දරු ප්‍රසුතිය බලාපොරොත්තුවන මවක් මේ දිනවල සිතිය යුතු කාරණා

වළකාලයි ජීවිත දෙකක අවදානම
ගැබිනි ඔබේ සූදානම…
ජූලි 18, 2022

 

රටේ පවතින ආර්ථික තත්ත්වය, තෙල් අර්බුදය ආදී සියලුම අර්බුද පුරවැසියන්ට එකසේ බලපෑම් එල්ල කර ඇත. එහෙත් ගර්භණී මව්වරුන්ට ඒ සඳහා මුහුණදීමට සිදුවීම ඛේදනීය තත්ත්වයකි.

දරුවකු කුස පිළිසිඳ ගත් දා පටන් උතුම් මාතෘත්වයේ සතුට, සොම්නස, සැනසීම එයාකාරයෙන්ම විඳගැනීමට වර්තමාන ගර්භණී මව්වරුන්ට නොහැකිව තිබේ.

 

සායනවලට නොකඩවා සහභාගී වීම, අවශ්‍යම රුධිර සහ මුත්‍රා පරීක්ෂණ, ස්කෑන් පරීක්ෂණ ආදිය මඟ නොහැරම කර ගතයුතු වේ. මේවා අඛණ්ඩව කරගත නොහැකිව ළතැවෙන ගැබිනි මව්වරුන් ද නැතුවා නොවේ.

 

ෙවෙද්‍යතුමනි, තමා ගැබ් ගත්තා යැයි හඳුනා ගත් මවක් මූලික පරීක්ෂණ සඳහා අනිවාර්යයෙන් සහභාගී විය යුතුයි නේද?

 

පළමු වෛද්‍ය හමුව සති 10 දී සිදු කරගැනීමටයි ගැබිනි මව්වරුන්ට උපදෙස් ලැබෙන්නේ. මෙහිදී මුත්‍රා පරීක්ෂණ, රුධිර පරීක්ෂණ (FBC), රුධිර ගණ පරික්ෂාව, සීනි පරීක්ෂාව ආදී සරල පරීක්ෂණ කීපයක් සිදු කරගත යුතුයි.මේවා රජයේ රෝහල්වලින් සිදුකෙරෙනවා.

පළමු ස්කෑන් පරීක්ෂාව හෙවත් දින ගණන සාදන ස්කෑන් පරීක්ෂාව (dating scan) කිසිසේත්ම මඟහරවා ගැනීම සුදුසු නැහැ. මේ පරීක්ෂාව සති 11 - 14 අතරේදී අනිවාර්යයෙන්ම කරගත යුතුමයි. කළලයේ වර්ධනය අනුව මේ කාලය තුළ දී දරු ප්‍රසූතිය සිදුවන බව නිර්ණය වන්නේ එම (expected date of delivery) ස්කෑන් පරීක්ෂාවෙන්.

 

මේ දිනවල පවතින ඖෂධ හිඟය ගැබිනි මව්වරුන්ට කෙසේ බලපාවිද?

ගැබිනි මව්වරුන්ට අවශ්‍ය කරන ඖෂධ රජයේ රෝහල්වල සායන මඟින් ලබාදීම සිදුකෙරෙනවා. මෙහිදී කැල්සියම්, යකඩ, ෆෝලික් ඇසිඩ්, විටමින් සී (යකඩ අවශෝෂණය වැඩි කිරීමට)නිර්දේශ කරනවා. මේවා මිල අධික ඖෂධ නොවෙයි. රජයේ රෝහල්වලින් දෙන ඖෂධ ගැනීමට ඇතැම් මවුවරුන් දක්වන අකැමැත්ත නිසාම පෞද්ගලික අංශයේ ඖෂධ ගන්නට උනන්දු වෙනවා. මේ හැම ඖෂධයකම අන්තර්ගතය එකමයි. වෙළෙඳ නාමය පමණයි වෙනස් වන්නේ.

ඔබ පෞද්ගලික අංශයේ ඖෂධ වර්ග මිලදී ගත්තා නම් එම වෙළෙඳ නාමය ම ඇති ඖෂධ දැන් නොතිබුණේ නම් ඊට සමාන ඖෂධ වර්ග ෆාමසිවල තිබෙනවා. ඒවා මිලදී ගන්නට කිසිසේත්ම පැකිළෙන්නට එපා. මෙය වෛද්‍ය නිර්දේශය අනුව ගත හැකියි. ඖෂධ වර්ග නොමැති යැයි කියා පසුතැවිලි වනවාට, ඖෂධ

 

නොගෙන සිටිනවාට වඩා ඊට ආදේශක ඖෂධයක් ගැන අතිශය වැදගත්.

 

රෝහලක ලියාපදිංචිය කෙසේ සිදුවිය යුතුද?

