කෝවිඩ් 19 වෛරසය හා ගැබිනි මවගේ ආරක්ෂාව

මැයි 12, 2021

 

ගර්භණී බව රෝගී තත්ත්වයක් නොවේ. එහෙත් බාහිර උපද්‍රව හේතුවෙන් ගර්භණී මවක් විවිධ සංකූලතාවන්ට මුහුණ දීමට ඇති ඉඩකඩ වැඩිය. ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගතය එවැන්නකි.

මේ දිනවල අප රටේ පැතිරෙන්නේ කෝවිඩ් - 19 තුන්වැනි රැල්ලයි. එය පළමු, දෙවැනි රැලිවලට වඩා සීඝ්‍රයෙන් පැතිරෙනවා පමණක් නොව ජීවිත බිලි ගැනීමට ම මාන බලන්නකි. මෙම ලිපිය ලියන මොහොත වන විටත් 45 හැවිරිදි ගැබිනි මවක් කෝවිඩ් මාරයාගේ බිල්ලට හසු වී ජීවිතයත් මරණයත් අතර සටන් වැද ඉන් පරාජයට පත්ව ඇත.

ගැබිනි මව්වරුන්ට කෝවිඩ් සඳහා වූ එන්නත ලබා නොදෙයි. කොරෝනා නිසා අධි අවධානම් රටවල් ගර්භණී මව්වරුන්ට ලොව පුරා එන්නත ලබාදීමට නිර්දේශ කර ඇතත් ගර්භණී මව්වරුන්ට එන්නත ලබා දී සායනික පර්යේෂණ කර නොමැත. එබැවින් ගැබිනි කාලයේ කෝවිඩ් 19 සඳහා එන්නත ලබා දෙන්නට ද නිර්දේශ කොට නැත.

කෝවිඩ් 19 තුන්වැනි රැල්ල සොයා ආයේ තරුණ පරපුරයි. බොහෝ විට ගර්භණී මව්වරුන් වන්නේ ද අවුරුදු 40 ට අඩු අයයි. ගර්භණී මව්වරුන් කිහිප දෙනකුම නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙයි. ස්වසන අපහසුතා ඇති කරමින් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබයි. මිය ගිය ගැබිනි මව හැරුණු විට තවත් මව්වරුන් ජීවිත අවදානමේ සිටියි. මේ ඔබව බිය වැද්දවීමට නොව පැතිර යන වසංගත තත්ත්වයේ අතිභයානක බව ඒත්තු ගැන්වීමකි.

පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය Zoom තාක්ෂණය ඔස්සේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් මේ පිළිබඳ දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක යෙදෙයි.

රැකියාවට යන ගැබිනි මව්වරුන් කෙරෙහි අදාළ ස්ථානයේ ප්‍රධානීන් විශේෂ අවධානය යොමු කළ යුතුවේ. මේ දිනවල විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවය භාවිත කරමින් රැකියාවට යන එන මව්වරුන්ට සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර නොගෙන සිටීම කුහකකමකි.

ගැබිනි මව්වරුන් කොරෝනා හමුවේ දැඩි අවධානම් කාණ්ඩයේ සිටියි. ඔවුන් හැකි හැමවිටම මනා පෝෂණයකින් යුතු සමබල ආහාරවේලක් ගැනීම, විවේකය, නින්ද, ජලය පානය, මානසික සමබරතාව පවත්වා ගෙන යෑම අත්‍යවශ්‍ය වේ.

ලොවම ගිලගත් කොරෝනාව හමුවේ ඔබ සෞඛ්‍ය නීතිරීතින් නියමාකාරයෙන් පිළිපැදීම අත්‍යවශ්‍ය වේ. ඒ ආසාදිත පුද්ගලයකුගේ සෙම, සොටු කහින විට පිටවන බිඳිති මඟින් නිරෝගී පුද්ගලයකු ස්පර්ශ කිරීමෙන් නිසැකවම නිරෝගී පුද්ගලයා කොවිඩ් 19 ආසාදිතයෙක් බවට පත්වේ. අත් නොසෝදා මුඛය, නාසය, දෑස් ඇල්ලීමෙන් වළකින්න යැයි කියා සිටිනුයේ ඒවා ඇති පෘෂ්ඨයන්ගෙන් වෛරසය පහසුවෙන් පැතිර යන නිසයි.

සාමාන්‍යයෙන් ගැබිනි මවක් ප්‍රතිශක්තිකරණය අතින් දුර්වල තැනැත්තියකි. මේ නිසා ඇය හැකිතාක් බාහිර සමාජය සමඟ ගැටිම් අවම කරගෙන ජීවත් විය යුතුයි. "මට නම් කෝවිඩ් වැලඳෙන්නෙ නැහැ" යැයි සිතමින් සිටීමම ඇය නොදැනීම අනාරක්ෂිත වීමට බලපායි.

