බිමෙන් උපන් මලෙන් සල්ලි හොයන රහස්

බිම්මල සල්ලි ගහක් කියලා ඔයාලත් හිතුවද ?
මාර්තු 20, 2023

 

අද වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් ඇති ආහාරයක් තමයි බිම්මල්. වස විසෙන් තොර ආහාර ගැන වැඩි උනන්දුවක් ඇති මේ කාලයේ අපේම නිෂ්පාදනයක් ලෙසින් බිම්මල් වගා කිරීම අත මිට සරු කරන හොඳ ආදායමක් ලැබෙන ව්‍යාපාරයක් වගේම ගෘහිණියකට නිවෙසේ සිට කළ හැකි හොඳම වගාවක්. මේ බිම්මල් වගාව ස්වයං රැකියාවක් ලෙස සිදු කරන බොහෝ දෙනෙක් ඉතාම උනන්දුවෙන් තමුන්ගේ ව්‍යාපාර ආරම්භ කරනවා.

 

ඒ වගේම හොඳ ආදායමක් ලබා ගන්නවා. නමුත් ටික කාලයකින් තමුන්ගේ ව්‍යාපාර කඩා වැටිලා නවත්වලා දාන තත්ත්වයට පත් වෙනවා. අප මේ උත්සාහ කරන්නේ මෙලෙසින් ආරම්භ කළ බිම්මල් වගාවක් ඉතාම සාර්ථක ලෙසින් පවත්වාගෙන යමින් ලාභ ලබන ආකාරය පිළිබඳ විමසා බැලීමටයි.

 

බිම්මල් වගාව ආරම්භ කිරීමේදී ඒ සඳහා මූලිකවම අවශ්‍ය වෙන්නේ වගාව පිළිබඳ මූලික දැනුම. ඒ වගේම වගාව සඳහා කැපවීම. තවත් වැදගත්ම දෙයක් තමයි වගාව පිළිවෙළට සිදු කිරීම හා වෙළෙඳපොළක් සොයා ගැනීම. අතීතයේදී බිම්මල් වගාව සඳහා ඒ තරම් හොඳ ඉල්ලුමක් තිබුණේ නැහැ. එහෙත් මේ වනවිට බිම්මල් සඳහා ඇති ඉල්ලුම දවසින් දවස ඉහළ යනවා. බොහෝ දෙ‍නකුට තමුන්ට ඇති ඉල්ලුමට සැපයුම ලබා දෙන්න බැරි තරමටම හොඳ ඉල්ලුමක් තිබෙනවා.

 

අප මේ ලි‍පියෙන් උත්සාහ කරන්නේ බිම්මල් වගාව සිදු කරන ආකාරය පිළිබඳ දැනුමක් ලබා දීමට නොවෙයි. බිම්මල් වගාව සඳහා නිසි උපදෙස් ලබා ගෙන ඒ සඳහා ප්‍රවේශ වන ආකාරය පිළිබඳ අදහස් ලබා දීමටයි. බිම්මල් වගාවක් සාර්ථක කරගැනීම සඳහා වැදගත්වන ප්‍රධාන සාධක කිහිපයක්ම තිබෙනවා.

 

අපි ඒ ගැන වැඩි අවධානයක් යොමු කරමු. මේ වගාව සඳහා මූලිකවම අවශ්‍යවන අමුද්‍රව්‍යයක් වන්නේ ලී කුඩු හෝ දහයියා සොයා ගැනීමයි. මෙලෙස ලී කුඩු ලබා ගැනීමේදී එම ලී කුඩු වර්ගය වගාවට ගැළපෙන ගස් වර්ගවල ලී කුඩු පමණක් යොදා ගන්න. අඹ, ඇල්බීසියා, රබර්, ලුනුමිදෙල්ල ලී කුඩු පමණක් මේ සඳහා යොදා ගන්න. මේ අතරින් රබර් ලී කුඩු වඩාත් සුදුසුයි. මේ වර්ගවලට වඩා වෙනස් ලී කුඩු ලබා ගත්විට එයින් ලැබෙන පලදාව අඩුවන අතර ව්‍යාපාරය ද අසාර්ථක වෙයි.

