අප්පච්චී

ජූලි 14, 2025

 ආදරණීය පුතා

 

 

මම මේ හිත හිතා හිටියෙ මනුස්සයෙක්ගෙ දැනුම කියන එක ලැබෙන්නේ කොහොමද කියලා. ඒක විශ්වවිද්‍යාලයකට ගිහින් ඒ ඒ විෂය ඉගෙන ගෙන ප්‍රවීණයෙක් වෙලාද කියන එක ගැන මම හිතුවා.

 

ඒත් කීයෙන් කීදෙනාද නේද එහෙම උසස් අධ්‍යාපනයක් ලබන්නේ. එක අතකින් ඒකටත් වාසනාවක් තියෙන්න ඕනේ කියලා හිතෙනවා. නමුත් තෝමස් අල්වා එඩිසන් වගේ කෙනෙක් පොත්පත් කියවලානෙ දැනුම ලබා ගත්තේ. අනික කුඩාකාලේ නීරෝගි ළමයෙකුත් නෙවෙයිනෙ. කන් ඇහෙන්නෙත් නෑනේ. ඒත් කීයක් නම් අලුත් නිපැවුම් හොයාගත්තද.

 

ඔන්න දවසක් එක මහත්තයෙක්ගෙ කාරෙකක් කැඩුණා. කැඩුණා කියන්නේ ඇන්ජිම පණගන්වන්නම බෑ. මේකත් මේ අලුත් පන්නයේ එකක්. මහත්තයා වාහනේ හදන්න ඉංජිනේරුවෙක්ට පෙන්නුවා. ඉංජිනේරුවාට ලෙඩේ හොයා ගන්න බැරි වුණා. තවත් විශේෂඥයන්ට පෙන්නුවා. ඒත් බැරි තැන ළඟ අහල පහල කුඩා ගරාජ් එකක් කරන ‘මැකැනික් බාස්‘ කෙනෙක්ට කිව්වා. මනුස්සයා ඇවිත් හොඳට පරිස්සමින් වාහනේ බැලුවා. යට රිංගලත් බැලුවා. ඊට පස්සෙ පොඩි මිටියක් අරන් වාහනේ එක්තරා කෑල්ලකට තට්ටුවක් දාලා ‘මහත්තයා දැන් ගහන්න බලන්න’ කියලා කිව්වා. කිසිම කතාවක් නෑ මෙන්න වාහනේට පණ ආවා. මහත්තයාට හරිම සතුටුයි. ඇයි දක්ෂ ඉංජිනේරුවන්ටත් බැරි වෙච්ච එකනෙ. බාස් නිකම්ම මජං ගාගත්ත බාස්නෙ. මහත්තයා රුපියල් පන්සීයක් අතට අරන් ‘කීයද බාස් උන්නැහෙ’ කියලා ඇහැව්වා. ‘මහත්තයා දෙදාස්පන්සීයක් දෙන්න’ කියලා මිකැනික් කිව්වා. මහත්තයා උඩ ගියා. ‘මොකක්ද ඉතින් තට්ටුවක් දැම්ම එකනේ කළේ’ කියලා මහත්තයා කිව්වා.

‘ඒක හරි මහත්තයා...මම අවුරුදු විස්සක් තිස්සේ දැන ගත්ත දේ තමා ඒ.. මට බොහොම කාලයක් ගියා ඒවා දැන ඉගෙන ගන්න..මගේ දැනුමටයි මම ගාණ කිව්වෙ..’කියලා කිව්වා.

 

ඒ කතාව ඇත්ත කියලා මහත්තයා පිළිගන්න කැමැති වුණේ නෑ. එහෙමනෙ මහත්තුරු. හිතන්න ඇත්තේ මේ බාස් කෙනෙක්නෙ කියලා.

 

මම මේ කියන්න ගියේ පුතා අපි අන්න ඒ වගේ මොනයම් දේකින් හරි විශේෂඥයෙක් වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නෙ අපි තෝරාගත්ත රැකියාවට අනුව ඒකට අවශ්‍ය බාහිර දැනුම ලබාගෙන, රැකියාවටත් ගරුකරගෙන රටටත් වැඩක් කරන තැනට එන්න ඕනේ. අන්න අරකෙනා වැඩේට දක්ෂයා කියන තැනට එන්න ඕනේ.

