශ්‍රණය වීදුරු බෝල් එකකට හෝ ජෙලි මෝල්ඩ් එකකට දාලා සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාන්න. 

ටිකකින් ඔයාලට පෙනෙයි කිරි ලේයර් එක හා නිල් කටරොළු යුෂ ලේයර් එක වෙන් වෙලා තියන හැටි. තව පැය කිහිපයක් හොඳට සෙට් වෙන්න කූල් කරලා කෑමට ගන්න. නියම අතුරුපසක්.

 

 

කතුරුමුරුංගා මල් ඔම්ලට්

වෙනදට නිකම්ම උයලා, තෙල්දාලා කන කතුරුමුරුංගා මල්වලින් රසවත් ඔම්ලට් එකක් මේ විදිහට හදමු ද?

 මේ සඳහා කතුරුමුරුංගා මල් කෝප්ප 1ක්, බිත්තර 3ක්, ලියාගත් ලූනූ ගෙඩියක්, ලුණු හා ගම්මිරිස් කුඩු, ලියාගත් කරපිංචා කොළ කිහිපයක්, කහ කුඩු ස්වල්පයක්, කෑලිමිරිස් ස්වල්පයක්, ලියාගත් අමු මිරිස් කරල් 2ක් සහ බැදගැනීමට තෙල් අවශ්‍යයි.

 මුලින්ම කතුරුමුරුංගා මල් ටික සෝදලා පෙති වෙන් වෙන්ව ගලවගන්න.  මැද තියෙන සුදු නටුවෙ මැද තියෙන කොළපාට නාරටිය අයින්කර ගන්න. ඒක තිත්තයි. දැන් මේ මල් පෙති ටික හීනියට ඉරාගන්න. ඉරාගත් මල්වලට කහ කුඩු ටිකක් කලවම් කරගන්න.

බිත්තර කඩලා ඒකට ලුණු, අමු මිරිස්, ලූනු, කරපිංචා, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, කහ එක් කරපු මල් දාලා ගෑරප්පුවකින් ගසාගන්න.

දැන් පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට මේ මිශ්‍රණයෙන් ටිකක් දාලා තුනී කරලා දෙපැත්ත දමා බැද ගන්න.

 

නෙළුම් පෙති පකෝරා

ලස්සනට පිපිලා තියෙන නෙළුම් මල්වලින් රසවත් කෑම හදන්න පුළුවන් කියල හිතුවෙ නෑ නේද?

නෙළුම් පෙති 10 - 15ක්, බිත්තර 1ක්, ලුණු හා ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු තේ හැඳි 1/2ක්, කහ කුඩු තේ හැඳි 1/2ක්, පාන් පිටි මේස හැඳි 2ක්, කඩල පිටි මේස හැඳි 1ක් සහ බැදගැනීමට තෙල් අවශ්‍යයි.

 පළමුව නෙළුම් පෙති සෝදලා වතුර වේළාගන්න. බිත්තරය කඩලා ඒකට පාන්පිටි, කඩල පිටි, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, කහ කුඩු ඔක්කොම එකතු කරලා වතුර දාලා උකු බැටර් එකක් හදාගන්න. දැන් නෙළුම් පෙති එකින් එක මේ බැටර් එකේ දාලා ගැඹුරු තෙලේ බැදගන්න.

 

 

පොකුරු වදමල් බීම

ශරීර උෂ්ණත්වය අඩු කරලා ඇඟ සිසිල් කරවන අපූරු බීමක් මේ.

මෙය සැකසීමට සෝදා ගත් පොකුරු වදමල් පෙති අහුරක්, අයිස් වතුර, උණුවතුර ටිකක්, රස අනුව සීනි, ලුණු ස්වල්පයක්, දෙහි යුෂ ටිකක් සහ කස කසා ඇට ස්වල්පයක් අවශ්‍ය වේ.

 මල් පෙති වැහෙන ගාණට උණුවතුර දාලා වහලා තැම්බෙන්න තියන්න ටික වෙලාවක්. හැන්දකින් මේ මල් පෙති ටික හොඳට කලවම් කරලා වතුර ටික පෙරාගන්න.

වදමල් වතුරට සීනි දාලා දියකර ගන්න. සීනි දියකර ගත්තට පස්සෙ වීදුරුව පිරෙනකම් අයිස් වතුර එකතු කරගෙන එයට දෙහි යුෂ හා ලුණු ටිකක් රස අනුව එක්කර ගන්න. දෙහි එක් කරාම අවපැහැය නැති වෙලා ලස්සන පාටක් එනවා.