 

ඒ වගේම තවත් අවශ්‍ය දෙයක් වන්නේ සහල් නිවුඩුය. සහල් නිවුඩු පහසුවෙන්ම සොයාගත හැකි වන්නේ සහල් මෝලකිනි. තවද අලුහුනු හා මැග්නීසියම් සල්ෆේට් සුළු ප්‍රමාණයකුත් අවශ්‍යයි. මේවා ඔබට හාඩ්වෙයාර් එකකින් මිලදී ගත හැකි අතර හැකිනම් කොළඹ පිටකොටුවෙන් ද අඩු මුදලට ලබාගත හැකි කඩ කිහිපයක් පවතී. එසේම වගා මලු සැකසීම, පොලිතින් ද ඔබට එම කඩයකින්ම ලබා ගැනීමට අවස්ථාව තිබේ. තවද මේ සඳහා පොලිතීන් සීලරයක් තිබීම වඩාත් පහසුවකි. මේවාට අමතරව PVC බට කැබැලි, රබර් පටි හා කපු පුළුන් ද අවශ්‍ය වෙයි. මෙලෙසින් ඔබ මේ ද්‍රව්‍ය සොයා ගත් පසු අවශ්‍ය වන්නේ ගුණාත්මක බිම්මල් බීජ සපයා ගැනීමයි. ලංකාවේ වගා කරන බිම්මල් වර්ග අතර ඉතාම ජනප්‍රිය වන්නේ ඇමෙරිකන් ඔයිස්ටර්ස්, ඇබලෝන්, ඉන්දියානු ඔයිස්ටර්ස්, භූතාන් ඔයිස්ටර්ස්, ග්ලැසියර්ය.

 

මේ අතුරින් ඇමෙරිකන් ඔයිස්ටර්ස් සඳහා අප රටේ හොඳ ඉල්ලුමක් පවතින අතර ඔබ ද වගාව ආරම්භ කරන විට මේ වර්ගයම සොයා ගන්න. තවද ඔබට ලී කුඩු ජීවානුහරණය සඳහා බැරලයක් තිබිය යුතු අතර එය වැසීමට ටියුබ් පටියක් ද සොයා ගන්න.

 

මුලින්ම ඔබ කළ යුත්තේ ලී කුඩු ජීවානුහරණය කිරීමයි. එසේ ජීවානුහරණයට පෙර ඔබ ලී කුඩු මිශ්‍රණය සකස් කර සම ප්‍රමාණයට පොලිතින් අසුරාගත යුතුයි. එසේ පුරවාගත් මිශ්‍රණයට PVC බට කැබැල්ල ගන්න පුළුවන්. ඇබයක් ගසා ගන්න. දැන් ඔබ සකස් කළ මිශ්‍රණය සහිත මලු බැරලයක අසුරා හුමාලය මඟින් ජීවානුහරණය කරන්න. මෙලෙස පැය 2ක් පමණ ජීවානුහරණය කර ඉක්මනින් පියන විවෘත කර පැය කිහිපයක් තබා කාමරයක අසුරා ගන්න.

 

දැන් ඔබ කළ යුත්තේ බීජ පැළ කිරීමයි. ජීවානුහරණය කර හැන්දක් ගෙන බීජ දිලීරය තබා සුදුසු ස්ථානයක මසක කාලයක් තබන්න‍

 

ඊළඟ පියවර වන්නේ රාක්ක මත මේ ඇසුරුම් තැන්පත් කිරීමයි. ඉතා හොඳින් පිරිසුදු කාමරයක අසුරා දිනපතා ජලය යෙදීම කළ යුතු වෙයි. අවට පරිසරයේ සිසිල් බව රඳවා ගැනීම ගැන ද ඔබ මෙහිදී වඩාත් සැලකිලිමත් වෙන්න.

 

දැන් ඔබට පොකුරු ලෙස බිම්මල් හැදී තිබෙනු දැක ගැනීමට හැකිවනු ඇත. එවිට තියුණු පිහියකින් ඒවා නෙළා අලෙවිය සඳහා ඇසුරුම් කළ හැකි අතර මෙලෙස පැකැට් දහසක් වැනි ප්‍රමාණයක් සකස් කරගත් විට ඔබට හොඳ අස්වැන්නක් ලැබෙයි. එසේම දිනපතා හොඳ ආදායමක් ද උපයා ගැනීමට හැකි වනු ඇත.