වර්ෂ 2025 ක්වූ July 14 වැනිදා Monday
කන්නෙ බොන්නෙ නැතුව ඉතුරු කරන්න ඕනෙ ද?

අපේ ජීවිතවල පැවැත්මට කෑම බීම අවශ්‍යයි. හැබැයි ඒ අතරේ අපි ජීවත් වෙන්නේ කන්න කියලා හිතාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා. කන්නේ ජීවත් වෙන්න කියලා හිතාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා. මම හිතනවා අපි අපේ ජීවිත කාලේම ඉතුරු කරන්නේ, ඉගෙන ගන්නේ රස්සාවල් කරන්නේ හිටියට වඩා හොඳ භෞතික ජීවන තත්ත්වයක් උදා කර ගන්න. ඒ කාලය තුළ දී අපිට ආහාර හිඟ වෙලා තියෙන්න පුළුවන්. පුංචි කාලේ කෑම බීම අඩු වෙන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි අපි ඉගෙනගෙන රස්සාවක් කරාම අපි දන්නවා අපිට ලැබෙන ආදායම කළමනාකරණය කරගන්න ඕනේ කියලා.
මම දකිනවා සමහර වෙලාවට සමහර මිනිස්සු කන්නේ බොන්නෙවත් නැතුව ඉතුරු කරනවා. මගේ මනෝ උපදේශන සේවාවන්වලට එහෙම අය ඇවිත් තියෙනවා. ඉංජිනේරුවරු, දොස්තරලා, ගුරුවරු තමන්ගේ දරුවන්ටවත් හොඳ දෙයක් කන්න බොන්න අරන් දෙන්නේ නැහැ. ලෝබකමට ඉතුරු කරනවා. සමහර අය පෙන්ෂන් ගියාට පස්සේ මම මෙහෙම කරනවා, අරහෙම කරනවා කියලා හිතාගෙන ඉන්න අය ඇත්තටම පෙන්ෂන් අරන් දවස් දෙකෙන් තුනෙන් මැරිලා යනවා. එයාලා කාලත් නැහැ. ඇඳලත් නැහැ. විනෝද ගමනක් ගිහිල්ලත් නැහැ. තව සමහර අය ඉන්නවා ආදායමත් තියෙනවා, කෑම බීමත් ගන්න පුළුවන්. නමුත් භෞතික ජීව දර්ශක තත්ත්වය උසස් නැහැ. කිලුටු ගෙවල්වල ඉන්නවා. බිත්ති කිලුටු වෙලා. හැම තැනම අව පාටයි. එයාලා ඔහේ සොම්බි වගේ ජීවත් වෙනවා කියලයි මටනම් හිතෙන්නේ.
සමහර අය හිතනවා ළමයින්ට එහෙම උගන්වලා ඉවර වෙලා රසට කෑම හදලා අයිස්ක්‍රීම් එහෙම ගෙනල්ලා කමු කියලා. හැබැයි ඒ වෙනකොට අපිට රටේ නැති ලෙඩ එනවා. අයිස්ක්‍රීම් කන්න බැහැ සීනි. එතකොට ප්‍රෙශර්, තෙල් කන්න බැහැ කොලෙස්ටරෝ. ඒ වෙද්දි සල්ලි තිබුණත් අපිට කන්න බැහැ. අපේ ජීවිතේ සමබර කරගන්න ඕනේ අපිමයි. අපේ ජීවිතේ සමබර කරගෙන වියදම් කරගන්නවනම් මම හිතන්නේ කවර ක්‍රමය තමයි හොඳම ක්‍රමය. මේ කවරයට කෑමවල වියදම දානවා, මේ කවරයට බබාගේ පන්ති සල්ලි දානවා. මේ කවරයට ලයිට් බිල් වතුර බිල් දානවා. මේ කවරයට තෙල් සහ ඉන්ධන වියදම දානවා. එහෙම කළාහම හැමදේටම මුදලක් වෙන් කරලා හැමදේම කළමනාකරණය කරගන්න පුළුවන්.
මම ළඟදී ගෙවල් කිහිපයක රිසර්ච් එකක් කරලා බැලුවා. පවුලක ගොඩාක් වියදම යන්නේ ෆෝන් එකට. මාසෙකට 30,000 - 40,000ක් විතර ටෙලිෆෝන්වලට මුදල් වියදම් වෙන පවුලුත් තිබුණා. සමහර අයගේ වතුර බිල 10,000යි. එච්චර වැඩි ඇයි කියලා හොයලා බැලුවම නාලා සබන් ගානකනුත් ශවර් එක ඇරලා තියෙනවා. ඉතින් ඒ වගේ වියදම කළමනාකරණය කරගන්න බැරි තැනුත් මම දැක්කා. හැබැයි වතුර ඉතුරු කරන්න කියලා නාන්නෙත් නැතුව, මල් පැළවලට දන්නෙත් නැතුව ඉන්නවට වඩා මම හිතනවා ඔයගොල්ලන්ගේ ජීවිතය ගොඩාක් හොඳ පැත්තකට ගෙනියන්න පුළුවන් වෙයි තමන්ගේ ආදායම කළමනාකරණය කරගත්තාම.
