හරියටම හරි සාරි කලාව

ජූලි 14, 2025

කාන්තා ඇඳුම් විලාසිතාවලට ඉමක් කොනක් නෑ කියලා තරුණී අපි ඔයාට කීවොතින් ඔයා අනිවාර්යයෙන්ම අප එක්ක එකඟ වේවි. මොකද ඊයෙට වඩා අද, අදටත් වඩා හෙට කාන්තා ඔබේ ඇඳුම් විලාසිතාවේ ට්‍රෙන්ඩ් එක වෙනස්. කොහොම වුණත් කාන්තා ඇඳුම් විලාසිතාවන් අතර සාරී විලාසිතාවත් දිනෙන් දින අලුත් වෙනවා.

 

කාන්තාවකගේ ලස්සන එහෙමත් නැතිනම් ආකර්ෂණීය පෙනුම යහපත්ව පවත්වාගෙන යන්න හැමදේම අඩු වැඩි වශයෙන් බලපානවා. යුවතියන් කොච්චර ලස්සන වුණත් එයින් කෙදිනකවත් තෘප්තිමත් නම් වෙන්නේ නැහැ. හැඩට වගේම ලස්සනට ඉන්න හැමෝම එක වගේ කැමතියි. ඔන්න හැඩට ඇඳලා ලස්සනට ඉන්න කැමති ඔයා එක්ක අද කොටුව විශේෂාංගයෙන් සාරි ගන්න කලින් තෝරන විදිහ ගැන කතා කරන්න හිතුවා.

 

සිහින් සිරුරක් තියෙන, සාරි අඳින ඔයාටයි මේ තෝරා ගැනීම. ඔයා කෙට්ටුයි කියලා කිසිම අයුරකින් දුක් වෙන්න, පසු තැවෙන්න එපා. කෙට්ටු නිසා ලස්සනට සාරියක් අඳින්න බෑ කියලා හිතන්න එපා.

 

අපි මේ කියන ටිප්ස් ටික ඔයා හරියට භාවිත කළොත් අනිත් අයගේ ආකර්ෂණය ඔයාට ලැබෙන විදිහට ලස්සනට සාරියක් අඳින්න පුළුවන්.

 

සිරුරේ මහත ඉස්මතු කරන සාරී මැටීරියල් එකක් තෝරා ගන්න

 

මුලින්ම අපි ඔයාට මතක් කළා වගේ ඔයාගේ සිරුරේ නියම හැඩය පේන්න නම් ඔයා දකින දකින සාරිය ඇන්දාට වැඩක් වෙන්නේ නෑ කියලා. කෙට්ටු සිරුරක් තියෙන කෙනෙක්ට කොහොමත් සිල්ක් සාරී මැටීරියල් නම් ගැළපෙන්නේ නෑ. මොකද එයින් සිරුරේ කෙට්ටු බව හොඳින් ඉස්මතුවෙලා පේන්න පටන් ගන්නවා. ඔයා කෙට්ටු කෙනෙක් නම් කොට්න් මැටීරියල්, වොයිල් සාරී, සිල්ක් හා කොට්න් මිශ්‍ර කළ සාරී, හෑන්ඩ්ලූම් වැනි සාරී මැටීරියල් එකක් තෝරා ගන්න. එයින් ඔයාගේ සිරුරේ කෙට්ටු බව අඩු කරලා ඔයාව ටිකක් මහතට පේන්න පටන් ගන්නවා. කෙට්ටු කෙනෙක්ට වුණත් සිරුරට හිමි හැඩයක් තියෙනවානේ. ඉතින් ඒ හැඩය තවත් හොඳින් මෙවැනි සාරියකින් ඉස්මතු කළ හැකියි. විශේෂත්වය වෙන්නේ මෙවැනි තෝරා ගැනීමකින් ඔයාගේ සිරුරේ කෙට්ටු බව අඩු වෙලා පෙනීමයි.

 

තනිපාට සාරි තෝරන්න එපා

 

ගොඩක් යුවතියන් කැමතියි ප්ලේන් කලර්ස්වලින් සාරි අඳින්න. ඒත් අපි ඔයාට කියන්නේ තනිපාට සාරි සිහින් සිරුරක් තියෙන ඔයාට ගැළපෙන්නේ නෑ කියලා. තනිපාට සාරිවලට වඩා විවිධ හැඩතල සහිත සාරි ඔයාට හොඳින් ගැළපෙනවා. උදාහරණයක් විදිහට ඔයා මෙහෙම හිතන්නකෝ විශාල මල් සැරසිලි, ඉරි කොටු වැනි හැඩතලයන් තියෙන සාරි ඔයා ඇන්දොත් ඔයාගේ සිරුරේ කෙට්ටු බව ටිකක් හරි අඩු වෙලා පෙනේවි. ඒ නිසා තනිපාට සාරි තෝරන්නේ නැතුව කිසියම් සැරසිල්ලක් තියෙන සාරියක් තෝරා ගන්න.