 

මටත් එහෙම කාලයක් තිබ්බා. උපාලි අයියා පත්තරකාරයෙක් හැටියට ඒකට දක්ෂයි කියපු කාලයක්. එතකොට ඔයාව හඳුන්වන්නේ කොහොමද දන්නවද.‘මේ උපාලි අයියගේ පුතානේ’ කියලා. ඇත්තටම ඉතින් මාව අහවලා කියලා මගේ යම් යම් දේවල් නිසා මාව හඳුන්වද්දී පුතා ආඩම්බර වුණා. දැනුත් එහෙම තමා. මම ලියපු සින්දුවක් ගැන එහෙම කවුරුහරි කියද්දි ඔයා හරිම ආඩම්බරෙන් අප්පච්චි ගැන හිතනවා. එදත් එහෙමයි අදත් එහෙමයි.

 

ඒක නෙමෙයිනෙ දැන් වෙනස. අන්න ඒ වෙනසට අප්පච්චි කෙනෙක් හැටියට මට පුදුම සතුටක් තියෙන්නේ. මේක හැම තාත්තා කෙනෙක්ටම පොදුයි. මම ඉතින් පුතාට කියන නිසා මේ පැහැදිලි කිරීම කරන්නේ.

 

පුතාව මොන්ටිසෝරියට දැම්මේ විවෘත විශ්වවිද්‍යාලේට අයත් මොන්ටිසෝරියට. එදා මම හිතුවෙ ‘කොල්ලගේ අනාගතේ පැහැපත් ’ කියලා. ඇත්තටම අපිට ඒ කියන්නේ අම්මටයි මටයි පුළුවන් හැටියට පුතාව තැනකට ගෙනාවා. අද පුතා රැකියාව කරනවාට අමතරව යූටියුබ් එකේ ප්‍රසිද්ධ චරිතයක් වෙලා. මම හිතන්නේ ලංකාවේ පළමුවෙනි කෑම පිළිබඳ වූ යූටියුබ් නාළිකාව ඒක. ඔයා ඉදිරිපත් කරන්නෙක් හැටියට එහෙම වැඩ කරනවා කිව්වමත් මම නම් පුදුම වුණා. මොකද එහෙම ඉදිරිපත්වෙන චරිතයක් හැටියට මම දැකලා නැති නිසා. ඒත් මම පස්සෙ දැන ගත්තා එන්අයිබීඑම් එකේදී අවුරුදු උත්සවේ නොටෝරියස්ම චරිතයටයි, තවත් ඔයවගේ එකකටයි තෝරාගෙන සම්මානත් දීලා තිබ්බා. උත්සවේ සංවිධායක ලේකම්ද කොහෙදත්නෙ. ඒ කියන්නේ ගෙදරින් පිටදී කැපී පෙනෙන ‘පොරක්‘ වෙලානෙ. හැබැයි ඔයාට නවකතා වගේ දේවලුත් ලියන්න පුළුවන් බව නම් මම දැනගත්තා. මම හිතුවා මම වගේ ලේඛකයෙක් වෙයි ද කියලත්.

නමුත් අද මාව හඳුන්වන්නේ ‘මේ බණ්ඩාගේ තාත්තා’ කියලා. බණ්ඩා කියන්නේ පාසල් කාලේ ඉඳන්ම ඔයාට යාළුවො කතා කරපු විදිහනෙ. දැන් යූටියුබ් චැනල් එකෙත් බණ්ඩානෙ. ඉතින් මම බණ්ඩාගේ තාත්තා වුණා. එදා පුතා ආඩම්බර වුණා වගේ මම අද ආඩම්බර වෙනවා ඔයාගේ තාත්තා මමය කියලා හඳුන්වා දුන්නම.

 

මම මේ කියන්න ගියේ දරුවෝ මවුපියන්ට වඩා ඉහළට යන්න ඕනේ. ඒක තමා හැම තාත්තාගේම අම්මාගේම පැතුම. චතුරගේ තාත්තා තමා අර අපේ බණ්ඩාර සර් කියලා කියන්නේ අන්න ඒකත් එහෙම තමා. දැන් බණ්ඩාර සර්ව දන්නේ එහෙම.