අම්මලාව තලන පෙළන මොකක්ද මේ ප්‍රසව විශාදය

ජනවාරි 16, 2023

 

මෙවැනි මවකට ආදරය, කරුණාව, රැකවරණය උපරිමයෙන් ලැබිය යුතුයි. සැමියා ඇයට වෙනදාටත් වඩා සමීප විය යුතුයි.සෙසු වැඩිහිටියන් පවා ඇයට දැනෙන්ට ආදරය කළ යුතුයි.

ප්‍රසවයෙන් සති දෙක තුනක් ගතවූ පසු මව සිටින්නේ තැවිල්ලෙන් නම් එය පසු ප්‍රසව විශාදය තරමක් දරුණු වූ තත්ත්වයකි.

ගැබිනි මවක් කාගෙත් ගෞරව ආදරයට පත් වන තැනැත්තියකි. ගැබිනි කල ඇයව කායිකව මෙන්ම මානසිකව ද සුවපත් භාවයෙන් යුතුව තැබීමට කොයි කවුරුත් උත්සාහ ගන්නේ ඒ නිසයි දරුවා ලැබුණු පසු මවුකිරි දෙන කාලය ද කායිකව හා මානසිකව ඉතාමත්ම නිරවුල් එකක් විය යුතුයි. එසේ නොවන ගැබිනි මවුවරුන් සියයට දහයක් පමණ ප්‍රමාණයක් පසු ප්‍රසව විශාදයෙන් පීඩා විඳී. සියයට එකක පමණ ප්‍රමාණයක් පසු ප්‍රසව විශාදය නිසා දරුණුවටම පීඩා විඳී මින් වඩාත්ම භයානක කොට්ඨාසය වන්නේ සියයට දහයක් පමණ වන කොටසයි.

 

දැනෙන නොදැනෙන මට්ටමක සිටියත් මේ මවුවරුන්ගේ අලුත උපන් දරුවාට, පවුලේ අයට නොදැනුවත්වම යම් හානියක් සිදුවේ. දරුවාගේ වර්ධනයට, මවුකිරි දීමේ ක්‍රියාවලිය ට පවා බාධා ගෙන දේ. අලුත උපන් දරුවා රැකබලා ගැනීම ආදරයෙන්, ස්නේහයෙන් යුතුව තුරුලු කරගෙන සිටීම, උණුසුම ලබා දීම, ඒ ඔස්සේ මවුකිරි ලබාදීම මවක වෙතින් නිරායාසයෙන්ම සිදු වන කටයුත්තකි. එහෙත් පසු ප්‍රසව විශාදයෙන් පීඩා විඳින මවක වෙතින් එය ඉටු නොවීම කෙතරම් අවාසනාවක් ද ?

පසු ප්‍රසව විශාදය සති දෙකක පමණ කාලයක් යාන්තමට පැවතියත් ඊටත් වඩා දරුණු අන්දමින් සති කිහිපයක් පුරාවට ම පැවතීම එතරම් සුදුසු නොවේ.

මෙවැනි මවක් දරුවා තමා වෙතට සමීප කර ගැනීමට උත්සාහ නොකරයි. මවුකිරි දීමට පවා එතරම් ඇල්මක් උනන්දුවක් නොදක්වයි. දරුවකු ප්‍රසූත කළ මවක් දවසේ වැඩිම හෝරා ගණනක් දරුවා සමඟ කල් ගත කළත් මෙවැනි මවක් දරුවා වඩා ගන්නටවත් එතරම් උනන්දු නොවේ. දරුවා අඬද්දී සනසා ගැනීම ආදිය බොහෝ විට සිදුවන්නේ පවුලේ අය අතිනි.

පසු ප්‍රසව විශාදය දරුණු වූ කල මවක් දරුවාට මෙන්ම තමාට ද හානිකර ගැනීමට යත්න දරන අවස්ථාද නැතිව නොවේ.