 

රජයේ රෝහලක, ගමේ සායනයේ සහ විශේෂඥ වෛද්‍යවරයකු පෞද්ගලිකව චැනල් කරමින් ආදී ලෙස වෛද්‍ය හමු තුනක්ම සඳහා ඇතැම් ගැබිනි මව්වරු සහභාගී වෙයි. මෙහි වැරැද්දක් නැහැ. තමා දරු ප්‍රසූතිය සිදු කිරීමට බලාපොරොත්තු වන රෝහලේ ලියාපදිංචිය සිදු කරවා ගැනීම නම් අනිවාර්යයි. පළමු සති 12 දී ලියාපදිංචිය සිදු වූ පසු සති 32 ක් පමණ වන තුරු මාසෙන් මාසෙට සායන සඳහා සහභාගි විය යුතුයි.සති 32න් පසු සති 36 දක්වා සති දෙකෙන් දෙකටත් ඉන්පසු සතියෙන් සතියටත් වෛද්‍ය හමු සඳහා සහභාගී වන්නට විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කරනවා. මෙය මවගේ සහ දරුවාගේ තත්ත්වය අනුව වෙනස් වෙනවා.

මෙවැනි අපහසු කාලවකවානුවක දී එක් ස්ථානයක හෝ නිවැරැදිව අඛණ්ඩව මඟ නොහැරම සායන සඳහා සහභාගි වීමයි වැදගත් වන්නේ.

 

ගැබිනි මවගේ පෝෂණය වෙනදාට වඩා යම් තරමකට ගිලිහිලා ඇති. වෙනදා නිර්දේශ කළ අමතර පිටි වර්ග ආදිය මඟ හැරී ඇති. ගැබිනි මවක් මෙහිදී කලබල විය යුතුද?

 

ස්වාභාවික සමබල ආහාර වේලක් ගැනීමයි අතිශය වැදගත් වන්නේ. බර අඩු නොවේ නම් රක්තහීනතාවක් නොමැතිනම් අමතර ආහාර වේලක විශේෂ අවශ්‍යතාවක් නැහැ.

අවදානම් සාධක නොමැති මවක් නම් කලින් නිර්දේශ කළ පිටි වර්ග නොගැනීමට සිදු වූවා යැයි වද වන්නට අවශ්‍ය නෑ. අතිරේක කැල්සියම්, යකඩ ආදිය ගැබිනි කාලයේදී ඖෂධ මඟින් ලැබෙනවා. එය පිටිවලින් ගන්නට යෑම මෙවන් වකවානුවක එතරම් සුදුසු නොවන්නට පුළුවන්.

 

දරු ප්‍රසූතියට ආසන්න මව්වරුන් මේ දිනවල බියෙන් සැකෙන් පසුවනවා. හදිසි තත්ත්වයකදී රෝහල් ගත වීමට වාහනයක්, තෙල් ආදිය තිබේවිද කියා?

සාමාන්‍ය දරු ප්‍රසුතියක් බලාපොරොත්තු වුණ මවක් නම් මවගේ, දරුවාගේ බෑගය සූදානම් කර තබා රෝහල් ගත වීමට පෙර සූදානමකින් සිටිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ඉන්ධන ටිකක් වෙන්කර තබා ගැනීම වැදගත්. කෙනකුගේ වාහනයක පිහිට පතන්නට හෝ තමා ළඟ ඉන්ධන ටිකක් තිබීම වැදගත්. සති 36ක් පසු වූ විට මේ ගැන අතිශයින් සැලකිලිමත් විය යුතුයි.

සීසර් සැත්කමක් ඔස්සේ දරුවා බිහි කිරීමට වෛද්‍යවරු නිර්දේශ කළේ නම් රෝහලට ඇතුළත් විය යුතු දිනය කලින්ම දැනගෙන ඒ සඳහා පූර්ව සූදානමකින් සිටිය යුතුයි.

 

ලියාපදිංචි වූ රෝහලට යා නොහැකිව හදිසි තත්ත්වයක් ඇතිවුවහොත්?

 

ඕනෑම රජයේ රෝහලකට ලියාපදිංචිය පසෙක තිබියදී ඇතුළත් වීමට අවකාශ තිබේ. ලියාපදිංචි වූ රෝහලට යා නොහැකි තත්ත්වයක් නම් ළඟම ඇති රෝහලට යෑම වැදගත්. නේවාසික දරුප්‍රසූතිය වෛද්‍යවරුන් වන අප කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මාතෘ මරණ අවම මට්ටමක තිබීම ආදී සෞඛ්‍යය දර්ශක අතින් අපේ රට ඉහළින්ම සිටින රටක්.

මේ නිසා මොනම ආකාරයකට හෝ රෝහලකට ඇතුළු වීම වැදගත්. මේ සඳහා පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනිය සමඟ අදහස් හුවමාරු කරගෙන සිටීම, සුවසැරිය ගිලන්රථ යනාදියෙහි පිහිට පතන්නට පුළුවනි.

 

 

උපදෙස්:

ද සොයිසා කාන්තා රෝහලේ

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය

දිල්රුක් සේනාධීර