දරුඵල අපේක්ෂාවෙන් සිටින මවක් කොවිඩ් 19 සඳහා වූ එන්නත ලබා ගැනීමෙන් පසු ඇය ගැබ්බර වුවහොත් එන්නතේ බලපෑමකින් ගබ්සාවීමක් හෝ කලලයට හානි වීමක් සිදුවිය හැකි යැයි කිසිම සාක්ෂියක් නොමැත. මේ නිසා එවැන්නියකට කිසිම ගැටලුවකින් තොරව එන්නත ලබාගත හැකිවේ. එසේම දරුඵල ප්‍රමාද වීම නිසා ඩිම්බ මේරීමට ඖෂධ ලබා ගන්නා කෙනෙකු IUI, IVF ප්‍රතිකාර ගන්නට සිතන කෙනකු කෝවිඩ් 19 එන්නත නිසා ඉහත ක්‍රමවේදයන් ප්‍රමාද කිරීම අවශ්‍ය නැත.

උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුණු පුද්ගලයන්ගෙන් ගැබිනි මව හැකිතරම් ඈත්ව සිටිය යුතුය.

එසේම ගැබිනි මවට උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරේ වේදනාව ආදි ලක්ෂණ ඇති වුවහොත් ළඟම ඇති රජයේ රෝහලට ඇතුළු විය යුතුය. හැකි හැමවිටම ඔබේ ගැටලු ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය වෙත දැනුම් දිය යුතුවේ.

ගර්භණී කාන්තාවන් සිටින දැඩි අවදානම නිසාම ඔවුන් මානසිකව කඩා වැටී සිටියි. එය කෙසේවත් ම විය යුතු නැත. සාමාන්‍යයෙන් ගැබිනි මව සිය සෞඛ්‍ය අතින් සැලකිලිමත්වන නිසාත් නිතර පරීක්ෂාවට ලක්වන නිසාත් වෛරස් ආසාදනය වීමට ඇති ඉඩකඩ අඩුයි. එබැවින් මාතෘ සායනවල නිසැකවම සහභාගි වීම අවශ්‍ය වේ.

මීට අමතරව සාමාන්‍ය උණු වතුර නිතර පානය ද හුමාලය ආශ්වාස කිරීම ද වැදගත් වේවි.

 

 

-------------------------------------

පවුල ආරක්ෂා කරගැනීමෙන් රටම ආරක්ෂා කර ගනිමු.

 

කොරෝනා තුන්වැනි රැල්ල මේ වන විට අපේ රටේ ජන ජීවිත වලට දැඩි ලෙස බලපෑම් කරමින් තිබේ. මේ සටහන තබන මොහොත වන විටත් අපේ රටේ දෛනිකව වාර්තාවන ආසාදිතයින් දෙදෙහසකට ආසන්න තරම් සංඛ්‍යාවක් වන අතර ගතවුණු දිනයේ කෝවිඩ් නිසා සිදුවුණු මරණ වාර්තා වීම අනුව පැයකට එක මරණයක් සිදුවී තිබේ. එයින් මේ තත්ත්වයේ භයානකත්වය ගැන අවබෝධ කර ගත හැකිය. රජයත්, වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩල ඇතුළු සෞඛ්‍ය අංශත්, යුද හමුදාපති තුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාවත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අනෙකුත් සියලුම නිලධාරීන් මෙන්ම ජනතාව එක්වී රටක් ලෙස පළමු සහ දෙවැනි කොරෝනා රැලි පරාජය කර අත්දැකීම් ඇති අප මෙවර වඩාත් රුදුරු වෙස් ගෙන ඇති මේ නව කොරෝනා වෛරසය පරාජය කරන්නට අදිටන් කර ගත යුතුය.

ඒ වෙනුවෙන් තරුණී පුවත් පත මෙවර ‘ කොරෝනා මාරයා සදහටම පරදවමු‘ යන තේමාවෙන් යුතුව ඔබව ඒ පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් මේ සුවිශේෂී ලිපි ගෙන එන්නෙමු.

රජයෙන් කුමන නීති දැම්මත්, සෞඛ්‍ය අංශ මොන තරම් කැප කිරීම් කළත් ජනතාවක් ලෙස අප නිසි සෞඛ්‍ය නීති පිළිනොපැද්දොත්, නොසැලකිලිමත් ලෙස කටයුතු කළ හොත් කොරෝනා වෛරසය පරාජය කිරීම ලෙහෙසි නොවනු ඇත. ඒ නිසා නියම ආකාරයට මුහුණු ආවරණ පැලඳීම, නිතරම සබන් හෝ විසබීජ නාශකයක් යොදා අත් සෝදා ගැනීම, විශේෂයෙන් පොදු ස්ථාන වලදී මීටර දෙකක පරතරයක් තබා ගැනීම, අත්‍යාවශ්‍ය ගමන් බිමන් වලට පමණක් සීමා වීම වැනි සරල පුරුදු අනුගමනය කිරීමෙන් අපට මේ කොරෝනා මාරයා ලෙහෙසියෙන් පරාජය කළ හැකිය.

පොදු යහපත ගැන සිතා තනි තනිව මේ නීති අකුරටම පිළිපැදීමෙන් කොරෝනා පරාජය කරමු. ඒ පිළිබඳව මවකට, බිරියකට, ගෘහණියකට කළ හැකි දේ බොහෝය. තමන්ගේ පවුල ආරක්ෂා කර ගැනීම තුළින් රටක්ම ආරක්ෂා කළ හැකි බව තරුණී පාඨක කාන්තා ඔබට සිහිපත් කරමි.

ඔබ සැමට නිරෝගී හෙට දවසක්.

 

- ඉඳුනිල් වීරරත්න