 

තද වර්ණ සහිත සාරි තෝරන්න එපා

 

තද වර්ණ සහිත සාරි ගොඩක්ම ගැළපෙන්නේ සිරුරෙන් මහත අයට. මොකද තද වර්ණ සහිත සාරිවලින් සිරුරේ මහත අඩුවට පේනවා. ඒත් ඔයා සිරුරෙන් ගොඩක් කෙට්ටු කෙනෙක් නම් තද වර්ණ තෝරා ගන්න එපා. මොකද කෙට්ටු ඔයා සාරියෙනුත් කෙට්ටුවට පෙනේවි. ඒ නිසා චාම් වර්ණ සහිත සාරියක් තෝරා ගන්න. මොකද ලා වර්ණවලින් ඔයාගේ සිරුරේ කෙට්ටු බව අඩු කරලා පෙන්වනවා.

 

සාරි පොට ටිකක් විශාලව තියන්න

 

මහත කෙනෙක්ට වගේම සිරුරෙන් කෙට්ටු කෙනෙක්ටත් සාරි පොට ටිකක් මහතට තියලා අඳින්න පුළුවන්. කෙට්ටු කෙනෙක්ට සාරී පොට පොඩියට තියලා ඇන්දොත් එයින් උරහිස්වල සිහින් බව හොඳට පේන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා තමයි අපි ඔයාට කියන්නේ සාරි පොට විශාලව අඳින්න කියලා. ඒ විතරක් නෙමෙයි කිසියම් උත්සව අවස්ථාවකට ඔයා සාරියක් අඳිනවා නම් ඔයාට සාරි පොට ලිහිල්ව තියලා වුණත් අඳින්න පුළුවන්.

 

ඉතින් අපි ඔයාට මේ කියන විදිහට සාරිය ඇන්දොත් ඔයාට කිසිම කෙනෙක් කියන එකක් නම් නෑ ඔයා සාරියට කෙට්ටුවට පේනවා කියලා.

සාරි ජැකට් එක ගැන හිතන්න

 

සාරියෙන් වගේම සාරි ජැකට් එකෙනුත් ඔයාගේ සිරුරේ කෙට්ටු බව අඩු කරලා පෙන්වන්න පුළුවන්. ගොඩක් වෙලාවට සාරියට හැඩ වැඩ දාන්න බැහැනේ. ඒ වුණත් සාරි ජැකට් එක ටිකක් ලස්සනට අඳින්න පුළුවන් හැකියාව ඔයාට තියෙනවා. සාරි ජැකට් එකටත් තනි පාටකට වඩා හැඩතල තියෙන මැටීරියල් එකක් භාවිත කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අත් සහිත වගේම අත් රහිතව වුණත් ඔයාට සාරි ජැකට් එක අඳින්න පුළුවන්. විශේෂයෙන්ම High Neck සාරි ජැකට් කෙට්ටු කෙනෙක්ට හොඳින්ම ගැළපෙනවා. Boat Neck එක තියෙන සාරි ජැකට් ද අද වන විට යුවතියන් අතර ඉතාමත් ජනප්‍රියයි. ඉතින් මේ වගේ සාරි ජැකට් එකක් කෙට්ටු සිරුරක් තියෙන කෙනෙක්ටත් හොඳින්ම ගැළපෙනවා. ඔයා ඉරි සහිත මැටීරියල් එකකින් සාරි ජැකට් එකක් තෝරා ගන්නවා නම් තිරස් ඉරි සහිත සාරි ජැකට් එකක් තෝරා ගන්න අමතක කරන්න එපා. එයින් ඔයාගේ සිරුරේ කෙට්ටු බව අඩු කරලා පෙන්වන්න පුළුවන්.

 

මේ විශේෂාංගය කියවන ඔබ තරමක් මහත යුවතියක් නම් ඔබට පුළුවන් තනි පැහැති වර්ණ සාරි ගළපාගන්න. ඔබේ තේරීමේ කලාව අනුව තමයි ඔබේ ලස්සන ඉස්මතු වී පෙන්නේ.

 

වි‍ෙශ්ෂ ස්තූතිය -

සරීටා ටෙක්ස්ටෝරියම්

පිටකොටුව