වැඩි ඉල්ලුමක් ඇති ඕකිඩ් මල් වර්ග

උඩවැඩියා මල් ලෝකය
අප්‍රේල් 21, 2021

 

වැන්ඩා මලට ඉහළ ඉල්ලුමක්

මනාලියන්ගේ මල් කළඹට ගැලපෙන ෆැලනොප්සිස්

 

 

 

නෙත පිනවන, සිත දැහැන්ගත කරවන උඩවැඩියා මලින් පිරුණු උද්‍යානයක්. මේ දිනවල ඔබේ සිහිනයේ නවාතැන්පොළ වනවා නොඅනුමානයි. ඇත්තටම නේක වර්ණයෙන් පිරුණු සොඳුරු උඩවැඩියා මල් අතරේ සැරිසරමින්, එහි චමත්කාරය සැබෑවටම අත්විඳිමින්, පසුම්බියටත් යම් මුදලක් එකතු කරගන්නට කවුද අකැමැති.

ඒ සඳහා ඔබට මඟහසර පෙන්වාදෙන මෙම ලිපිපෙළින් පසුගිය සතියේ අපේ අවධානය යොමු වූයේ ඕකිඩ් මල් ව්‍යාපාරය වෙතයි. මල් කපා අලෙවිකරන එහිදී ඕකිඩ් සඳහා සුදුසු ප්‍රභේද කිහිපයක් පිළිබඳ ඔබට යම් දැනුමක් ලැබෙන්නට ඇති.

ඩෙන්ඩ්‍රෝබියන් ප්‍රභේදය සේම තවත් ඕකිඩ් ප්‍රභේද ගණනාවක්ම කැපුම් මල් ව්‍යාපාරය සඳහා සුදුසු වේ. ඒ මොනවාදැයි කියා අද අපි සොයා බලමු.

 

ෆැලනොප්සිස් වර්ගයේ සුදු ඩෙන්ඩ්‍රෝබියම්

මෙම ප්‍රභේදයට අයත් දැකුම්කලු ඕකිඩ් වර්ගයක් වූ සූපුන්බරි වයිට් (Supunbari White), එයරි වයිට් (Airy White) වැනි සුදු පැහැති මල් ද අලෙවි කරන මල් සඳහා බෙහෙවින්ම සුදුසුය. ඊට අමතරව ළා රෝස පැහැයක් දැවටුණු සුවී වයිට් (Suwii White) ඕකිඩ් මලද අලෙවි කළ හැකිය.

මේ එක් මලක් රුපියල් 15 සිට 20 දක්වා මිල නියම කළ හැකි වේ. නමුත් වෙනත් ඕකිඩ් වර්ගවල මෙන් මේවායේ වැඩි මල් ප්‍රමාණයක් දැකිය නොහැකි අතර බොහෝවිට කිනිත්තක හටගන්නේ මල් දහයකටත් අඩු ප්‍රමාණයකි. එමෙන්ම වසරකට හටගන්නා මල් කිනිති ප්‍රමාණය ද අඩුය.

 

සුදු වැන්ඩා

තරමක් විශාල සුදු පැහැති වැන්ඩා මලට ද ඉහළ ඉල්ලුමක් ඇත. නමුත් ගැටලුවක්ව පවතින්නේ සුදු පැහැ වැන්ඩා පැළ මේ වන විට සොයා ගැනීමට අපහසුවීමයි. විශේෂයෙන්ම මෙරටට ඕකිඩ් පැළ වැඩි වශයෙන් ආනයනය කරන තායිලන්තයේ පවා සුදු වැන්ඩා පැළ සොයා ගැනීම තරමක් දුෂ්කර කටයුත්තකි.

සාමාන්‍යයෙන් වැන්ඩා මලක් අලෙවි වන්නේ රුපියල් 100 ක් වැනි මිලකටය. සුදු පැහැ වැන්ඩා මල් කළඹවල් සඳහා මිලදී ගන්නවා සේම රතු, දම්, රෝස වැනි විවිධ වර්ණයේ වැන්ඩා මල් වෙනත් සැරසිලි කටයුතු සඳහා ද යොදා ගනියි.

 

සුදු ෆැලනොප්සිස්

මනාලියන්ගේ මල් කළඹට සේම හිස් පළඳනා සඳහා තෝරාගන්නා තවත් අපූරු ඕකිඩ් වර්ගයකි සුදු ෆැලනොප්සිස්. එක් ෆැලනොප්සිස් මලක් රුපියල් 150 ක් වැනි මිලකට අලෙවි කළ හැකි අතර කිනිත්තක මල් දහයක් පමණ හටගනියි.

 

කැට්ලියා

සුන්දර කැට්ලියා සුදු වර්ණයෙන් සේම රතු, දම් වැනි වර්ණයන්ගෙන් ද දැකිය හැකියි. මනාලියකට සුදු වර්ණය තෝරා ගත්තද යහළු මනාලියන් සහ මල් කුමාරියන් සඳහා තෝරන්නේ රතු, රෝස, දම් වැනි වර්ණයන්ය. එබැවින් මේ කුමන වර්ණයක පැළයක් සිටුවා ගත්තද අලෙවියේ ගැටලු පැන නොනඟියි. සාමාන්‍යයෙන් කැට්ලියා අලෙවි වන්නේ රුපියල් 400 ත් 500 ත් අතර මිලකටයි.

 

සෝනියා

මංගල උත්සව සඳහා සුදු පැහැති ඕකිඩ් වැඩි වශයෙන් අලෙවි කළ හැකි වුවද අවමංගල්‍ය උත්සව සඳහා අවශ්‍ය වන්නේ දම් පැහැ ඕකිඩ්ය. එහිදී සෝනියා (Sonia Earasakul) මල් සඳහා වැඩි ඉල්ලුමක් පවතියි. මන්ද සෝනියා මලේ විශාලත්වය, හැඩය, පාට ආදිය මල් වඩම් සඳහා බෙහෙවින්ම සුදුසුය. සෝනියා මෙරට දේශගුණය තුළ හොඳින් වැඩෙන අතර වසරක් තුළ හටගන්නා මල් කිනිති ප්‍රමාණය ද වැඩිය.

Coyote Red, Loogjun Red වැනි ඕකිඩ් ප්‍රභේදවලද මල් පැහැයෙන්, හැඩයෙන්, විශාලත්වයෙන් අවමංගල සැරසිලි සඳහා සුදුසු වුවද ඒවායේ සෝනියා ප්‍රභේදයේ තරම් මල් කිනිති හට නොගනියි.

ඊට අමතරව මල් මාලා සැකසීමට ද දම් පැහැති ඕකිඩ් භාවිත කරයි. මෙහි සඳහන් කළ ඕකඩ් ප්‍රභේදයන්ට අමතරව වෙනත් වර්ණ මෙන්ම හැඩ සහිත ඕකිඩ් දක්නට ලැබුණද කැපූ මල් සඳහා ඒවාට ඇති ඉල්ලුම බෙහෙවින්ම අඩුය.

 

 

උපදෙස්

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