පසු ප්‍රසව විශාදය යැයි කීවත් ඇතැම් මවුවරුන්ට ගැබිනි කාලයේ අන්තිම සති කිහිපයේදී මෙහි රෝග ලක්ෂණ යම් තරමින් හෝ මතු වන්නට පටන් ගනියි. මෙවැනි මවක් සුළු සුළු දේ ගැන පවා ඕනෑවට වඩා හිතන්න පටන් ගනී. දරුවාගේ ප්‍රසවය තමාට හොඳින් කරගන්නට හැකි වේවිද ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ කොහොමද, දරුවා හොඳින් සිටීවිද, ප්‍රසවය හොඳින් සිදුවේවිද, තමාට, දරුවාට හානියක් වේවිද යනාදී ලෙස සෘණාත්මක ආකල්ප මතවාදවල එල්බගෙන සිටී. ඕනෑම මවකට මෙවැනි සිතුවිලි පහළවිය හැකි වුවත් පසු ප්‍රසව විශාදය නිසා පීඩා විඳින මවුවරුන්ට ඒ තත්ත්වය තරමක් වැඩියෙන් දැනෙන්න පටන් ගනී.

මෙලෙස පීඩා විඳින ඇතැම් මවුවරුන් අධි ක්‍රියාකාරී තත්ත්වයෙන් හැසිරෙයි. මීට පෙර ප්‍රසවයකදී පසු ප්‍රසව විශාද තත්ත්වය ඇති වුණි නම් හෝ වෙනත් මානසික රෝගයකින් පීඩා විඳ තිබුණේ නම්, ඒ සඳහා ප්‍රතිකාර ගෙන තිබුණේ නම් එවැනි මවකට පසු ප්‍රසව විශාදය මතුවීමට ඇති ඉඩකඩ වැඩිවේ.

 

පසු ප්‍රසව විශාදය

ඇති වන්නේ ඇයි?

මේ සඳහා නිශ්චිතව ම පිළිතුරක් නොමැත. එහෙත් ගැබිනි සමයේ සංකූලතා වැඩි අය දරුවා ලැබුණු පසු විශාද තත්ත්වයෙන් වැඩිපුර පීඩා විඳී. තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත ගැටලු, නිරක්තිය, රුධිර පීඩන තත්ත්වයන් පැමිණියහොත්, වමනය නිසා මාස නවය පුරාවටම පීඩා වින්දොත්, දැඩි වෛද්‍ය රැකවල් යටතේ සිටින්නට වුවහොත්, ගැබිනි සමයේ වැඩිම දින ගණනක් රෝහල්ගත සිටින්නට වුවහොත් ....මේ ආදී කරුණු බලපෑ හැකියි.

දරුවා සාමාන්‍ය ක්‍රමයට ලැබෙන්නට යද්දි දරුණු ලෙස වේදනා විඳින්නට වූයේ නම්, එනම් සාමාන්‍ය ක්‍රමයෙන් වුවත් අඬු සැත්කමකින් දරුවා බිහි වූයේ නම් මැහුම් වැඩිපුර දමන්නට වුවහොත් ආදී ක්‍රමවලට අවසාන මොහොතේ යෑමට සිදුවීමෙන් මවක් පසු ප්‍රසව විශාදයට පත් වන්නට පුළුවනි.

දරුවා ලැබී සතියක් දෙකක් පමණ ගතවන තුරු ඇතැම් මවුවරු දරුවා නිසා සීමාව ඉක්මවමින් වද වෙයි. දරුවා හුස්ම ගන්නවා දැයි විටෙක තැවෙයි.දරුවා දෙස ම බලා හිඳී. නින්ද නොයයි. ආහාර ගන්නට පවා එතරම් කැමැත්තක් නොදක්වයි. පසු ප්‍රසව විශාදය නිසා ඇතැම් මවුවරු දරුවා ප්‍රතික්ෂේප කරයි. තවත් මවුවරු දරුවා පිළිබඳ ඕනෑවටත් වඩා සිතයි. මේ ආදී ලෙස අන්ත දෙකක ඉදිමින් කටයුතු කරයි.

ප්‍රසවයෙන් සති දෙක තුනක් ගතවූ පසු මව සිටින්නේ තැවිල්ලෙන් නම් එය පසු ප්‍රසව විශාදය තරමක් දරුණු වූ තත්ත්වයකි. මෙවැනි මවක් පිළිබඳ සැමියා, පවුලේ වැඩිහිටියන් වඩාත් සෙවිල්ලෙන්, සැලකිල්ලෙන් සිටිය යුතුවේ. පවුල් සෞඛ්‍ය නිලධාරීතුමිය මේ පිළිබඳ දැනුම්වත් කර සිටීම ඉතාම වැදගත්ය. මෙවැනි මවක් වෙනුවෙන් ඇයට බොහෝ දේ කළ හැකි වේ.

