කෝවිඩ්වලට වඩා එන්නතේ අපහසුතා සැපක්

මාර්තු 3, 2021

“එන්නතක්“ සිත ගැස්සෙන මාතෘකාවක්. පුංචි ළමයින්ට නම් එන්නත වේවැල් කසායක් වගෙයි. වැඩිහිටියන්ට කියාත් වෙනසක් නැත්තේ මේ උපන් ගෙයිම ඇතිවී තිබෙන බිය නිසයි.

“ එන්නතට උණ ගන්නවා. වෙවුලනවා. ඇඟට අමාරුයි. “ මේ වගේ කතා ඇහුනම බිය තවත් දෙගුණ තෙගුණ වන්න පුළුවන්. ඒත් කෝවිඩ් - 19 ගැන හිතද්දී නම් මේ බිය හිරු දුටු පිනි වගේ නැති වෙලා යන්න ඕන. ලෝකය පුරාම එන්නත ගත් අය පවසන්නේ කෝවිඩ් - 19 ට වඩා එන්නත ගැනීම සැපක් බවයි. ලෙඩේ හැදිලා මිය යන අය ගැන වගේම ලෙඩේ නිසා මාස ගණන් දුක් විඳීන මාස ගණනකට පසු මියයන අය ගැන අනන්තවත් අසන්න ලැබෙනවා. ඒ නිසා ඔක්ස්ෆර්ඩ්/AstraZeneca එන්නත කියන්නේ අකලට වැසි වර්ෂාවක් වගේ මිහිරි වේදනාවක් ගෙන දෙන සුවපරි ි අත්දැකීමක්.

එන්නත ගැනීමෙන් තමන්ට වගේම සමාජයටම වන්නේ යහපතක්.

ඔක්ස්ෆර්ඩ්/AstraZeneca පළමු එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් රෝගයෙන් 64.1% ක ආරක්ෂාවක් සැලසෙනවා. බූස්ටර් එන්නත හෙවත් දෙවැන්න ලබා ගැනීමෙන් ඒ ආරක්ෂාව 70.4% කින් ශක්තිමත් වෙනවා.

එන්නත ගත් පසු අපහසුතා ඇතිවීම සාමාන්‍යයි. එය ලබා ගෙන පැය 48 ක් ඇතුළත සමහරුන්ට ඉන්ෆ්ලුවෙන්සා ලක්ෂණ ඇතිවෙනවා. ඔක්ස්ෆර්ඩ්/AstraZeneca එන්නත ලොවට දායාද කළ කණ්ඩායම පවසන්නේ මේ අපහසුතා සුබ ලකුණු බවයි. ඒ ලකුණුවලින් කියන්නේ එන්නත ක්‍රියාත්මක වීමට පටන්ගෙන ඇති බවයි. සමහරුන්ට යථා තත්ත්වයට පත් වීමට සතියක් පමණ ගත වෙනවා.

මේ දක්වා ලොව සිදු කළ අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ වයස අවුරුදු විසි ගණන්වල, තිස් ගණන්වල සහ හතළිස් ගණන්වල අයට වයස පනස් ගණන් හා ඊට වැඩි අයට වඩා අතුරු ආබාධ වැඩි බවයි. වයස අවුරුදු 18 සිට 55 දක්වා අයගෙන් 88% ක් අඩු වශයෙන් එන්නත් කළ තැන ඇතිවන වේදනාව අත්විඳ තිබෙනවා. තරුණ අයගේ ප්‍රතිශක්තිය වඩාත් ප්‍රබල වීම මීට හේතුව බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. වැඩිහිටියන්ගේ ප්‍රතිශක්තිය තරුණ පරපුරට වඩා දුර්වලයි.

වයස කුමක් වුවත් එන්නතින් අතුරු ආබාධයක් නො දැනුණා කියා බිය විය යුතු නැහැ. එයින් ප්‍රතිශක්තියක් ඇති නොවූ බව කියවෙන්නේ නැති බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. දෙවැනි එන්නතේ අතුරු ආබාධ පළමු එන්නතට වඩා වැඩි වීමට පුළුවන්. එයත් එන්නත කෝවිඩ් - 19 ට එරෙහිව ක්‍රියාත්මක වන බවට හොඳ පෙර නිමිත්තක්.

