රෝග නැසීමට හොදි කෑමත් වැදගත්...

ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වාගෙන්
පෙබරවාරි 17, 2021

ආහාර අපේ පැවැත්මට ඉවහල්වන ප්‍රධානම සාධකය යි. මේ නිසා පෙරදිග සංස්කෘතියේ ආහාර සඳහා ඇත්තේ වැදගත් ස්ථානයක්. අපේ රටට ම ආවේණික වූ ආහාර සංස්කෘතියක් පැවතුණ ද අද වන විට එය පරිහානියට පත්වෙමින් පවතී.

බොහෝ දෙනෙක් පහසුව හා බටහිරකරණය නිසා දේශීය ආහාර වලින් ඈත්වී වෙනත් ආහාර රටාවන්ට හුරු වී සිටිති. නමුත් සිරුරට අවශ්‍ය නියම පෝෂ්‍ය ගුණයන් මෙන්ම සෞඛ්‍ය රැකගැනීමට අවශ්‍ය වන ඖෂධීය ගුණය ද අපේ ආහාර සතුව ඇත.

විශේෂයෙන් ම අප ආහාර සඳහා යොදන දේශීය රසකාරක අපේ සෞඛ්‍යයට වඩාත් හිතකර ආකාරයෙන් බලපෑම් කරයි. මෙයින් ප්‍රධානතම රස කාරක වන තුනපහ වලින් කොටසක් වන කරි කුඩු ගැන පසුගිය සතියේ කතාබහ කළෙමු. මේ සඳහා අයත් වන්නේ කොත්තමල්ලි, සූදුරු හා මාදුරුයි.

අද අපි අනෙකුත් රස කාරක වර්ග ගැන කතා කරමු. පසුගිය කලාපයේ තුනපහ ලෙස හැඳින්වෙන රස කාරක අතර තුන ගැන අපි කතා බහ කළෙමු. අප අද පහ සැකසෙන අනෙක් රස කාරක වර්ග ගැන වැඩිදුරටත් තොරතුරු ගැන දැනගනිමු.

කහ

කහ ඉංගී‍්‍රසි භාෂාවෙන් Tumeric  ලෙස හඳුන්වයි. විෂබීජ නාශකයක් ලෙස ද භාවිත වේ. කහවතුර ඉසීමෙන් පවිත්‍රතාව ඇතිවන බව අපේ සංස්කෘතියේ ම පැවතෙන්නකි. නිවෙසක් හෝ යම් ස්ථානයක්, විෂබීජ ඇති ස්ථානයකට ගොස් පැමිණි තැනැත්තෙක් වෙත කහ දියර සකසා ඉසීමෙන් පවිත්‍රතාව ඇති කරගත හැකියි.

මෙය වර්ණකාරකයක් ලෙසින් ද භාවිත වේ. එමෙන්ම රස කාරකයකි. සිරුරේ ප්‍රතිශක්තිය ඇති කිරීමට ද කහ සමත් ය. සෙම් රෝගවලට සුදුසු ද්‍රව්‍යයක් ලෙසින් ද ගැනේ.

නිවෙසේ දී ම කහ සකසා ගත හැකි නම් එය වඩාත් ගුණාත්මක කහ ලෙසින් භාවිත කළ හැකියි. කහ පැළයක් හැදී අල බැසීමට සාමාන්‍යයෙන් මාස 6 ක පමණ කාලයක් ගත වේ.

කහ අල ගෙන එය හොඳින් සුද්ධකර සෝදා කහ කොළ ද ඉවත නොදා සෝදා ගන්න. එම කහ කොළ, කහ තැම්බීමට ගන්නා මුට්ටියේ පතුළේ අතුරන්න. ඉන්පසුව එයට උඩින් කහ කැබැලි ටික දමා වතුර ස්වල්පයක් ද දමා නැවතත් කහ කැබැලි උඩින් ද කහ කොළ දමන්න.

දැන් මුට්ටිය වසා පැය දෙකක් පමණ මඳ ගින්දරේ තම්බාගෙන පසුව මෙය හොඳින් වේලා ගන්න.

හොඳින් වේලාගත් කහ නෑඹිලියේ දමා හොඳින් අතුල්ලන්න. එවිට කහවල පිට පොත්ත ගැළ වී ලස්සන කහ වර්ණයක් ලැබේ. මේවා අඹරා හෝ කුඩුකර භාවිතයට ගන්න.

ගම්මිරිස්

ඉංගී‍්‍රසි භාෂාවෙන් Pepper ලෙස හැඳින්වේ. කටුක හා සැර ගතියක් ඇති ද්‍රව්‍යයකි.

මිරිස් සැරට වඩා වෙනස් රසයකින් යුත් සැරක් පවතී. මෙය හෘදයට සහ උගුරේ පවතින සෙම් රෝගවලට හිතකර වේ. මේදය දවාලන ගුණයකින් හා වාතය නසන ගුණයකින් යුතුය.

