විදෙස් රටවලට පවා ඉඟුරු නිෂ්පාදන අලෙවි කරන මාතලේ මංජුලා

අප්‍රේල් 21, 2021

 

අනාදිමත් කාලයක සිට අපි එදිනෙදා පරිභෝජනය සඳහා ඉඟුරු යොදා ගත්තා. එහිදී කුළුබඩුවක්, රසකාරකයක් සහ ඖෂධයක් ලෙස මේ ඉඟුරු භාවිත කළා මිස ඒ හරහා අතුරු නිෂ්පාදන කරන්නට පෙළඹුනේ නැහැ. නමුත් වර්තමානයේ් දී ඉඟුරු යොදාගෙන අගය එකතු කළ අතුරු නිෂ්පාදන සිදු කෙරෙන අතර ඒ සඳහා හොඳ වෙළෙඳපොළක් ද නිර්මාණය වී තිබෙනවා.

 

මේ නිසා අද අපි ඉඟුරුවලින් අපූරු නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට එකතු කරනා දිරිය ළඳක් ඔබට හඳුන්වා දෙන්නට සිතුවා.

ඇය මංජුලා කරුණාරත්න. මාතලේ, තොටගමුව, වැලිවත්ත කියන ගමේ තමයි මංජුලා පදිංචිව සිටින්නේ. තමන්ගේ සැමියා උපුල් රාජගුරු සහ එකම පුතු උචිර ගේ සහයෝගයෙන් ඉතාමත් සාර්ථකව පවත්වාගෙන යන ඇයගේ ව්‍යාපාරය නම්කර තිබෙන්නේ ‘මහතලා නිෂ්පාදන පුද්ගලික සමාගම’ යනුවෙනි.

“මහතලා කියන්නෙ ඓතිහාසික මාතලේ පුරවරය හඳුන්වන තවත් නමක්. ඉතින් ඒ අභිමානවත් නගරයේ ජීවත්වන නිසාම අපේ නිෂ්පාදන මහතලා නමින් නම් කරන්නට අපි තීරණය කළා.”

මංජුලා සුහද කතාබහක මූලාරම්භය ගත්තා.

“මම මුලින්ම කළේ විසිතුරු මල් වගා ව්‍යාපාරය. හරිත ප්ලාන්ට් කියන නමින් මගේ පැළ තවානක් තිබුණා. පුද්ගලික ආයතනයක රැකියාවක් කළ මගේ සැමියාට රැකියාව අහිමි වුණේ ඔය අතරතුරේ. ඉතින් අපි දෙන්නම එකතු වෙලා මල් වගාව කරගෙන ගියා. නමුත් පාස්කු ප්‍රහාරයත් එක්ක රටේ තිබුණු වාතාවරණය හමුවේ මේ මල් ව්‍යාපාරයට තිබුණු ඉල්ලුම අඩු වුණා.”

 

ඒ නිසාද වෙනත් ව්‍යාපාරයකට මාරුවෙන්න ඔයාලා තීරණය කළේ?

“ඔව්. මල් වගා ව්‍යාපාරයේ ප්‍රමිතිය බිඳ වැටෙද්දී වෙන කුමක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපි කතා වුණා. මොකද 2007 වර්ෂයේ ඉඳන් මම අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සම්බන්ධ වෙලා හිටියා. එතැනින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පසු තාක්ෂණ අංශයට මාව යොමු කළා. එහිදී කුළුබඩු නිෂ්පාදනය පිළිබඳ දැනුමක් සහ හොඳ අවබෝධයක් ලබාගන්නට මට හැකියාව ලැබුණා.”

 

මේ කාලයේ තමයි කොරෝනා වසංගතයත් රටපුරා පැතිරෙන්න පටන් ගත්තේ?

“ඇත්තටම ඔව්. කොරෝනා වසංගතයත් එක්ක අපි හොඳටම වැටුණා. ආර්ථික ප්‍රශ්න වැඩිවුණා. ගෙවල්වලට කොටුවෙලා ජීවත් වෙද්දි ලබාගත් දැනුම ප්‍රයෝජනයට අරන් කුළුබඩු නිෂ්පාදනය කරන්න තීරණය කළා. මොකද කොරෝනා නිසා ඉඟුරු සහ කහ සඳහා වැඩි ඉල්ලුමක් තිබුණා.

අපි කුළුබඩු නිෂ්පාදන බොහොමයක් කරනවා. ඒ අතරින් ඉඟුරු යොදා සකස් කරන විශේෂ මස්කරි මිශ්‍රණයට හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඊට අමතරව අපි සකස් කරනා ඉඟුරු තේ මාසයකට කිලෝ 100 ක් පමණ අලෙවි කරනවා. ඉඟුරු පෙති, ඉඟුරු ජුජුබ්ස්, ඉඟුරු පවුඩර්, සුවධරණී ප්‍රතිශක්තිකරණ ඖෂධය ආදී වශයෙන් ඉඟුරු නිෂ්පාදන කිහිපයක්ම සකස් කරනවා.

ඉඟුරු නිෂ්පාදන සැකසීම එතරම් අපහසු නැහැ. ඒවාගේම අපද්‍රව්‍ය නෑ. ලාබයත් හොඳයි. මාතලේ් දිස්ත්‍රික්කයේ ගොවීන් සම්බන්ධ කරගෙන ඉන්න නිසා අපිට අමුද්‍රව්‍ය ලබාගැනීමේ අපහසුවකුත් නැහැ. වෙළෙඳපොළ ඉල්ලුමක් හොඳට තියෙනවා. මුලින්ම මාතලේ සහ කොළඹ අලෙවි කළ මේ නිෂ්පාදන සඳහා දැන් විදේශ ඉල්ලුමක් තියෙනවා. ඉතින් අපි තුන්දෙනාට තනියම කරගන්න බැරිනිසාම තවත් කාන්තාවන් හතරදෙනෙක් අපි සමඟ වැඩ කරනවා. මගේ පවුල විතරක් නෙමෙයි එයාලාගේ පවුල් ජීවත් වෙන්නෙත් අද මේ ව්‍යාපාරයෙන්.

අපි මේ වෙනකොට අගය එකතු කළ ඉඟුරු නිෂ්පාදනවලට අමතරව තවත් බොහෝ කුළුබඩු නිෂ්පාදනය කරනවා. කහ, බැදපු තුනපහ, අමු තුනපහ, අබ, උළුහාල්, කොත්තමල්ලි, ගොරකා, වාගේම මුරුංගා, කරපිංචා, කුරුඳු ආදී තේ වර්ග, විජලිත කොස්, දෙල්, වරකා, කරවිල, නයිමිරිස් පවුඩර්, කරාබු නැටි, එනසාල් මේ හැමදෙයක්ම ඉතාම පිරිසුදුවට සකස්කරලා වෙළෙඳපොළට එකතු කරනවා. ඒවා වස විසෙන් තොරව සෞඛ්‍යාරක්ෂිතව ඔබට ලබාදීමයි මගේ එකම සතුට.”

 

විශේෂ ස්තුතිය

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ

මාධ්‍ය හා සන්නිවේදන අංශයේ දිශාන්ති

කොඩිතුවක්කු සහ රුවන් බස්නායකට