ජපන් කාන්තාවන් ධනපතිනියන් කළ බොන්සායි

මුලසිට සරලව ඉගෙන ගනිමු.
ජනවාරි 16, 2023

 

ප්‍රවිණ බොන්සායි උපදේශිකා මනෝරි සමරවික්‍රම තරුණී වෙනුවෙන් ගෙනෙන අංග සම්පූර්ණ බොන්සායි පාඨමාලාවේ ආරම්භය

 

මිටි ගහකින් සල්ලි මිටි මවන්නේ මෙන්න මෙහෙමයි

 

බොන්සායි කියන්නේ ශාක සම්බන්ධ කරගෙන සිදුකරන අපූර්වතම නිර්මාණාත්මක කලාවක්. මේ කලාව මුලින්ම ආරම්භ වුවාසේ සැලකෙන්නේ චීනයේ. නමුත් මෙම කලාව වඩාත් ප්‍රචලිත වී ඇත්තේ ජපානයේ. බොන්සායි කලාව ජපානයේ සංස්කෘතියත් එක්ක බද්ධවෙලා වර්ධනය වූ කලාවක්. බොන්සායි කියන වචනයත් ජපන් වචනයක්. එහි තේරුම පැතලි බදුනක සිටුවන ලද ශාකයක් යන්නයි. නමුත් පැතලි බඳුනක සිටු වු ඕනැම ශාකයක් බොන්සායි ශාකයක් වන්නේ නැහැ.

 

බොන්සායි කලාවේ දී සිදු කරනු ලබන්නේ ස්වාභාවික පරිසරයේ දකින්න ලැබෙන පැරැණි විශාල ගසක අනුරුවක් කලාත්මක ලෙස කුඩාවට බඳුනක් තුළ නිර්මාණය කරගැනීමයි.

බොන්සායි කලාවේදි යොදාගන්නේ ජීවය සහිත ශාකයක්.

ඒනිසා මෙය සජීවී කලාවක් ලෙස හඳුන්වනවා.බොන්සායි කලාව ඒකාකාරී බවින් තොර, එහි නියැළෙන්නන් හට නිතරම අභියෝග සපයන, කුතුහලය දනවන, හදවතට සමීප කලාවක්.

 

බොන්සායි ශාකයක් වසර සිය ගණනක් වුවද පවත්වාගෙන යා හැකි නිර්මාණයක් වන අතර, එය පරම්පරාවෙන් පරම්පරාවට උරුමයක් ලෙස පැවරිය හැකි අනුස්මරණීය සිහිවටනයක්.එ්නිසා එය නිමා නොවන කලාව ලෙස හඳුන්වන්න පුළුවන්.

බොන්සායි ශාකයකට එයටම ආවේණික වූ ජීවිත කතාවක් පවතින බැවින්, එතුළින් නිරන්තරයෙන් නරඹන්නාගේ පරිකල්පනය උත්තේජනය කරවනවා.

බොන්සායි කලාවේ නියැලෙන්නන් හට එමඟින් තම නිර්මාණාත්මක හැකියාවන් එළිදැක්වන්න පුළුවන්.

තම කාර්ය බහුල අවිවේකී ජීවන රටාවෙන් මඳ හෝ අස්වැසිල්ලක් ලබාගැනීමට කදිම විනෝදාංශයක් ලෙස බොන්සායි කලාව හඳුන්වන්න පුළුවන්. බොන්සායි කලාව තුළින් ‍හැමවි‍ටම ඔබව ස්වභාව ධර්මය කෙරෙහි නැඹුරු කරවනවා.

මෙම කලාව බාල‚ තරුණ‚ ම‍හලු මේ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට නියැළිය හැකි කලාවක්. බොන්සායි කලාවේ නිරතවන්නන්ට තම රුචිකත්වය පරිදි ඕනෑම ඉඩ ප්‍රමාණයකට සරිලන ලෙස බොන්සායි ශාකයක් සකස් කරගත හැකි බැවින් එය ඉඩකඩ මඳ නිවසක, තට්ටු නිවසක කාර්යාලයක හෝ වෙනත් ඕනෑම ස්ථානයක පහසුවෙන් තබාගත හැකිය.

බොන්සායි ශාක නිවාස අලංකරණයේදී ද සුවිශේෂි ස්ථානයක් ගන්නවා. තම කැමැත්ත පරිදි ඔබේ ගෙවත්තේ, නිවසේ, හෝ කාර්යාලයේ බොන්සායි ශාකයක් ස්ථානගත කිරීමෙන් එහි පැමිණෙන හිතවතුන්, අමුත්තන් හා සේවාලාභීන් සියලු දෙනාටම බොන්සායි කලාව රස විඳීමට අවස්ථාවක් උදාකර දෙන්න පුළුවන්.

බොන්සායි කලාව ඔබේ ජීවිතයට අලුත් ගුණාංග එකතු කර ගැනීමටත්, තිබෙන ගුණාංග වැඩිදියුණු කර ගැනීමටත් පිටුවහලක් වෙනවා. බොන්සායි කලාවෙන් ඉවසීමේ ගුණය වැඩි දියුණු කරන අතර, සිත ඒක අරමුණකට යොමු කර සමාධිගත මානසික ඒකාග්‍රතාවය ඇති කරවනවා.

අද වන විට මෙම කලාව ලෝකය පුරාම ප්‍රචලිත වෙලා තියෙනවා. විනෝදාංශයකට අමතරව බොන්සායි කලාව තම ජීවනෝපාය මාර්ගය කරගත් පිරිසකුත් ඉන්නවා. බොන්සායි කලාව ප්‍රගුණ කරගෙන එය ස්වං රැකියාවක් ලෙස පවත්වාගෙන යෑමටත් ඔබට පුළුවන්.

ඉදිරියේදි අපගේ ලිපි පෙළ ඔස්සේ ඔබට බොන්සායි පිළිබඳව වැඩිදුර දැනුම්වත් කිරීමට අදහස් කරනවා.

 

උපදෙස්

ශ්‍රී ලංකා බොන්සායි සංගමයේ

උප සභාපතිනි

මනෝරි සමරවික්‍රම