කැමති නම් මේකට වතුරේ පොඟවපු කස කසා ඇට සහ අයිස් කැට අවශ්‍ය නම් එකතුකර බීමට ගන්න. 

 

නිල් කටරොළුවල ඇති ගු ණ

කටරොළු මලෙන් ලබාගත හැකි ගුණ බොහොමකි. රුධිර රෝග, වාත රෝග, දැවිල්ල, ශරීරය ඉදිමුම වැනි රෝග නැසීමට වගේම ශරීරයේ ඇති විවිධ තුවාල, කුෂ්ඨ ඉක්මනින් සුව කිරීමටත්, තුවාල පිරිසුදු කරන පිරිසුදු කාරකයක් ලෙසත් කටරොළු මල හඳුනා ගැනේ.

කටරොළු තරුණ බව රැකීමේ ඖෂධයක් ලෙසද අතීතයේ ප්‍රසිද්ධය. මිනිස් රුධිරගත සීනි මට්ටම සමනය කිරීමට, ශරීරයේ ප්‍රතිඔක්සිකාරක හැකියාව වැඩි කිරීමට, මානසික ආතතියට, ගැස්ට්‍රයිටිස් රෝගය වැනි ආමාශගත රෝගවලට ද ගුණදායකය. එමෙන්ම ශරීරයට ඇතුළුවන පරපෝෂිතයන්ට එරෙහිව ක්‍රියා කිරීමත් යොදා ගනියි. නවතම සොයා ගැනීමකට අනුව පිළිකා සෛල වර්ධනය වැළැක්වීමට නිල් කටරොළු යොදාගත හැකි බව ද ඔවුන් පවසයි.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම වැනි රෝග සඳහා කටරොළු මුල් වියළා කුඩුකර දවසට ග්‍රෑම් 2ක ප්‍රමාණයක් උණුවතුරට දමා තම්බා වේල් කීපයක් පානය කිරීම ගුණදායකය.

කටරොළු මුල් වේළා දුම ඇල්ලීමෙන්ද, කටරොළු ශාකයේ මුල්, පත්‍ර, මල් සියල්ලම තම්බා කසායක් ලෙස සකස්කර පානය කිරීමෙන් ද සෙම රෝග නිට්ටාවට සුවකර ගැනීමේ හැකියාව ඇත.

කටරොළු මුලෙන් සාදා ගත් කසාය කෘමි සතුන්, සර්පයන් දෂ්ට කළ විටදී පානය කිරීමෙන් විෂ නැසීමේ ගුණය ඇත.

අර්ශස් රෝගීන්ගේ රුධිර ගැලීමේ දී හා අර්ශස් ගෙඩිවලට කටරොළු ශාකය ගලේ අඹරා තලපයක් සාදා ආලේප කිරීමෙන් සුවකර ගත හැකිය.

තද හිසේ කැක්කුමකදී කටරොළු කොළ මිටක් ගෙන තළා එයින් යුෂ බින්දු දෙකක් පමණ නහයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණිකව හිසේ කැක්කුම සුව කරගත හැකිය.

ගර්භාෂ රෝගවලට වගේම ආර්තව වේදනාවට ඉක්මන් සහනයක් ලබා ගැනීමට නිල් කටරොළු මල් කසාය ගුණය.

 

නිල් කටරොළු මල් ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් වේ. සිරුරේ බර අඩු කරයි. නිරෝගී සමක් පවත්වා ගෙන යාමට උපකාරී වෙයි. හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි. මොළයේ සෞඛ්‍ය ශක්තිමත් කරයි. ඇස් පෙනීම වැඩි දියුණු කරයි. ආහාර දිරවීමේ ක්‍රියාවලියට සහාය වෙයි. දියවැඩියා විරෝධී ගුණ ඇත.

මෙවන් ගුණ සමුදායකින් අනූන ගෙවත්තේ පිපෙන කටරොළු මල් ආහාරය එකතු කරගන්න.

නිල් කටරොළු කොට්න් කේක්

කේක් කිව්වම රිබන් කේක්, බටර් කේක්, අයිසිං කේක්, පොල් කේක්, චීස් කේක්, රටඉඳි කේක් වගේ නානප්‍රකාර කේක් වර්ග තියෙනවනේ. හැබැයි ඉතින් ඔබ නිල් කටරොළු කේක් කෑල්ලක නම් කවදාවත් රස බලලා නැතුව ඇති. ඒ අයටයි මේ රසම රස නිල් කටරොළු කොට්න් කේක් එක.

