ඇඹුල් කන්න දොළදුකක් ඇතිවෙලා...

අප්‍රේල් 28, 2021

 

ගැබිනි මවක් තම කුස තුළ සිටිනා දරුවා වෙනුවෙන් කරන්නේ අතිමහත් කැප කිරීමක්. වෙනදට කැමැති කැමැති කෑම ගන්න හිතන අය වුණත් ගර්භණී වූ පසු ඒ පිළිබඳ කිහිපවරක් ම හිතනවා.

 

හිරණ්‍යා කවදටත් අහිතකර ආහාරපාන කෙරෙහි එතරම් රුචියක් දක්වපු කෙනෙක් නෙවෙයි. ඇගේ මව ඈ සහ ඇගේ වැඩිමහල් සොයුරියටත් බාල සොයුරියටත් ආහාර රටාව කෙරෙහි දුන් උපදෙස් අකුරට ම පිළිපදින්න, ඔවුන් අමතක කළේ නැහැ. මේ ආදරණීය අම්මට වගේ ම දූලා තුන්දෙනාට ම ආහාර පිසීම සම්බන්ධයෙන් වන අත්ගුණය හොඳින් ම පිහිටලා තියෙනවා. විවිධ රසයන්ට අනුව කෑම් බීම් හදන්න පුළුවන්කම තියාගෙන කඩ කෑම කන්නේ මොකට ද කියන මතයේ ඔවුන් හැමදාමත් හිටියා. හිරණ්‍යාගේ තාත්තා එයාගේ අම්මා අතින් පිළියෙලවන කෑම කන්න ආසා වෙද්දී සේමිත ත් හිරණ්‍යා අතින් පිළියෙලවන කෑම ජාති කන්නයි වැඩි කැමැත්තක් දැක්වූයේ.

ඉතිං ගැබිනි මවගේ හා කුසහොත් දරුවාගේ මනා පෝෂණයට මුල් මාස තුනේ ගන්නා ආහාර හරිම වැදගත්.

හැමදාම උදේට එන ඔක්කාරය හිරණ්‍යාට අප්‍රසන්න අත්දැකීමක් වුණා.

“බබා අපි වමනෙට බෙහෙතක්වත් ගනිමු ද?”

“අපේ පුංචි පැටියා වෙනුවෙන් මම දරාගෙන ඉන්නම් සේමිත ඔහොම තමයි. මට බෙහෙත් පෙත්තක්වත් බොන්න හිතෙන්නෙ නැහැ.”

ඒක නෙවෙයි බැරිද ඔයාට කට්ට ඇඹුලෙට තියෙන නාරං ටිකක් සුරේෂ්ගෙන් ඉල්ලගෙන එන්න. ඒ ගොල්ලන්ගේ නාරං ගහේ ගෙඩි හරිම ඇඹුල් .

ඇඹුල් ජාති කන්නමයි මට හිතෙන්නේ.”

“අපෝ ඕක මොකක් ද, මිනිහා දන්නෙත් නැහැ, ඔයා ප්‍රෙග්නන්ට් කියලා. නැත්නම් මෙලහකටත් එවලා.”

 

දොළදුක

ගැබිනි මවත්, දොළදුකත් අතර තියෙන්නේ කිසිදා නොබිඳෙන සම්බන්ධතාවක්. මේ ගැබිනි සමයේ මවකට දැනෙන ප්‍රධාන ම ආශාවක්. පුරාණ කාලයේ ඉඳන් ම ගැබ් ගැනීම කියන සොඳුරු අත්දැකීමත් සමඟ ම ගැබ් ගත් අම්මා මොකක් ම හරි දොළදුකකින් පෙළුණා නම් ඒ දේ කොහොම හරි ඉෂ්ඨ සිද්ධ කළා.

දරුවෙක් කුසට ආවාම කලලය මඟින් නිකුත්වන හෝර්මෝනවල ප්‍රතිඵලයක් විදිහටයි දොළදුක ඇතිවෙන්නේ්. මුල් මාස තුනේදී ඇතිවන මේ දොළදුක එක්තරා විදිිහයකට කලලයේ රඳා පැවැත්මටත් බලපාන දෙයක්.

උදෑසනට ඇතිවන කායික අපහසුතා නිසා ගැබිනි මවක් අතිශය වෙහෙසකට පත් වෙනවා. ඒ නිසා දොළදුක නැමැති ආහාර රුචියෙන් මේ වෙහෙස තරමකට දුරුවෙලා හිතට පුදුමාකාර සහනයක් ගෙන දෙනවා. ඉතිං හිතන්නකෝ එක් දෙයක් මඟ හැරෙද්දි විකල්ප දෙයකින් ඒ දේ සංසිඳෙන හැටි. කොහොම වුණත් නගරයට සාපේක්ෂව ගම්බද ව සිටින ගැබිනි අම්මලට නම් දොළදුක සංසිඳවා ගන්න නිවෙසේ, අසල්වැසි අයගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. නගරබද රැකියා කරන අම්මලට ඇතැම් විට වෙන්නේ දොළදුක එහෙම පිටින් ම යටපත් කරගෙන ඉන්න. කොහොම වුණත් ගැබිනි මවක් සතුටින් තැබීම හරි වැදගත්. ඉතිං දොළදුකක් සංසිඳවනවා කියන්නෙම ඇයව සතුටෙන් තිබනවා කියන දේ. මේ සඳහා ඇගේ පවුලෙන් ලැබෙන දායකත්වය හරිම වැදගත්.

දොළදුක මවට දැනුණට දොළදුක විදිහට දැනෙන්නේ කුසේ ඉන්න දරුවාගේ ආශාවන් කියලත් මතයක් තිබෙනවා.

ගැමුණු කුමාරයා ලැබෙන්න ඉද්දි විහාරමහා දේ්වියට නෙළුම් කොළේ බත් කන්න, අසිපත සෝදා ගත් ජලය පානය කරන්න හිතුණාලු. මේ වංශකතාවල ඉඳන් දොළදුක පිළිබඳ පැවත එන කතාවක්.

ගැබිනි සමයෙදි ඇතැම් අම්මලට අසාමාන්‍ය ආශාවනුත් ඇතිවෙනවා. කොහොම නමුත් බහුතරයක් අම්මලට ඇතිවෙන්නේ ඇඹුල් රසයට ඇතිවන ප්‍රියමනාප බවක්.

 

 

 

උපදෙස්

ද සොයිසා කාන්තා රෝහලේ

නාරි හා ප්‍රසව

විශේෂඥ වෛද්‍ය රුවන් පතිරගේ