ගම්මිරිස් යොදන විදිය අනුව ආහාරයේ රස වෙනස් වේ. ගම්මිරිස් ඇට ලෙස යොදන අවස්ථා මෙන්ම කැබැලි ලෙස යොදන ආහාර ද ඇත.

එමෙන්ම ගම්මිරිස් කුඩු (පවුඩර්) ලෙස ආහාරවලට එකතු කරන අවස්ථා ද පවතී. මේ එකින් එක අවස්ථා වලදී ආහාරවලට ගම්මිරිස්වලින් ලැබෙන රසය එකිනෙකට වෙනස් වේ.

එමෙන්ම යම් ආහාරයකට ගම්මිරිස් එකතු කරන අවස්ථාව අනුව ද එහි රසය වෙනස් වේ.

ඇතැම් ආහාරවලට එය ඒදන අවස්ථාවේදී ම ගම්මිරිස් එකතු කරන අතර තවත් විටෙක ව්‍යංජනය තැම්බීගෙන එන විට ගම්මිරිස් එකතු කරයි. තවත් විටෙක ව්‍යංජනය ළිපෙන් බාගත් පසුව ගම්මිරිස් එකතු කළ හැකි ය.

අබ

ඉංගී‍්‍රසියෙන් Mustard ලෙස හඳුන්වයි. අබ උෂ්ණ නිසා රුධිර සංසරණයට හිතකර වේ.

හෘදය උත්තේජනය කරන ගුණයක් අබ සතු ය.

සිරුරේ ස්ථුලභාවය නැති කිරීමට ද අබ උපකාරී වේ.

සාමාන්‍යයෙන් අබ යොදන්නේ දිය එළවළු වර්ග, හොදි වර්ග පිසීමේ දී ය.

උදාහරණයක් ලෙස, අල හොදි, වට්ටක්කා, බන්ඩක්කා, පතෝල, නෙළුම් අල, අළු කෙසෙල්.

කොතරම් පෝෂ්‍ය ගුණයෙන් ඉහළ වුවත් අබ ව්‍යංජනයට මිශ්‍ර කළ යුත්තේ එයට එක් කළ යුතු ප්‍රමාණයට පමණි.

එසේ නැතිව වැඩියෙන් එකතු කිරීමෙන් ව්‍යංජනයේ රසය වෙනස් විය හැකිය. එමෙන්ම ව්‍යාංජන හා හොදි වර්ග ආහාරයට ගැනීමෙන් මේ පෝෂ්‍ය ගුණය සිරුරට ලබා ගත හැකියි.

ව්‍යංජනවලට අබ කුඩු හෝ අඹරාගත් අබ ක්‍රීම් ලෙස යෙදුවද අබ ඇට ලෙස යොදා ගන්නා අවස්ථා ද ඇත.

සාමාන්‍යයෙන් තෙම්පරාදුවක් කිරීමේ දී අබ ඇට ස්වල්පයක් තෙලට දමා පුපුරවා ගනී.

එයින් වෙනස් රසයක් හා සුවඳක් ව්‍යංජනයට ලබා ගත හැකිය.

 

උළුහාල්

ඉංගී‍්‍රසියෙන් Fenugreek  ලෙස මෙය හැඳින්වේ. සගින්න වඩවන ගුණයකින් යුතු උළුහාල් වාතය හා සෙම සමනය කරන ගුණයකින් යුතුය. එමෙන්ම උණ, අජීරණය සුව කිරීමට සමත් වටිනා රසකාරකයකි. ආහාර රුචිය ඇති කිරීමට ද සමත් ය.

උළුහාල් භාවිත කරන්නේ ද අබ යොදන එළවළු වර්ග පිසීමේ දී හා හොදි වර්ග සැකසීමේ දී ය. ඒවාට උකු බවක් ලබා දීමට ද මෙය සමත් වේ. උළුහාල් බැදීමේ දී ඉතාමත් මිහිරි සුවඳක් ඉන් වහනය වේ.

එහි ඇති ඖෂධීය ගුණය කොතරම් ද කිවහොත් හිසේ ඇතිවන හිස්හොරි සුව කිරීම සඳහා ද උළුහාල් යොදා ගනී. තෙල් හිඳීමේ දී ද බැදගත් උළුහාල් එක් කිරීමට ඇතැම් අය පුරුදු වී ඇත්තේ ඉන් ලැබෙන ඖෂධීය ගුණය මෙන්ම ඉන් ඉමිහිරි සුවඳක් ද වහනය වීම නිසයි.

නමුත් මතක තබා ගත යුත්තේ ව්‍යංජන ආහාරයට නොගන්නා, හොදි වර්ග ආහාරයට නොගන්නා අයට මේ පෝෂණීය බව සිරුරට ලබා ගැනීමට නොහැකි වන බවයි. එම නිසා ආහාර වේලට එළවළු, හොදි එකතුකර ගැනීමට පුරුදු වීම මඟින් නිසි පෝෂණයක් ලබා ගත හැකිය.