මේ කාලයේ දැවෙන ප්‍රශ්නයට විසඳුමක්

ස්වයං රැකියාවකට උපකරණ දෙකක්
අප්‍රේල් 11, 2022

 

බයිට් හැදීම කියන්නේ සාර්ථක ව්‍යාපාරයක්. එවැනි ව්‍යාපාරයක් කාන්තාවන්ට කදිමට ගැළපෙනවා. හැබැයි බයිට් හදන්න මේ කාලයේ තිබෙන ලොකුම ගැටලුව ගෑස් හිඟය. බොහෝ නාගරික ප්‍රදේශවල ගෘහණියෝ ගෑස් ටැංකියක් පාවිච්චි කරන්නේ හරිම ප්‍රවේශමෙන්. අරපිරිමැස්මෙන්. ඒ විතරක් නොවෙයි මිලත් වැඩියිනේ.

හැබැයි සාර්ථක ව්‍යාපාරයක් කරන ඔබට ගෑස් හිඟයට, මිල වැඩිවීමට විකල්ප බොහෝ තිබෙනවා. සියල්ල ගෑස් මතම යැපෙන්න හිතුවොත් අපට සාර්ථක ව්‍යාපාරයක් කරන්න අපහසුයි. තරගකාරි ව්‍යාපාර ක්ෂේත්‍රයේ අපට මේ මැසිවිලි නැඟීම නවතා හිස ඔසවන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ පුංචි කැපවීමක් කිරීමයි. අප ඔබට ඒ වෙනුවෙන් පුංචි මඟ පෙන්වීමක් කරන්න සිතුවා.

මඤ්ඤොක්කා පෙති බයිට්වලට දැන් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඕනෑම නගරයක, ගමක මඤ්ඤොක්කා පෙති බැදලා විකිණීමෙන් හොඳ ලාභයක් ගන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි මඤ්ඤොක්කා පෙති බයිට් ක්‍රමානුකූලව හැදුවොත් පැකැට් කිරීමෙන් කඩවලට දෙන්න තරම් නිෂ්පාදනයක් ඔබට කරන්න පුළුවන්.

මේ සඳහා හොඳම උපකරණ දෙකක් ඔබට හඳුන්වා දෙන්නේ නර්ඩ් අයතනය. නැතිනම් ජා-ඇල ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන තමයි මේ උපකරණ හඳුන්වාදීම සිදු කරන්නේ. රජයේ ආයතනයක් ලෙස ඉතාම වගකීමෙන් යුතුව අත්හදා බැලීමෙන් යුතුව ඔබ හමුවට ඉදිරිපත් කරන මේ උපරකණ මේ කාලයේ බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි.

මඤ්ඤොක්කා පෙති කැපීමේ යන්ත්‍රය

ඉතාම ක්‍රමානුකුලව මඤ්ඤොක්කා පෙති කැපෙන මේ යන්ත්‍රය සකස් කර ඇත්තේ යන්ත්‍රානුසාරයෙන් එකම ප්‍රමාණයට පෙති කැපෙන ආකාරයෙනි. පැයක් වැනි කාලයක් තුළ කිලෝ ග්‍රෑම් 100ක් තරම් ප්‍රමාණයක් ඉතාම පහසුවෙන් කපා ගැනීමට හැකි අයුරින් සකස් කළ මෙහි පෙත්තක සාමාන්‍ය ඝණකම මි. මී. 0.8 තරම් කුඩාවට කැපෙයි. වොට් 180ක මෝටරයක් මඟින් ක්‍රියාත්මවක වෙන මේ උපකරණය ස්වයං රැකියාවක් ලෙසින් මඤ්ඤොක්කා පමණක් නොව කරවිල වැනි දේ කපා ගන්නා හෝටලයකට ද ප්‍රයෝජනවත් වෙයි.

 

කර්මාන්තයකට දර ළිප

මේ කාලයේ හෝටල් හා විවිධ ආයතන සඳහා විශාල ප්‍රමාණයෙන් උයාගැනීම සඳහා ගෑස් සපයා ගැනීම ගැටලුවකි. ඔබ බයිට් වැනි ව්‍යාපාරයක් කරගෙන යන්නේ නම් ඒ සඳහා මේ දර ළිප ඉතාම ප්‍රයෝජනවත්ය. එසේම සාර්ථක දැව දහනයක් ද සිදු වෙයි. කිතුල් පැණි, හකුරු, රසකැවිලි, කිරි නිෂ්පාදන, බයිට් වර්ග පමණක් නොව හෝටල් ක්ෂේත්‍රයේ නිෂ්පාදන සඳහා මෙය වඩාත් උපාකරී වෙනු ඇත.

එසේම මේ ළිපේ වාසි කිහිපයකි. ඉහළ කාර්යක්ෂමතාවක් ඇති මෙය ඉතාම පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි වෙයි. තවද මෙය ක්‍රියා කරවීමේදී ක්‍රියාකරවන්නා අධික තාපයෙන් හා දුමෙන් ආරක්ෂා වී නිරාවරණයවීම අවම කරයි.

මේ සඳහා සාමාන්‍ය දර ළිපක් ලෙසින් පොල් පිති, පොල් කටු ආදිය භාවිත කළ හැකි අතර ආහාර පිසීමේදී අළු හා දැලි ආදිය මිශ්‍ර නොවෙයි. එසේම මෙය සකස් කර ඇත්තේ විශේෂ කොන්ක්‍රීට් වර්ගයකිනි. ඒ නිසා මෙහි කල් පැවැත්ම ද ආරක්ෂාව ද හොඳින්ම පවතී. භාජනයට වදින රස්නය පාලනය කිරීමට හැකියාව ඇති මේ උදුනේ චිමිනි බටය නිසා ඉන්දන දහනය හොඳින් කාර්යක්ෂමව සිදු වෙයි. ඉවතලන හිස් තෙල් බැරල් යොදාගෙන තැනූ මේ උපරකණය ඉතා අඩු දර ප්‍රමාණයකින් විශාල ප්‍රමාණයක් උයා ගැනීමේ හැකියාව පැවැතීම ලොකුම වාසියයි. කිලෝ ග්‍රෑම් 5ක් පමණ ප්‍රමාණයක ව්‍යාංජනයක් සදහා දර කිලෝ ග්‍රැම් 2ක් පමණ ප්‍රමාණවත්වය. මෙවැනි වාසි රැසක් ඇති මේ උපකරණය නර්ඩ් අයාතනය මඟින් හදුන්වා දී බලයලත් ආයතන කිහිපයක් මඟින් අලෙවි කිරීම සිදු කරනු ලබයි. මේ පිළිබද වැඩි විස්තර හා තාක්ෂණය පිළිබඳ තොරතුරු නර්ඩ් ආයතනය මඟින් ලබා දෙන අතර වැඩි විස්තර අවශ්‍ය නම් තරුණී පුවත්පතේ 011-2429591 - 011-2429592 අංකයට අමතන්න.

 

විශේෂ ස්තුතිය

දිල්රුක්ෂි පතිරණ - සහකාර අධ්‍යක්ෂිකා නර්ඩ් ආයතනය (අලෙවි අංශය)

මුදිත ප්‍රසාද් - අලෙවි නිලධාරි නර්ඩ් ආයතනය තාක්ෂණ (අලෙවි අංශය)

ඡායාරූප - සරත් කුමාර (නර්ඩ් ආයතනය)