සුලබම අතුරු ආබාධ වන්නේ එන්නත් කළ තැන ඇති වන වේදනාව, හිසරදය, වෙහෙස, සීතල, සුළු ඉන්ෆ්ලූවෙන්සා ලකුණු ( උණ, සීතල, කැස්ස, උගුරේ ආසාදන, නාසයෙන් සොටු දියර ගැලීම, ඇඟේ පතේ වේදනාව, හිසරදය, වෙහෙස, වමනය, ඩයරියා ) යි. නව කොරෝනා වෛරසයට එරෙහිව පමණක් නොව අනෙක් එන්නත්වලට එරෙහිව ද මේ ලකුණු ඇති වෙනවා. එන්නත ලබා ගන්නා දහ දෙනකුගෙන් එක් අයකුට මේ ලකුණු ඇති වන්න පුළුවන්.

එන්නත ලබා ගැනීමේ වාසි අතර රෝගය වැලඳුණත් රෝහල්ගත වීමේ ඉඩ අඩු වෙනවා. ඒ වාගෙම රෝගය දරුණු වීමත් බොහෝ දුරට වළකිනවා.

කාන්තාවන් කණ්ණාඩිය ළඟ වැඩිපුර දැවටෙන එක රහසක් වෙන්නේ කෙස් කළඹයි. එක් කෙස් ගසක් ගැලවී වැටුණත් එය ඇඟෙන් ඇටයක් ගැලවී යනවා වගෙයි. නව කොරෝනා වෛරසයේ නිජ බිම වූ චීනයේ පර්යේෂකයන් පවසන්නේ වෛරසය ශරීරගතවූ හතරෙන් එකකට රෝගය වැලඳී මාස හයකට පසු කෙස් ගැලවී යාමට පටන් ගන්නා බවයි. වෙහෙස, ගඳ, සුවඳ, රස නො දැනීම, ආහාර අරුචිය, නිදා ගැනීමේ අසීරුතාව, හද ගැස්මේ වේගය වැඩිවීම, විෂාදය, කාංසාව, කරකැවිල්ල ආදී දිගු කාලීන අතුරු ආබාධ අතරට කෙස් ගැලවී යාම ද මේ අනුව එක් වෙනවා. චර්ම රෝග විශේෂඥයන් පෙන්වා දෙන්නේ වසංගතයක් වැලඳීමෙන් පසු ඇතිවන ආතතිය නිසා තාවකාලිකව මෙසේ සිදුවන බව සාමාන්‍ය බවයි.

 

කණ්ණාඩියත් කොරෝනාවලින් අපව බේරා ගන්නවාද?

කණ්ණාඩි පැලඳීමට සිදුවීම සතුටු දායක අත්දැකීමක් නො වෙයි. එහෙත් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට නම් එයත් අපූරු උපත්‍රමයක් බව පෙන්වා දෙන්නේ චීන වෛද්‍ය පර්යෂකයන්මයි. ඔවුන් කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ කොරෝනා වැලඳී රෝහල්ගත වන කණ්ණාඩි පැලඳූ රෝගීන්ගේ ගණන එසේ නො පලඳීන අයට වඩා ඉතා අඩු බවයි. කණ්ණාඩි, මුව ආවරණ මෙන් වෛරසයට බාධකයක් ලෙස ක්‍රියා කරනවා. කහින, කිවිසින අයගේ සෙම් බිඳීති ඇස් මතට පතිත වීම එමඟින් වළකිනවා. කණ්ණාඩි පැලඳීමේ තවත් වාසියක් තිබෙනවා. ඒ අය අපවිත්‍ර අත්වලින් දෑස් අල්ලන්නේ අඩුවෙන්. කණ්ණාඩි නො පලඳා සිටින විට පැයකට දහ වරක් වත් දෑස් ඇල්ලෙනවා. හැම දේම වෙන්නේ හොඳටයි කියන්නේ මේ නිසයි.

 

අන්තර්ජාලයෙනි