පුංචි දෝණිගේ හිස සරසන්න හුරුබුහුටි හෙයා ක්ලිප් එකක්

මාර්තු 13, 2023

 

මවකට මෙන්ම පියකුටද තම දියණිය මැණිකකි. ඒ මැණික ඔපදමා හැඩ කිරීමටත් ඒ හැඩ විඳීමටත් මාපියන් නිතර වෙහෙසෙති. පුංචි දියණී අලංකාර විලාසිතාවලින් හැඩ කිරීමට මාපියන් නොගන්නා උත්සාහයක් නැත.

ඉතින් මලක් වගේ ඉන්න දෝණි සමනලියක් වගේ හැඩ කරන්න ආසාවෙන් ඉන්න අම්මලට අද ගෙන එන්නේ අපූරු හිස පැලඳුමක්. බෝ එකක හැඩයගත් මේ හෙයා ක්ලිප් එකට ගැළපෙන වර්ණ දෙකක රෙදි භාවිතකර ඇති නිසා එය බෙහෙවින්ම අලංකාරයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

මුද්‍රිත හෝ තනි පැහැයෙන් සෙන්ටිමීටර් 2.5 හෝ ඊට වැඩි පළලකින් යුතු රිබන් කොටස් 2ක්

සෙන්ටිමීටර් 1ක් පළල රිබන් කොටස් 1ක්

කොණ්ඩා කටුවක්

ගම්

නූල්

 

නිර්මාණය කරගන්නා ආකාරය

 

පළමුව සෙන්ටිමීටර් 2.5ක් පළල රිබන් කොටස් අවශ්‍ය පමණ දිගට ගෙන දෙකෙළවර මැදට එන සේ තබා මසා ගන්න.

එසේ සකසාගත් රිබන් කොටස් 2 ‍රූපයේ දැක්වෙන පරිදි එක මත එක තබා හෝ එකට ළං කර තබා නූලකින් රඳවා ගන්න.

ඉන්පසු සෙන්ටිමීටර් 1ක් පළල රිබන් කොටස ගෙන නූල් රැඳවුම වැසෙන සේ තබා හොඳින් ඇලවෙන ගම් වර්ගයකින් අලවා ගන්න. එසේ සකසාගත් බෝ එක කොණ්ඩ කටුවට තබා අලවා ගැනීමෙන් අලංකාර කොණ්ඩ කටුවක් නිර්මාණය කරගත හැකියි. කෑමැති ඕනෑම වර්ණයක් භාවිත කරමින් දියණියගේ ඇඳුමේ පැහැයට ගැළපෙන පරිදි මෙය නිර්මාණය කළොත් දියණිය පුංචි සමනලියක් මෙන් හැඩට පෙනේවී.

 

 

උපදෙස්

අමිලා ජයමිණි පෙරේරා

මල් සැකසුම් හා අත්කම් නිර්මාණ ශිල්පිනී

Pretty pink creations