වර්ෂ 2025 ක්වූ June 09 වැනිදා Monday
හොඳ වැටුපක් ස්වාධීන රැකියාවක්

උපස්ථාන සේවය සඳහා නිසි පුහුණුවක් හා රජයේ පිළිගත් ජාතික මට්ටමින් පිළිගන්නා සහතිකයක් ලබාගත හැකි පුහුණු ආයතනය තමයි ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය.
උපස්ථාන සේවය කියන්නේ ඉතාම වටිනා පුණ්‍යකර්මයකි. මේ සද්ක්‍රියාවට දායක වෙන්න ඔබටත් පුළුවන් නම් හරිම වටිනවා. හැබැයි මෙවැනි වාත්තියක් සඳහා යොමු වෙන්න අපට සාම්ප්‍රදායික ආකල්පයන්ගෙන් මිදෙන්න සිද්ධ වෙනවා. ගිලන් පුද්ගලයෙකුට උපස්ථාන කිරීම එතරම් සමාජ පිළිගැනීමක් නැති රැකියාවක් ලෙසයි බොහෝ දෙනෙක් සලකන්නේ.
හැබැයි වර්තමානයේ එවැනි ආකල්ප බොහෝ දුරට වෙනස් වී තිබෙනවා. ජාත්‍යන්තරව හොඳ ඉල්ලුමක් ඇති, හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් ලෙස තරුණ, තරුණියන් යොමුවෙන රැකියාවක් ලෙසයි අද මේ වෘත්තීය සලකන්නේ. මේ රැකියාවට දේශීයව පමණක් නොවෙයි විදේශීයවත් හොඳ ඉල්ලුමක් දැන් ඇති වී තිබෙනවා.
මේ වෘත්තියට වැඩි වටිනාකමක් හා පිළිගැනීමක් ලැබී තිබෙන්නේ බොහෝ දෙනෙක් කාර්යයබහුල නිසයි. විශේෂයෙන්ම වැඩිහිටි ගිලන් පුද්ගලයෙකු බලා ගැනීම හා උපස්ථාන කිරීමට ඉතාම අසීරු කටයුත්තකි. එවැනි පුද්ගලයන්ට උපස්ථාන කිරීමට හා රැක බලා ගැනීමට ක්‍රමවත් පුහුණුවක් ලැබුවොත් මෙය අසීරු නැහැ. බොහෝ විට නිවෙසක වැඩිහිටියෙක් හෝ ඇවිදීමට, තම දෛනික කටයුතු කර ගැනීමට නොහැකි රෝගීන් සිටින විට ඒ වෙනුවෙන්ම උපස්ථාන කිරීමට සහායකයෙක් අවශ්‍යයි. මෙවැනි අවස්ථාවක තමයි උපස්ථාන පුහුණුව ලැබූ අයෙකුගේ වටිනාකම වැඩි වෙන්නේ.
උපස්ථාන පුහුණු පාඨමාලා
වර්තමානයේ මේ උපස්ථාන සේවයට ඇති ඉල්ලුම නිසාම පුහුණු පාඨමාලා ආරම්භ කර තිබෙනවා. අපේ රටේ මෙවැනි වෘත්තිකයගේ පළපුරුද්ද හා පුහුණුව ගැන සොයා නොබැලුවත් වෙනත් රටවල මෙවැනි සේවයකට තෝරා ගැනිමේදී ඒ පිළිබඳ පුහුණුව හා පළපුරුද්ද ගැන වඩාත් හොඳින් විමසා බලනවා. මේ නිසා මෙවැනි වෘත්තියක් සඳහා කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට ක්රමයනුකූල පාඨමාලාවක් හදාරා සහතියක් තිබීම හරිම වටිනවා.
උපස්ථාන සේවය සඳහා නිසි පුහුණුවක් හා රජයේ පිළිගත් ජාතික මට්ටමින් පිළිගන්නා සහතිකයක් ලබාගත හැකි පුහුණු ආයතනය තමයි ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය. මේ ආයතනය මඟින් මේ වෘත්තීය සඳහා පුහුණුව ලබාදෙන මධ්‍යස්ථාන කිහිපයක්ම දිවයින පුරාම ආරම්භ කර තිබෙනවා. ඒ වගේම එම පාඨමාලා අවසන් කරන සිසුන්ට ජාතික මට්ටමින් පමණක් නොවෙයි ජාත්‍යන්තර මට්ටමින් පිළිගන්නා සහතිකයකුත් හිමි වෙනවා.
