ප්‍රීතිමත් පවුල් ජීවිතයකට උපදෙස්

ජූලි 28, 2021

 

ප්‍රශ්නය

34 හැවිරිදි මා දෙදරු මවක්. සැමියා රජයේ ආයතනයකත් මා පෞද්ගලික ආයතනයකත් රැකියාව කරන්නෙමු. ඔහු මෙන්ම මා ද ඉතා කාර්යබහුලයි. කතා බස් කිරීමටවත් වෙලාවක් නැති තරම්. මා දරුවන්ගේ වැඩ කටයුතුත් රැකියාවේ වැඩ කටයුතුත් ගෙදර දොර කටයුතුවලටත් සිරවී සිටිමි. ඒ නිසා මට දරුවන් සමඟ නිතර කෝපයක් ඇති වේ. දරුවන්ද මුරණ්ඩූයි. හිතට කෝපය ගෙන දෙන දේමයි කරන්නේ. මා සැමියා සමඟ නිදහසේ කතා කළ දවසක් මට මතක නැත. පවුලේ විශේෂ අවස්ථාවල්දී තීරණ ගැනීමටවත් කතා බහ කිරීමට ඔහුට වෙලාවක් නැත. පවුල් ජීවිතය අවුල් ජාලයක් ලෙස මට හැඟෙයි. හිතට කිසිඳු සතුටක් සාමයක් දැනෙන්නේ නැති නිසා මා ජීවත් වන්නේ ජීවත් වීමට අවශ්‍ය නිසයි. මට සහනයක් ලබා ගත හැකි පිළිතුරක් ලබා දෙන්න. බියගම - දර්ශිකා

පිළිතුර

ඕනෑම පවුලක දෙන්නා දෙමහල්ලන් අතර මේවගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉවසීමෙන් නුවනින් යුතුව කටයුතු කළොත් ඒ දේවල් විසඳා ගැනීම එතරම් අපහසු නැහැ.

රාජකාරී ජීවිතය සහ පවුල් ජීවිතය සමබර කර ගන්න

ඔබේ රාජකාරී කටයුතු සහ ගෙදර කටයුතු සමබරව කරගෙන යාම තරමක් අපහසු කටයුත්තක් විය හැකියි. එහෙත් මේ ද්විත්වයම හොඳින් කළමනාකරණය කරගතහොත් ඔබට ඔබේ පවුල සමඟ සාර්ථක සබඳතාවක් ගොඩනඟා ගත හැකි වේවී. ඒ වගේම කටයුතු මනාව කළනාකරණය කර ගැනීමෙන් ඔබට ඔබ අතින් යම් යම් දේ අතපසු වුණා, පවුලේ වගකීම් නිසි පරිදි ඉටු කර ගන්න බැරි වුණා ආදී දේ සිතමින් පසුතැවිලි වීමේ අවශ්‍යතාවක් නැහැ. එමෙන්ම ඔබේ යුතුකම් වගකීම් නිසි පරිදි ඉටු වූ විට ඔබට රාජකාරී කටයුතුවලින් ඉදිරියට යාමට මෙන්ම පවුලේ සාමාජිකයන් සමඟ ද මනා සබඳතාවයක් පවත්වා ගෙන යා හැකි වේ. එවිට ඔබ සාර්ථක මෙන්ම ප්‍රීතිමත් රාජකාරී සහ පවුල් ජීවිතයක් ලැබේවි.

ඔබ පිළිබඳ සැලකිලිමත් වන්න.

බොහෝ පවුල්වල මව්පියන් තමන් පිළිබඳ සිතීම පසෙකලා සිය දරුවන් සහ පවුලේ අනෙක් අයගේ ඕනෑ එපාකම් ඉටු කිරීමට වෙහෙසේ.

එහෙත් මෙලෙස තමන් පිළිබඳ අමතක කර තමන්ගේ අවශ්‍යතා ඉටු කර නොගැනීමෙන් ඔබ දුකට වේදනාවට සහ වෙහෙසට පත් වේ. එවිට ඔබට අන් අය පිළිබඳ සොයා බැලීමට ද නොහැකි වේ. එවිට දරුවන් සමඟ ඇති බැඳීම ද දුරස් වේ. එනිසා අන් අය පිළිබඳ සිතන්නා සේම ඔබ පිළිබඳව ද සැලකිලිමත් වන්න.

පවුලේ විනය පවත්වා ගැනීම

පවුලේ විනය පවත්වා ගැනීම තරමක් අපහසු කාර්යයක්. විශේෂයෙන්ම දරුවන්ගේ විනය ඇති කිරීම මව්පියන් වශයෙන් ඔබට ඉතා අපහසු කටයුත්තක් විය හැකියි. මෙයට හේතුව වන්නේ දරුවන්ගේ ඇතැම් ක්‍රියා නිසා ඔබ කෝපයට පත් වී දඬුවම් කිරීමෙන් ඔවුන්ගේ විනය ඇති කිරීමට උත්සහ දැරීමයි. එවිට දරුවන් ද ඔබ කෙරෙහි කෝපයක් ඇති කර ගනී.

