සරුසාර වගාවකට නිරෝගී ඉඟුරු බීජ යොදා ගනිමු

අප්‍රේල් 14, 2021

 

සරුසාර පොළොවක් හිමි අපට ඕනෑම බව භෝගයක් කිසිදු අපහසුවකින් තොරව වගා කර ගැනීමට හැකිවීම ඉමහත් භාග්‍යයකි. ඒ අතරින් ඉඟුරු භෝගය වඩා වැදගත් වන්නේ් එය ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඉතා පහසුවෙන් වගා කරගත හැකිවීමයි.

 

එමෙන්ම ඉඟුරු යනු හිරුඑළිය හොඳින් ප්‍රියකරන ශාකයකි. ගෙවත්තේ පාත්ති ලෙසින් මෙන්ම බඳුන්ගතව ද ඉඟුරු වගා කළ හැකි අතර නාගරිකව නම් තම එදිනෙදා පරිභෝජනය සඳහා බඳුනක හෝ වගා මල්ලක මේ ඉඟුරු ශාකයක් සිටුවා ගත හැකිය.

ඊට අමතරව ඔබට අමතර ආදායමක් උපයන භෝගයක් ලෙසින් ද මේ ඉඟුරු වගා කළ හැකියි. එහිදී ප්‍රධාන වශයෙන් නිරෝගී සහ හොඳින් මේරූ ඉඟුරු බීජ අල තෝරා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුය. මන්ද නිරෝගීමත් සරුසාර අස්වැන්නක් ලබා ගැනීමට නම් නිරෝගී බීජ තෝරා සිටුවිය යුතුය.

ඉගුරු වගාවේ දී වැඩි මුදලක් වැය වන්නේ ද හොඳින් මේරූ බීජ අල සපයා ගැනීමටයි. එබැවින් ඉඟුරු අස්වැන්න නෙළා ගැනීමේ දී ඊළඟ වගාව සඳහා සරු, පළුදු නොවූ නිරෝගී බීජ ඉතිරි වන පරිදි එය කළයුතු අතර අනතුරුව ඒවා සිටුවා ගන්නාතුරු පරිස්සමට ගබඩා කර තැබීමත් ඉතා වැදගත්.

 

නිරෝගී ඉඟුරු බීජ

සාමාන්‍යයෙන් සිටුවා ගැනීම සඳහා රෝග පළිබෝධවලින් තොර ඉඟුරු වගාවකින් බීජ තෝරා ගත යුතු අතර එය මාස නවයක් ඉක්ම වූ හොඳින් මේරූ බීජ විය යුතුය. විශේෂයෙන්ම ඉඟුරු බීජවල අග කොටස එහෙමත් නැතිනම් අග්‍රස්ථය වියළීී හෝ කුණුවී ඇත්නම් ඒවා වගාවට සුදුසු නොවේ. ඊට අමතරව බැක්ටීරියා රෝග සහ කෘමි හානි සහිත බීජ දැයි සරල පරීක්ෂාවක් මඟින් ද ඔබට හඳුනා ගත හැකිවේ.

 

බැක්ටීරියා මැළවීමේ රෝගය හඳුනා ගන්නා අන්දම

ඔබ තෝරාගත් ඉඟුරු අලයක් කැබැලි කිහිපයකට කපා පැහැදිලි ජල වීදුරුවකට දමන්න. අනතුරුව එම කැබැලි මඳක් තද කිරීමෙන් සුදු පැහැ දුමාරයක් ජලය තුළින් පහළට ගලා යන්නේ නම් ඒවා බැක්ටීරියා මැළවීමේ රෝගයට පාත්‍ර වූ බීජ ලෙසට හඳුනා ගත හැකිය. එමෙන්ම මෙම ඉඟුරු බීජ කැබැලි වල රෝස පැහැයට හුරු තද පැහැ වළල්ලක් දක්නට ලැබෙන්නේ නම් එයද මෙම රෝගය පාත්‍ර වී ඇති බවට සාක්ෂියකි. එබැවින් එවැනි අල සිටුවීමෙන් වළකින්න.

 

කොරපොතු කෘමියාගේ හානිය

ඊට අමතරව ඉඟුරු බීජ කොරපොතු කෘමියාගේ හානියට ලක්වී තිබිය හැකියි. එය වළක්වා ගැනීමට බීජ අල සෙල්සියස් අංශක 50 ට වඩා එහෙමත් නැතිනම් මඳ උණුසුම් ජලයේ විනාඩි 10 ක් ගිල්වා තබන්න. මෙම ක්‍රමය තුළින් ඔබට ඉඟුරු බීජවල වට පණු හානි ද පාලනය කළ හැකිය.

 

දිලීර හානි

දිලීර හානි පාලනය කිරීම සඳහා මැන්කොසෙබ් දිලීර නාශක ග්‍රෑම් 30 ක් ජලය ලීටරයක දියකර කොටස්වලට වෙන් කරගත් ඉඟුරු බීජ එහි ගිල්වා තබන්න. අනතුරුව ඒවා මඳක් වියළෙන්නට හැර වගාවට යොදාගන්න.

 

අස්වනු නෙළීමේ දී

බීජ අල ලබාගැනීම සඳහා අස්වනු නෙළීමේ දී උදලු මුල්ලුවක ආධාරයෙන් ඉඟුරු අලවලට හානි නොවන පරිදි ගලවාගන්නට වගබලාගන්න. අනතුරුව බීජ සහ මුල් පරෙස්සමට ඉවත් කරන්න. පසුව පිරිසුදු ජලයෙන් සෝදා මඳ පවනේ වියළා වගා කාලය එළඹෙන තෙක් දහයියා යොදා ගබඩාකර තබන්න.

සාමාන්‍යයෙන් එක් වළක සිටුවීම සඳහා ඉඟුරු බීජ අල ග්‍රෑම් 30 - 40 ත් අතර ප්‍රමාණයක් යොදා ගනියි. ඒ අනුව අක්කරයක තනි ඉගුරු වගාවක් සඳහා බීජ ඉඟුරු කිලෝ ග්‍රෑම් 500 - 700 ක් වැනි ප්‍රමාණයක් අවශ්‍ය වේවි. ඊට අමතරව ඉඟුරු අතුරු භෝගයක් ලෙසද ඉතා ජනප්‍රිය අතර පොල්, කෙසෙල්, බඩ ඉරිඟු වැනි වගා සමඟ මිශ්‍රව වගා කළ හැකිය.

 

ඉඟුරු වගාකරන කාලය

ඉඟුරු යල කන්නයේ වගාකරන භෝගයක් වුවද ජලය සැපයීම කළ හැකි නම් ඕනෑම කාලවකවානුවක වගා කළ හැකියි. මාර්තු සහ අප්‍රේල් මාසවල ඉඟුරු වැඩි වශයෙන් වගා කරන අතර, ඒ සඳහා බීජ නිසි ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමෙන් සාර්ථක වගාවක් සහ ඉහළ අස්වැන්නක් ලැබිය හැකියි.

 

 

විශේෂ ස්තූතිය- දිශාන්ති කොඩිතුවක්කු

 

උපදෙස්

අපනයන කෘෂිකර්ම

දෙපාර්තමේන්තුවේ, සහකාර

අධ්‍යක්ෂ (කුරුණෑගල/පුත්තලම)

නිරෝෂන් විජයසිංහ