අපිට කන්න පුළුවන් දේවල්නේ අපි කන්න ඕනේ. ගොඩාක් දේවල් ගෙනැල්ලා කන්න ඕනේ නැහැනේ. මාළු ලාබයි කියලා කිලෝ ගණන් ගෙනත් කන්න ඕනේ නැහැ. පොල් ගණන් ගිය කාලේ මම ගොඩක් වෙලාවට කළේ කෑම ටික වතුරෙන් තැම්බෙන්න ඇරලා අන්තිමට පොල් කිරි දැම්මා. සම්පූර්ණ කෑම එකම පොල් කිරෙන්ම ඉදවන්න ඕනේ කියලා එකක් නැහැනේ. විශේෂයෙන් සතියකට සැරයක් විතර බොහෝ ගෙවල්වල අය පොළොස් කන්න පුරුදු වෙලා තියෙනවා. පොළොස්වලට ගොඩාක් කිරි යනවනේ. ඉස්සරනම් දර ළිපක කිරෙන්ම පොළොස් එක ළිපේ තියෙනවා. දැන් ඉතින් දර ළිප් නැති නිසා අපි ගෑස් එකේනේ තියන්නේ. ඉතින් ඒවා ඉතුරු කරගන්න ක්‍රමය තමයි ප්‍රෙශර් කුකර් එකේ පොළොස් එක තම්බලා පස්සේ තුනපහ දාලා කිරි දාලා හදලා ගන්න පුළුවන්. ඔය කියන තරම් රසයේ වෙනසක් නැහැ. ඒ හැමදේම තියෙන්නේ ඔළුව ඇතුළේ. ඊළඟට අපි පාන් වගේ කෑම පහසුවට ගත්තට ඒක සෞඛ්‍යයටත් හොඳ නැහැ. අපේ පොකට් එකටත් හොඳ නැහැ. ඊට වඩා ගොඩක් හොඳයි හාල් හුණ්ඩු දෙකක් ළිපේ තියාගෙන උණුවෙන් පොල් සම්බෝලයක් හදාගෙන බත් කන එක. කෑමත් තෘප්තිමත්. මුදලුත් ඉතුරුයි. ශරීර සෞඛ්‍යයටත් හොඳයි.
ශ්‍රී ලංකාව කියන්නේ හරිත වර්ණ රටක්. ඕෙන තැනක කන්න පුළුවන් ඕනෙ දෙයක් තියෙනවා. කතුරුමුරුංගා ගස්, මුරුංගා ගස් හැම පාරක් අයිනෙම වගේ තියෙනවා. ඒවායින් මැල්ලුමක් හදාගන්න පුළුවන්. කන්දෙන් දේකුයි මුහුදෙන් දේකුයි කන්න කියලනේ කතාවට කියන්නේ. ඒ කියන්නේ ප්‍රෝටීන් සහිත ආහාරයක් සහ එළවළු වර්ගයක්. ඒ වගේම තමයි අපේ කෑම රටාව වෙනස් කරන්න කාලය ඇවිල්ලා. අපි බත් ගොඩක් බෙදාගෙන එළවලු චුට්ටයි බෙදා ගන්නේ. හැබැයි හරි විදිහ නම් එළවළු ගොඩක් බෙදාගෙන අන්තිමට බත් චුට්ටක් බෙදා ගන්න. බත් ගොඩක් කන්න හොඳ නැහැ. බත්වල තියෙන්නේ පිෂ්ටය. පිෂ්ටය සීනි වෙලා අපේ ඇඟට ගොඩක් ලෙඩ දෙනවා. දැන් වෛද්‍යවරු කියන්නේ දවසකට දෙවේලක් කෑවම ඇති කියලා. ඒක දුප්පත් කමට නෙවෙයි ශරීර සෞඛ්‍යයට. උදේ ආහාර වේල උදේ 10ට විතර අරගෙන, රාත්‍රී ආහාර වේල හවස 4ට විතර ගන්න. ඒ අතරතුර ඉඟුරු විස්කෝතුවක් එක්ක ප්ලේන්ටියක් බිවුවම ඇති. ඒකෙන් ශරීර සෞඛ්‍ය පැත්තෙන් ලොකු වාසියක් වෙනවා. ඉතින් අපිට කෑම රටාවේ කෑම වියදම් ඔක්කොම අඩු කරගන්න පුළුවන්.
ළමයි ඔක්කොම කන දෙයක් හදන්න. ඉරිදා හරි සෙනසුරාදා හරි නිවාඩු දවසට බටු මෝජු ටිකක් හදලා තියන්න. මාළු ඇඹුල් තියල් ටිකක් හදලා තියන්න පුළුවන්. ලූනූ බැදුමක් හදලා තියන්න පුළුවන්. ඒකෙන් අපිට දවසේ කාලයත් කළමනාකරණය කරගන්න පුළුවන්. අපි කන එකම නෙවෙයිනේ ජීවිතය කියන්නේ. නෑදෑ ගෙවල්වල යන්න ඕනේ. මඟුල් ගෙවල්වල යන්න ඕනේ. ලස්සනට අඳින්න ඕනේ. ගමන් බිමන් යන්න ඕනේ. විනෝද ගමන් යන්න ඕනේ.