එයින් ඔබ සහ දරුවන් අතර ඇති සබඳතාවය දුරස් වේ. ඔවුන්ට කේන්තියෙන් ප්‍රතිචාර දැක්වීමෙන් ඔවුන් තව තවත් මුරණ්ඩු වේ. දරුවකු වරදක් කළ විට කළ යුත්තේ දරුවාට කතා කොට කළ වරද පහදා දී එය නැවත සිදු නොකරන ලෙසත් මින් පසු එවන් අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවත් ආදරයෙන් පහදා දෙන්න.

නීති සහ සීමා පැනවීම

සාමාන්‍යයෙන් වැඩිහිටියන් විසින් දරුවන්ට විවිධ තහංචි පනවනුයේ දරුවන්ව යම් අනතුරකින් ආරක්ෂා කර ගැනීම සඳහායි. එහෙත් මෙහිදී මෙම සීමා පනවනුයේ ඇයි ද යන්න පිළිබඳ දරුවාව ද දැනුවත් කිරීම ඉතා වැදගත් වේ. උදාහරණයක් වශයෙන් ඔබ ගින්දර ඇති තැනකින් දරුවාව ඉවත් කළහොත් එසේ ඉවත් කළේ දරුවාට ගින්දරින් හානියක් නොවීම සඳහා දරුවාගේම ආරක්ෂාව සඳහා බව දරුවාට පහදා දෙන්න.

එසේ නොවුණහොත් දරුවා ඔබ පිළිබඳ කෝපයක් ඇති කාරගෙන නැවත වතාවක් ඔබට අකීකරු වනු ඇත.

එකිනෙකා අතර සන්නිවේදනය

පවුලේ එකිනෙකා අතර සන්නිවේදනය පවුලක සාර්ථකත්වයට ඉතාම වැදගත් දෙයකි. සතුටුදායක වලදී මෙන්ම අසීරු අවස්ථා වලදී ද සන්නිවේදනය අත්‍යාවශ්‍ය වේ. දරුවා සමඟ කතා කරන්න. පාසල් වැඩ කටයුතු ගැන විමසන්න. දවසේ සිදු වූ සිදුවීම් ගැන කතා බස් කරන්න. සැමියාවත් ඊට හවුල් කර ගන්න. රාත්‍රී කෑම මේසය එවන් කතා බහකට සුදුසුම තැනයි.

සතුදායක අවස්ථාවකට වෙලාවක් වෙන් කර ගන්න

පවුලේ සියලු දෙනාම දවස පුරා තමන්ගේ කටයුතු වල නිරත වේ. ඇතැම් විට කාර්යබහුලත්වයත් සමඟ පවුලේ සියලු දෙනාට එකතු වීමටවත් කාලයක් නොමැති විය හැකියි. එනිසා සතියකට කිහිප වතාවක් පවුලේ සියලු දෙනාටම එකතු විය හැකි දෙයක් සංවිධානය කරන්න.

එකිනෙකා වෙනුවෙන් පෙනී සිටින්න

පවුලක් වශයෙන් සතුටු අවස්ථාවල මෙන්ම දුක් සහ අසීරු අවස්ථාවලදී ද එකිනෙකා සමඟ සිටීම ඉතා වැදගත් වේ. පවුලේ යම් සාමාජිකයකුට ගැටලුවක් හෝ කරදරයක් වූ විට සියලු දෙනාම එකතු වි ඇය හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින්න. එය පවුලක බැදීම වර්ධනය කර ගන්නට හේතුවකි.

සැමියා සමඟ ද කාලය ගත කරන්න

ඔබට දරුවන් ලැබුණු පසු දරුවන්ගේ වැඩ කටයුතු සමඟ කාර්යබහුල වන විට ඔබට සැමියා සමඟ කාලය ගත කිරීමට වෙලාවක් සොයා ගැනීම තරමක් අපහසු විය හැකියි. එහෙත් දරුවන් සමඟ මෙන්ම ඔබේ සැමියා සමඟ කාලය ගත කිරීම ද පවුලක සාර්ථකත්වයට ඉතා වැදගත් වේ.

ඔබ දෙදෙනා දරුවන්ට ආදර්ශයක් විය යුතුයි.

 

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ

විශේෂඥ මනෝ වෛද්‍ය

කපිල රණසිංහ

දෙදෙනෙක් විවාහ දිවියට එළඹෙන්නේ විශාල බලාපොරොත්තු ගොන්නක් සිත තුළ පුරවාගෙන. ඒ අතරින් එකක් තමයි ජීවිතයේ අවසානය වන තෙක්ම විවාහ දිවියේ චමත්කාරය නොවියැකී පවතීවි යන්න. එහෙත් කනගාටුදායක කරුණ වන්නේ අති බහුතරයකටම වසර කිහිපයකට පසු විවාහ දිවිය එපා වී යන බවයි. ඇතැම් විට දරුවන් ලද පසු මේ තත්ත්වය තවත් වැඩි වෙනවා මිසක් අඩු වන්නේ නැහැ. ඔබත් එවැනි ගැටලුවලට මුහුණ පාමින් සිටිනවා නම් ලියන්න අපට. අප ඔබට ඉක්මන් විසඳුම් ලබා දීමට සූදානම්..

අපගේ ලිපිනය,

කියන්න බැරි දේ ලියන්න

තරුණී-ලේක්හවුස්

කොළඹ 10