 

මේ කේක් එක සකසන්න නිල් කටරොළු යුෂ කෝප්ප 1/4ක්, එළවළු තෙල් කෝප්ප 1/4ක්, පාන්පිටි ග්‍රෑම් 80ක්, බිත්තර කහමද 3ක්, බිත්තර සුදුමද 3ක්, වෙනම බිත්තර 1ක්, ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1/2ක්, සීනි ග්‍රෑම් 80ක්, රස අනුව ලුණු සහ වැනිලා ස්වල්පයකුත් අවශ්‍ය වෙනවා.

 මුලින්ම පෑන් එකකට තෙල් ටික දාලා රත්කර ගන්න. රත්කර ගත්ත තෙල් ටික බෝල් එකකට දාගන්න. මේකට පාන්පිටි දාලා කලවම්කර ගන්න. කැට නැති වෙනකල් විස්ක්කර ගන්න.  ෆ්‍රෙෂ් මිල්ක් ටික ටික දාලා මිශ්‍රකර ගන්න. බිත්තරය එකතුකර ගන්න. හොඳට විස්ක්කර ගන්න. 

වෙනම බෝල් එකක බිත්තර සුදුමද බීට් කරන ගමන් ඒකට සීනි එක්කරමින් ස්ටිෆ් (පුළුන් වගේ වෙනකල්) බීට් කරන්න. 

 

 

නිල් කටරොළු බත්

 

මේ බත හරිම රසවත්. වර්ණවත් නිසා පොඩිත්තනුත් හරි ආසාවෙන් රස බලාවි. මේ බත හදන්න නිල් කටරොළු මල් 10-15ක්, ලියාගත් ලූනූ ගෙඩි 1ක්, තළාගත් ඉඟුරු තේ හැඳි 1ක්, කුරුඳු පොතු කෑල්ලක්, කරදමුංගු ඇට 2ක්, ස්ටාර් අනීස් 1ක්, කජු ග්‍රෑම් 50ක්, ගී ඔයිල් මේස හැඳි 2ක්, සීනි මේස හැඳි 1ක්, බේ ලීෆ් 1ක්, පොල්කිරි කෝප්ප 2ක් සහ බාස්මතී හාල් කෝප්ප 4ක් අවශ්‍යයි.

 

මුලින්ම හාල් ටික සෝදලා විනාඩි 20ක් පෙඟෙන්න තියන්න. ඒ අතරතුර නිල් කටරොළු මල්වලට වතුර කෝප්ප 1/2ක් දාලා ළිපේ තියන්න. වතුර උතුරනකොට ළිපෙන් බාලා යුෂ ටික පෙරාගන්න. 

පෑන් එකකට ගී ඔයිල් ටික දාලා කජු ටික දාලා රෝස්ට්කර ගන්න. ඒ ටික අයින් කරලා ඒකටම ස්ටාර් අනීස්, කරදමුංගු, කුරුඳු පොතු හා ඉඟුරු ටික දාගන්න. ටිකකින් ලූනූ සහ බේ ලීෆ් දාගන්න. 

හාල්වල වතුර හොඳින් බේරගෙන මේකටම දාලා හොඳට කලවම්කර ගන්න. දැන් නිල් කටරොළු යුෂ හා පොල්කිරි දාලා තව අවශ්‍ය නම් වතුර දාලා සීනි සහ ලුණු දාගෙන බත තැම්බෙන්න තියන්න.   

බත පිසගෙන උඩින් රෝස්ට්කර ගත් කජු ටික දාගන්න. 

 

 

නිල් කටරොළු තේ

සෙම් රෝගවලට වගේම තවත් රෝග රැසකට ගු ණ නිල් කටරොළු මල් තේ විදිහට බොන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයක්.

 ඒ සඳහා නිල් කටරොළු මල් 5-6ක්, උණු වතුර කෝප්ප 1ක් මේ සඳහා අවශ්‍යයි.

මුලින්ම මල් ටික උණු වතුර එකේ දාලා විනාඩි 5ක් තැම්බෙන්න තියලා බොන්න. කැමති නම් ලුණු ටිකක් දාගන්න. දෙහි බින්දුවක් එකතු කරගත්ත නම් මේ තේ එකම දම්පාටට හදාගන්නත් පුළුවන්.