මව් ශාක, පඳුරු හා ‘ කට්’ කළ හැකි පැළ හඳුනාගන්න

මාර්තු 28, 2022

 

ලතින් අමෙරිකාව නිජබිම කරගෙන ඉපදී මල් ලෝකය විසිතුරු කළ ඇනතූරියම් අද අපේ රටේ වෙළෙඳපොළ ජයගත් ප්‍රධානතම මල් වර්ගයකි. එදා ලාංකේය කාන්තාවන් අතර ජනප්‍රිය වූ ඇන්තූරියම් වගාව අද වන විට පිරිමි පාර්ශවය අතර ද බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. ඒ නිසා මේ දෙපිරිසම ව්‍යාපාරික ඇන්තූරියම් වගාවේ නියැළෙන ආකාරයක් දැකගත හැකියි. අපේ මේ දැනුවත් කිරීම ඔබ සාර්ථක වගාකරුවකු කරනු පිණිසයි.

 

‘කට් සයිස්, බුෂ්, මදර් ප්ලාන්ට්' ඇන්තූරියම් වගාවේ නියැළෙන ඔබට මේ වචන හුරුවුවත් ආධුනික වගාකරුවන්ට මෙය මහා ගැටලුවකි. ඒ නිසා අද අපි මේ තුන් වර්ගය මොනවාදැයි හඳුනාගනිමු.

කට් කළ හැකි පැළ (කට් සයිස් ප්ලාන්ට්ස් cut size plants)
 

 

හොඳින් වර්ධනය වූ ඇන්තූරියම් ශාකයක වගා මාධ්‍යයට ඉහළින් මුල් කිහිපයක් දිස්වන විට එම පැළය කට් කළ හැකි පැළයක් ලෙසින් හඳුන්වයි. මෙවැනි කට් කළ හැකි පැළ අවශ්‍ය වන්නේ එම ශාකයෙන් පැළ ලබා ගැනීමටයි. ඒ සඳහා පැළයේ කඳ කොටසේ මුල් සමඟ කොළ ද තිබිය යුතුයි. මව් ශාකයක් කට් කළ හැකි ශාකයක් ලෙසින් ද හැඳින් විය හැකියි.

 

මව් ශාක (මදර් ප්ලාන්ට්ස් - Mother Plants)


කඳ කොටස හොඳින් වර්ධනය වූ ශක්තිමත් මූල පද්ධතියක් සහිතව වගා මාධ්‍යය ඉහළින් මුල් දිස්වන ගුණාත්මක බවින් යුතු මල් සහිත ඇන්තූරියම් ගහක් මව් ශාකයක් (Mother Plants) ලෙස හඳුන්වනු ලැබේ.


මෙහිදී නිරෝගී මව් ශාකයක් බඳුන් ගත කිරීමෙන් අනතුරුව කාලයක් ගතවීමේ දී එයින් කුඩා පැළ හටගැනීමක් ද සිදුවේ. එසේම ඇන්තූරියම් වෙළෙඳපොළ තුළ මව් ශාක සඳහා හොඳ ඉල්ලුමක් ද පවතී. මෙවැනි මව් ශාකයක් යනු කට් නොකරන ලද කුඩා අවධියේ රෝපණය කර පසුව වර්ධනය වූ පැළයි
 

පඳුරු (බුෂ් - Bush)
 

ඇන්තූරියම් වගාවේ දී මව් ශාකයක් දෙකක එකතුවක් නැතිනම් මව් ශාකයක් සහ පැළ කිහිපයක් සහිතව හෝ පැළ රාශියක් පමණක් හටගෙන ඇති අවස්ථාවක එය පඳුරක් (Bush) ලෙස හඳුන්වනු ලබයි. මෙහිදී මව් ශාකය වටා හට ගත් අනෙකුත් පැළ ක්‍රමානුකූලව ගලවා සිටුවීම කළ යුතුය. විශේෂයෙන්ම පඳුරකින් පැළ වෙන්කිරීමට ප්‍රථමව එම පැළවල මුල් හටගෙන ඇතිදැයි සොයා බැලිය යුතුය. නැතිනම් කුඩා පැළවල මුල් කැඩීයාම හේතුවෙන් එතුළට දිලීර ඇතුල්වී එම පැළවල මුල පද්ධතියට හානි සිදුවී පැළ කුණු විය හැකිය. එසේම එයින් මව් ශාකයට ද හානි සිදුවිය හැකියි.
 

උපදෙස් -
අතුරුගිරිය සඳමාලි
ඇන්තූරියම් හි
වාසනා සඳමාලි