ලුණුවලින් කරන්න බැරි මොනවද?

මාර්තු 17, 2021

වැඩිපුර ඇහෙන්නේ ලුණු ගැන හොඳ නැති කතා. සුදු ලුනු කළු කරන කතා. වැඩිපුර ලුණු කෑමට ගන්න එපා කියන අවවාදය තමයි හැම තැනින්ම ඇහෙන්නේ. කොහොමවුණත් හොද්දට ලුණු නො දාම බැහැ. ඒ විතරක් නෙවෙයි අපට බොහෝ කාර්යයන්වලදි ලුණු ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

කෝපිවල තිත්ත නැති කරන්න ලුණු ඉතා ස්වල්පයක් කෝපි කෝප්පයට එක් කිරීමෙන් පුළුවන්.

මාස 3 - 6 කට වරක්වත් ශීතකරණය පිරිසුදු කළ යුතුයි. උණු ජලය ලීටර දෙකකට ලුණු කෝප්ප භාගයක් මිශ්‍රකර ශීතකරණය පිරිසුදු කරන්න. එළවළු, මාළු, මස් කපන ලෑල්ල පිරිසුදු කිරීමට ලුණු කදිමයි.

මී මැස්සන් වැනි කෘමීන් දෂ්ට කළ විට ලුණුවලින් දෂ්ටකළ තැන ආවරණය කරන්න. ඉදිමීමත් වේදනාවත් අඩු වෙනු ඇත.

කැන්වස් පාවහන්වලට ලුණු ස්වල්පයක් ඉසීමෙන් ගන්ධය නැති කළ හැකිය.

ගින්නක් ඇතිවූ විට ජලය දැමීමෙන් සිදුවන්නේ ගින්න පැතිරීමයි. ඒත් ලෝහ තහඩුවකින් හෝ ලුණුවලින් හෝ බේකිං සෝඩාවලින් ගින්න පහසුවෙන් නිවා දැමිය හැකිය.

අප මිලදී ගන්නා මුඛ සෝදනවල අහිතකර රසායනත් තිබෙනවා. නිවෙසේදීම ලුණු හා බේකිං සෝඩාවලින් හොඳ මුඛ සෝදනයක් සාදා ගන්න පුළුවන්. ලුණු තේ හැන්දක් හා බේකිං සෝඩා හැන්දක් වතුර කෝප්ප භාගයකට මිශ්‍ර කරන්න. මුවේ දුගඳ නසන, බැක්ටීරියා විනාශ කරන මේ මිශ්‍රණයෙන් මුවේ ඇති විසබීජ හොඳීන් විනාශ වෙනවා.

තණ කොළ පිට්ටනිය අලංකාරව තබා ගැනීමට එප්සම් සෝල්ට් මේස හැඳී 2 ක් ජලය ගැලුනයකට දමා ඉසින්න. හරිත පැහැයෙන් සාර තණ පිට්ටනියක් දිස් වේවි.

වතුර ගැලුන් භාගයක් විනාකිරි කෝප්ප 1/3 ක් හා ලුණු කෝප්ප 1/2 ක් දමා සාදා ගන්නා මිශ්‍රණයට සායම් යන රෙදි දමා පැයක් තබන්න.

සායම් යාමේ ගැටලුවට ඔබට මුහුණ පාන්නට වන්නේ නැත.

ලුණු වතුර බඳුනක බිත්තර දමා එහි නැවුම් බව පැරැණි බව පිරික්සීමට පුළුවන. නරක්වූ බිත්තර පාවෙන අතර අලුත් බිත්තර පත්ලටම ගිලෙයි.

නියපොතු වඩාත් අලංකාරව තබා ගන්න උනන්දු වන්නේ කාන්තා පක්ෂයය. හැඩට නිය තබා ගන්න නම් නිය සවිමත් විය යුතුයි.

ඒ සඳහා ලුණු, බේකිං සෝඩා, දෙහි යුෂ තේ හැන්ද බැගින් ගෙන උණු ජලය කෝප්ප භාගයකට දමන්න.

ඇඟිලි දැමිය හැකි තරමට නිවුණු පසු ඇඟිලි තුඩු එහි බහාලන්න.

නියවල දීප්තිමත් බව වැඩි වන අතර නිරෝගී බව ද සුරැකෙයි.

මාළු ටැංකියේ වීදුරු පවිත්‍ර කිරීමට වඩාත් සුදුසු ලුණුය.

ලුණු ඉසීමෙන් කුහුඹුවන් වැනි කෘමීන් පලවා දැමිමට පුළුවන.

පිත්තල බඳුන් ඔප දැමීමට ලුණු, පිටි, විනාකිරි සමාන ප්‍රමාණවලින් ගෙන පල්පයක් සාදා රෙදි කැබැල්ලකට ඒ මිශ්‍රණය ගෙන හොඳීන් පිරිමදින්න. පසුව සබන් වතුරෙන් සෝදා හරින්න. පිත්තල බඳුන මිලදී ගත් දිනයේදී මෙන්ම ඔපවත්වී දිලෙනු ඇත.

කැපූ නැවුම් පලතුරුවල පැහැය නො වෙනස්ව තබා ගැනීමට වතුර කෝප්පයකට ලුණු තේ හැඳී 1/8 ක් දමා මිනිත්තු කිහිපයක් තබන්න. අර්තාපල් වැනි අල වර්ගවල පැහැය වෙනස් නො වීම තබාගැනීමටද මේ මිශ්‍රණය යොදාගත හැකිය.

ඇඳුම්වල දහදිය පැල්ලම් යැවීමේදී ද ලුණු ප්‍රයෝජනවත් වෙයි. ලුණු මේස හැඳී කිහිපයක් හා බේකිං සෝඩා නටන ජලයට මිශ්‍රකරන්න. එහි දහදිය පැල්ලම් සහිත ඇඳුම් ගිල්වා තබන්න.

කෝපි කෝප්පයේ, තේ කෝප්පයේ කහට පැල්ලම් යැවීමට උණු වතුරට ලුණු එක්කර අතුල්ලන්න.

හිරු එළියෙන් පිලිස්සුණු සමට එප්සම් ලුණු හා වතුර මිශ්‍රකර ගල්වන්න.

 

රීඩර්ස් ඩයිජෙස්ට් ඇසුරිනි