මෙලෙස පුහුණුව ලබාදෙන පෞද්ගලික ආයතන කිහිපයකුත් දැන් අප රටේ තිබෙනවා. එම ආයතන මඟින් ලබාදෙන පුහුණුවට පසු ඔවුන් ද පිළිගත් සහතිකයක් පිරිනමනවා. මෙවැනි පුහුණුවක් ලැබීම රැකියාවක් ලබාගැනීමට පමණක් නොවෙයි ඇතැම් විට තමුන්ගේම පවුලේ සාමාජිකයෙකුට උපස්ථාන කිරීමට පවා ප්‍රයෝජනවත්.
උපස්ථාන සේවය වෙනත් වෘත්තීන්ට වඩා තරමක් වෙනස්. ඒ වගේම ස්වාධීනයි. තමුන්ගේ පළපුරුද්ද හා පුහුණුව අනුව මේ කටයුත්තට ස්වාධීනවම යොමුවීමටත් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මේ රැකියාවෙන් විදේශීය රටක රැකියාවක් පවා සොයා ගැනීම පහසුයි. Professional Caregiver කියන්නේ හොඳ වැටුපක් ලබාගත හැකි ලෝකයේ විශාල රැකියා ප්‍රමාණයක් පවතින ක්ෂේත්රයක්. ඒ සඳහා පවතින ඉල්ලුම අනුව ඒ ඒ රටවලට ගැළපෙන ලෙසින් උපස්ථාන සේවය සැලසීමේ පුහුණු පාඨමාලා පවා දැන් ආරම්භ වී තිබෙනවා. ඊශ්‍රායල් රාජ්‍යෙය් මේ සඳහා දැන් වැඩි ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම ජපානය, අමෙරිකාව, රුමේනියාව, කුවේට්, සෞදි අරාබියාව වගේ රටවලටත් විශාල ඉල්ලුමක් පවතිනවා.
මේ සඳහා ලෝකයේ වෙනත් රටවල මෙන්ම දැන් අපේ රටේ නාගරිකව රෝහල් ආසන්නව ද වැඩි ඉල්ලුමක් ඇති වී තිබෙනවා. ඒ නිසාම රෝහල් ආසන්නයේ ගිලන් උපස්ථාන මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. හැබැයි මේ මධ්‍යස්ථාන මඟින් ලබාදෙන සේවක සේවිකාවන්ගේ තත්ත්වය ගැන විවිධ ගැටලු පවතිනවා. මෙය මුදලක් ලබා ගැනීමේ ජාවාරමක් බවට ඇතැම් ආයතන පත් වී ඇති බව ජනතාව සඳහන් කරනවා.
හැබැයි මෙවැනි රැකියාවක් කිරීමේදී නිසි පුහුණුවක් හා පිළිගත් ආයතනයක් සමඟ කටයුතු කිරීම තමයි වඩාත් වැදගත්. විශේෂයෙන් තරුණියක් මෙවැනි රැකියාවකට යොමුවීමේදී ඇයගේ සුරක්ෂිතභාවය ඉතාම වැදගත්. ඒ සඳහා පිළිගත් ආයතනයක පුහුණුවක් ඇතිව මේ ක්ෂේත්රයට පිවිසීම සුරක්ෂිතයි. ඒ වගේම ඔබට කිසිම ගැටලුවක් නොමැතිව ස්වාධීනවම තම රැකියාව කරගෙන යෑමටත් අවස්ථාව ලැබෙනවා.
ඇතැම් විට ඔබ ලබා දෙන සේවය අනුව ටික කාලයකින් ස්වාධීනවම ගිලන් පුද්ගලයෙක් සොයා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ ඒ පුද්ගලයන්ට ලබාදෙන සේවාදායකයන් අනුව ඔබට ඉතාම පහසුවෙන් විශාල සේවාදායක පිරිසක් ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම ඔවුන් සමඟ ඇති කරගන්නා විශ්වාසය හා සම්බන්ධතාවය මත ඉතාම පහසුවෙන් තවත් සේවාදායක පිරිසක් ඉතාම ඉක්මනින් සොයා ගත හැකියි.