ගැබිනි මවයි, පෝෂණයයි

අවයව පද්ධති හැදෙන කාලය හෙවත් සති
දෙසැම්බර් 19, 2022

 

3 -9 අතර කාලය අනවශ්‍ය කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාරවලින් ඉවත් වී ස්වභාවික ආහාර වේලකින් සෑහීමට පත්විය යුතුමයි.

බඩ දරු අම්මෙකුට කෑම ටිකක් දෙන්නට කොයි කාගේත් සිත් නැමෙන්නේ ආයාසයෙන්ම යි. ඒ අපේ සංස්කෘතියේ හැටි. ගර්භිණී අම්මා කෙනෙක් කියන්නේ දරුවෙක් කුස තියාගෙන මාස 9ක් පුරාවට සියලු අපහසුතා විඳ දරා ගනිමින් කාලය ගත කරන්නියක්.

 

ගර්භිණී මවක් ගත යුතු ආහාර නොගත යුතු ආහාර, ඖෂධ වර්ග සහ විටමින් ( suppliments) යනාදිය පිළිබඳ මනා දැනුවත් බවක් තිබිය යුතුයි. ඒ ඔස්සේ ඇයට සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතකට මඟ සාදයි. මේවා ගර්භණි වීමට පෙර, පසු සමය, ගර්භණි සමයේ මුල් මාස 3, දෙවැනි මාස 3 සහ අවසන් මාස 3 වශයෙන් බෙදා දැක්විය හැකියි.

 

ගැබිනියක් වීමේ නොතිත් ආසාවෙන් පෙළෙන මවක් සෞඛ්‍ය සම්පන්න බවින් හෙබි දරුවකු මෙලොවට දායාද කරන්නට සිතයි නම්, පෝෂ්‍යදායී බවින් වැඩි ආහාර වේලක් පිළිබඳ වඩාත් අවධානය යොමු කළ යුතුයි.

වර්තමානයේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයත් සමඟින් ගැබිනි මව්වරුන්ටත් යම් බලපෑමක් එල්ල නොකළා යැයි කිව නොහැකියි.

ගර්භිණී වීමට පෙර කාලයේ දි ගැබිනියක් වීමේ සිහිනයට පෙර සූදානමක් ලෙසින් ෆෝලික් ඇසිඩ් පෙති ලබා ගත යුතු වේ. මෙය ගර්භිණි වීමට අඩුම තරමේ මාසයක සිටත් හෝ ගත යුතු වේ. මාස තුනකට පෙර සිටම ගන්නේ නම් වඩාත් යහපත් වේවි. දිනකට අවශ්‍ය මයික්‍රෝග්‍රෑම් 400ක පමණ ප්‍රමාණයක් ගත යුතුවේ.

 

ගැබිනියක වීමට පෙර ස්කන්ධ දර්ශකය හෙවත් BMI අගය හොඳින් ම පවත්වා ගත යුතු වේ. ශරීරයේ බර කිලෝග්‍රෑම්වලින් ගෙන උසේ ප්‍රමාණය ද මීටර්වලින් ගෙන බෙදූ විට ලැබෙන අගය නිවැරැදි ශරීර ස්කන්ධ දර්ශකයයි. මේ 18 - 25 අතර අගයක පැවතීම යහපත් වේ.

අධික තරබාරු කෙනෙක් නම් ගර්භිණි වීමට පෙර බඩු අඩු කර ගන්නට උත්සාහ ගත යුතුයි. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. කාලයක් පුරාවට ඒ වෙනුවෙන් ඇප කැපවිය යුතුවේ. සීනි සහ පිෂ්ටය පාලනය විය යුතු වන්නේ මෙවිටයි.

 

ගර්භිණී වූ පසු

ගර්භිණී වූ පසු පළමු සති 12දී අඛණ්ඩව ෆෝලික් ඇසිඩ් පෙත්ත ගත යුතුයි. එතැනින් එහාටත් එය දිගටම ලබා ගත හැකි නම් වඩාත් සුදුසුයි. එහෙත් දරුවාගේ අවයව පද්ධති සෑදෙන්නේ සති 3 - 9 කාලය ඇතුළතයි. මෙහිදී අවයව පද්ධතිය ආශ්‍රිතව විශේෂයෙන් ස්නායු පද්ධතිය ආශ්‍රිතව වැඩීමට ෆෝලික් ඇසිඩ් ගැනීමේ වැදගත්කම ඍජුවම බලපායි.

 

කොළ පැහැති එළවළු, පලා වර්ග එනම් නිවිති, සලාද, මුකුණුවැන්න, ගොටුකොළ වැනි දේවල ෆෝලික් අම්ලය වැඩිපුර අඩංගු වේ. එවැනි ආහාර වැඩිපුර බත්පතට එකතු කර ගැනීම වැදගත් වේ.

