හිරිපොද වැස්සේ තෙමෙන්නටයි වැඩි කැමැත්ත

උඩවැඩියා මල් ලෝකය
ජනවාරි 17, 2022

 

අතමිට සරුකරන ෆැලනොප්සිස් වගාවක් පවත්වාගෙන යන්නට ඔබේ කැපවීම මෙන්ම උනන්දුව ද අත්‍යවශ්‍ය වේ. මන්ද ඕකිඩ් වගාවෙන් ලාභයක් ලබන්නට නම් වගාව සරුසාර විය යුතු අතර ඒ සඳහා මනා නඩත්තුවක් ද තිබිය යුතු වේ.

 

ආකර්ෂණීය ෆැලනොප්සිස් මල් කුමාරියන් හට ගන්නට ජලය සහ පොහොර නිසි ලෙස යෙදිය යුතු ආකාරය පිළිබඳ මේ වනවිට ඔබ හොඳින් දැනුවත්. ඊට අමතරව තවත් බොහෝ දේ පිළිබඳ ඔබේ අවධානය යොමු කළයුතු අතර අද අපි ඒ ගැන දැනුවත් වෙමු.

 

ආර්ද්‍රතාවය

 

සාමාන්‍යයෙන් ෆැලනොප්සිස් ඕකිඩ් ශාකයට 60%ක පමණ සෙවණක් ලැබිය යුතු වේ. එබැවින් වගාව අවට පරිසරයේ ආර්ද්‍රතාව අඩු වනවිට කෘත්‍රිම අන්දමට හෝ වගා පරිසරය තුළ ආර්ද්‍රතාව ඇතිකළ යුතු වේ. එහිදී ඕකිඩ් පැළවලට එක එල්ලයේ ජලය යොදනවා වෙනුවට අවට පරිසරය පුරා සිහින් දුමාරයක් පැතිරෙන්නා සේ නිරතුරුවම ජල වාෂ්ප විසිරී යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වඩාත් සුදුසුය.

 

වගා මාධ්‍යය

 

කුඩා ෆැලනොප්සිස් පැළ බඳුන්ගත කිරීමේ දී වගා මාධ්‍යය ලෙසින් භාවිත කෙරෙන්නේ අඟුරු, උළුකැට මිශ්‍රණයයි. ඊට අමතරව ඔබට වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි ස්ෆැග්නම් මොස් (Sphagnum Moss) මිශ්‍රණය ද වගා මාධ්‍යය ලෙස භාවිත කළ හැකිය. මෙහිදි ඔබ ස්ෆැග්නම් මොස් යොදා ගත්තා නම් වාර්ෂිකව වගා මාධ්‍යය මිශ්‍රණය මාරු කිරීමට වගබලාගන්න. නමුත් අඟුරු - උළු කැට මිශ්‍රණය තෝරා ගත්තේ නම් ඔබ වගා මාධ්‍යය මාරු කළ යුත්තේ වසර දෙකකට වරක් බව මතක තබාගන්න.

 

උපදෙස්

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