මව දරුවාට නිසි පරිදි මවුකිරි දීම නොකරන්නේ නම් දරුවාගේ වර්ධනය අඩාළ වනවා සේම කිරි තදවීම නිසා පියයුරු වේදනාවට පත්වේ. මේ පිළිබඳ සොයා බැලීමට පවුල් සෞඛ්‍ය නිලධාරීතුමියට හොඳටම අවස්ථාව ලැබේ. ඇය නිවෙසට පැමිණ කායික සෞඛ්‍ය උපදෙස් මෙන්ම මානසික සෞඛ්‍ය උපදෙස් ද පහදා දෙනුයේ බොහොම ළෙන්ගතුකමිනි. තත්ත්වය සමනය කිරීම තරමක් අපහසු නම් වෛද්‍යවරයකුට යොමු කිරීම ද ඈ අතින්ම ඉටුවේ.

මෙවැනි මවකට ආදරය, කරුණාව, රැකවරණය උපරිමයෙන් ලැබිය යුතුයි. සැමියා ඇයට වෙනදාටත් වඩා සමීප විය යුතුයි.සෙසු වැඩිහිටියන් පවා ඇයට දැනෙන්ට ආදරය කළ යුතුයි.මෙවැනි මවක් ඇතැම් විට දවසේ වැඩිම කාලයක් නිදාගනී. දරුවාට කිරි දීම පවා අතපසු කරමින් නිදාගනී.තවත් සමහර මවුවරුන්ට නින්ද අහළකටවත් නොඑයි. නිදි වැරීම නිසාත් මානසිකව පීඩා විඳියි.

මේ අතරේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මවුවරුන් ද සිටිය හැකියි. ඔවුන් එය සඟවා සිටීමට උත්සාහ කරන නිසා එකවර හඳුනාගැනීම අපහසු වේ. වර්තමාන සමාජයේ මත්ද්‍රව්‍ය භාවිතයට ලොල් වූවන් අතර පිරිමින් මෙන්ම කාන්තාවන් ද වැඩි පිරිසක් සිටින නිසා විශාද තත්ත්වයක් ද මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් සිදුවන හැසිරීමක්ද යන්න සොයා ගැනීම අපහසුයි.

පසු ප්‍රසව විශාද තත්ත්වය මූලික අවධියේදී ම හඳුනා ගැනීම වැදගත් වේ. ඒ ඔස්සේ ප්‍රතිකාර කරා යෑම පහසු වේ. උපදේශන සේවය මෙහි ප්‍රධානම ප්‍රතිකාර ක්‍රමයකි.බොහෝ මවුවරුන් දරුවා කුස තුළ සිටියදී ඖෂධමය ප්‍රතිකාර කරා යෑමට මැළි වෙයි.එහෙත් කිරිදෙන කාලයේදී වුවත් දිය හැකි ඖෂධ තිබේ.

පසු ප්‍රසව විශාදය නිසා පීඩා විඳින ඇතැම් මවුවරු උපත් පාලන ක්‍රමයක් පිළිබඳ නොසිතයි.මේ නිසා දරුවා ලැබී මාස හත, අටක් යෑමට මත්තෙන් තවත් දරුවෙක් පිළිසිඳ ගනියි. උපත් පාලන පෙති මොවුන්ට සුදුසු නොවන්නට පුළුවනි. ඇතැම් උපත් පාලන පෙති විශාද තත්ත්වය වැඩි කරාවී. එසේ නම් ලූපයක්, කොණ්ඩමයක් පැලඳීම සුදුසුයි.

පූර්ව ගැබ් ගැනීම් සම්බන්ධයෙන් පවා උපදේශන සේවාවන් පවතින වකවානුවක සමබරව ගැබිනි සමය ගත කරමින් සිටීම පසු ප්‍රසව විශාදයන් කරා නොයෑමට ප්‍රබල හේතුවකි.

'බබා ලැබුණට පස්සේ සැමියා වෙනස් වෙලා, වෙනදා වගේ මට ආදරේ නෑ.... ආදී විවිධ සිතුවිලි දරයි. මම දැන් කැත වෙලා, මහත් වෙලා, බඩ ඇවිල්ලා ඒනිසා වෙන්න ඇති සැමියා දැන් මාව එතරම් සැලකිල්ලකට නොගන්නේ යැයි සිතයි. එතැන් පටන් විවිධ සැකසංකාවලට පවා පෙලඹෙයි.

 

 

 

නාරි හා ප්‍රසව විශේෂඥ

වෛද්‍ය මහාචාර්ය

රුක්ෂාන් ප්‍රනාන්දුපුල්ලේ