 

ගර්භිණීි කාලය පුරාවට ම අධික සීනි, ලුණු, තෙල් භාවිතයෙන් ඈත්ව සිටිය යුතුවේ. අධික පිෂ්ටය සහිත ආහාරවලින් ද ඉවත් විය යුතුවේ. මෙය සිරුරට අවශ්‍ය වුවත් ගර්භණි කාලයේ අධිකව ගැනීමට අවශ්‍ය නැත. දියවැඩියාව සහ අධික රුධිර පීඩනය කරා නොයෑමට මේ උපදෙස් නම් අනුගමනය කළ යුතුම වේ.

ගර්භිනී වූ පසු පළමු සති 12 පටන් ගැබිනිය මෙන්ම ඈ වටා සිටින සියල්ලන් සිතනුයේ දෙන්නෙකුට ආහාර ගත යුතු බවයි. එසේ විය යුතුම නැහැ. කැලරි 1600 - 1800 අතර ප්‍රමාණයකුයි කාන්තාවකට සාමාන්‍යෙයන් අවශ්‍ය වන්නේ. දෛනික ආහාරවේලක කොහොමටත් කැලරි 600ක - 800ක ප්‍රමාණයක් අඩංගු වේ. අධික කැලරි ප්‍රමාණයක් ගැනීමෙන් ඉවත් විය යුතු වේ. එසේ නම් දෙදෙනෙකුට සරිලන පරිදි ආහාරගත යුතුයි යන්න ගර්භිණී භාවයේ දී හැමවිටම සත්‍යයක් නොවේ.

පළමු සති 12දී බඩ ඉතාම කුඩායි. සෙන්ටිමීටර් 2ක් පමණ වන දරුවකුට අවශ්‍ය වන අමතර කැලරි ප්‍රමාණයක් නැත. ගර්භිණී සමයේ පළමු ත්‍රෛමාසිකයේ දී මේ ගැනත් සිතන්න. පෝෂක ප්‍රමාණයකින් යුක්ත නිවැරැදි ප්‍රමාණයට ඛනිජ ලවණ අඩංගු විටමින්, ප්‍රෝටීන්, පිෂ්ටය, කෙඳි වර්ග අඩංගු විවිධාංගීකරණය වුන ආහාර වේලක් ගැනීමයි වැදගත් වන්නේ. ඔබේ ආහාරවේල විවිධ වර්ණයන්ගෙන් හෙබි එකක් විය යුතුයි. කොළ, කහ රතු... ආදී පැහැයන්ගෙන් යුතු එළවළු, පලා වර්ග එහි අඩංගු විය යුතුයි.

 

පළමු ත්‍රෛමාසිකයේ දී ෆෝලික් අම්ලය හැරුණු විට වෙනත් විටමින් වර්ග අවශ්‍ය නොවේ. මහජන සෞඛ්‍ය කාර්යාලයෙන් හෝ ෆාමසියෙන් මිලදී ගන්නා ෆෝලික් ඇසිඩ්වල මයික්‍රෝ ග්‍රෑම් 400 අඩංගු වේ.

කලින් අසාමාන්‍යතා සහිත දරුවෙක් සිටියි නම්, දියවැඩියාව ඇත්නම්, වලිප්පු ඇත්නම් ඒවාට ඖෂධ ලබා ගන්නේ නම් ෆෝලික් අම්ලය වැඩියෙන් අවශ්‍ය වේ. වෛද්‍යවරයා මෙවැනි විටෙකදී මිලිග්‍රෑම් 5ක ෆෝලික් ඇසිඩ් පෙත්ත නිර්දේශ කරයි.

 

වස විස සහිත ආහාරවලින් වැළැක්වීමේ ස්වභාවික දායාදයක් ලෙස හෝ මේ කාලය බහුතරයක් ගර්භිණී මවුවරුන්ට ආහාර ගැනීම සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් අපහසුතා ඇති කරයි. මේ කාලයේ දී පුළුවන් අන්දමින්, පුළුවන් පමණින් ආහාර ගන්නට උත්සාහ කළ යුතුයි. දිගින් දිගටම ආහාර ගැනීම අඩු වුවහොත් මන්දපෝෂණ තත්ත්වයට පත් වුවහොත් එය කුසෙහි සිටින දරුවාගේ වර්ධනයට යම් බලපෑමක් එල්ල කරාවි. මේ කාලයේ ගුණාත්මක ආහාර මෙන්ම කෑමට හැකි දෙයක් ගැනීම වැදගත්.

 

අවයව පද්ධති හැදෙන කාලය හෙවත් සති 3 -9 අතර කාලය අනවශ්‍ය කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාරවලින් ඉවත් වී ස්වභාවික ආහාර වේලකින් සෑහීමට පත්විය යුතුමයි. එදිනෙදා ගමේ ගොඩේ වැවෙන ආහාරවලට යොමුවන්න.

අසංතෘප්ත මේදය අඩංගු ආහාර මේ කාලයේදී සුදුසුම නොවේ. මේ ආහාරවලින් කොලෙස්ටරෝල් වැඩි වීම ගර්භිණී කාලයේ දී හානිදායක වේ. හදවත් රෝග පවා ඇති වේවි.