රූපවාහිනියේ පෙන්වන ලොකු ලොකු දේවල් කන්නත් ඕනේ නැහැ. සමහර ළමයි ඉන්නවා සොසේජස් දැක්කම ඒක ආසයි. ජෑම් දැක්කම ඒක ආසයි. ඒ හැමදෙයක් ඇතුළෙම තියෙන්නේ රසායන ද්‍රව්‍ය. මොකද කල් තියාගන්න බැහැ ස්වාභාවික පලතුරක්. ස්වාභාවික පලතුරක් ස්වභාවධර්මයා හදලා තියෙන්නේ පතුරවන්න. අඹ ගෙඩියේ ඇටය දීලා තියෙන්නේ පතුරවන්න. කාලා ගිහින් ඒක වෙන තැනකට දැම්මාම ඒක හැදෙනවා. රඹුටන් ගෙඩිය වටේට රසවත් මාංසලවලින් පිරිලා තියෙන්නේ ඒක කාලා ඇටය පැළ කලාම වෙන තැනක පැළයක් හැදෙනවා.
සමහර අය මඟුල් ගෙදරක යන්න තියෙනවා කියලා ඊට කලින් දවසේ ඉඳලම නොකා ඉන්නවා බඩ හිස්ව තියාගන්න ඕනේ නිසා. ගොඩක් ගෘහිණියෝ අනේ කෑම ඉතුරුයිනේ කියලා ඔක්කොම කනවා. ඒකත් හොඳ දෙයක් නෙවෙයි. ඒකෙන් තදබල ආතතියක් ඇති කරනවා සහ ශරීර සෞඛ්‍යයේ ගැටලු ඇති කරනවා. ඒ නිසා කෑම විසි කරන්න වෙනවා කියලා කන්න යන්න එපා. පවුලේ අයට ඇති වෙන ප්‍රමාණයට කෑම උයන්න.
කන්න විතරක් ජීවත් වෙන්න එපා. හැබැයි නොකා නොබී ඉතුරු කරන්නත් එපා. මොකද අපි අපේ ජීවිතයට සැපක් දෙන්න ඕනේ. අපි අපේ ජීවිතය පවත්වාගෙන යන්න ඕනේ. ශරීරය ලස්සනට පවත්වාගෙන යන්න ඕනේ. ඒවට විටමින් වර්ග ඕනේ කරනවා. ඛණිජ ලවණ ඕනේ කරනවා. හිරු එළියෙන් නිකන් හම්බෙන විටමින් D වත් අපි ගන්නේ නැහැනේ. ඒකත් ෆාමසියෙන් ගන්න බලනවා. ආහාර රටාව වැරදුණොත්, අපි වයසට යද්දි අපිට අහුරු අහුරු බෙහෙත් බොන්න වෙයි. අහුරු අහුරු බෙහෙත් බොන එක වළක්වාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි නිවැරැදි ජීවන රටාවකට කෑම ගන්න එක. ඒකට ගණන් එළවළු පලතුරුම ගන්න ඕනේ නැහැ. කෙඳි සහිත ආහාර ඉතාම ලාබදායකයි. වැටකොළු, පතෝල වගේ ඒවා. උයන විදිහ විවිධත්වයක් කළොත් හොඳයි. හැමදාම එකම පතෝල හොද්ද උයන්නේ නැතුව විවිධ රසයට හදන්න. එහෙම හැදුවම පවුලේ කෑම මේසට ඇතුළේ ලොකු වෙනසක් ඇති වෙයි. ඒ වගේම අම්මත් සතුටින් ඉන්න ඕනේ. අම්ම හැම වෙලාවෙම "උඹලට තම්බ තම්බ දීලා මට එපා වෙලා තියෙන්නේ" කියලා කියන්නේ නැතුව හදන එක කෑම එක හරි ලස්සනට මේසෙ උඩට තියලා. "එන්න පුතේ අපි කමු" කියලා කිවුවොත් ඒක ගොඩක් වටිනවා. පවුල ඇතුළේ ආදරය, දයාව, කරුණාව සහ බෙදා හදා ගැනීම්, හැඟීම් බෙදා ගැනීම් ඒ සියල්ලම පුරුදු වෙන්නේ කෑම මේසයේදී. ඒ නිසා කෑම මේසයේදී දරුවන්ට යහගුණ ළඟා කරවන්න පුළුවන්. තාත්තලා ගෙදර ආර්ථිකය ශක්තිමත් කරන්න දවෙසම වෙහෙසෙන නිසා ළමයි ගැන වැඩි වගකීමක් පැවරිලා තියෙන්නේ අම්මලට.
ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව