ආතතිය වැඩි කාලයේ වැඩි වන බ්‍රෝකන් හාට් සින්ඩ්‍රෝම්

නොවැම්බර් 10, 2021

 

සිතක් මලක පෙත්තක් මෙන් සුසිනිදු වීමටත් පුළුවන්. ඒ වාගේම ගලක් මෙන් රළු වෙන්නත් බැරි නැහැ. ජීවිතය වසන්තයක් වගේ ගෙවෙන කාලයක අපට දැනෙන්නේ සුරංගනා ලොවක ජීවත් වනවා වගෙයි.

එහෙත් සෑම කාලයක්ම එක වාගේ නැහැ. කෝවිඩ් - 19 වසංගතය මුළු ලෝකයාගේම හිස් මතට වැටුණු ගල් වරුසාවක් වගේ වුණා. ගලක් වුණත් ගලක් මත ගැටුණොත් පතුරු ගැලවිලා යන්න පුළුවන්. ඉතින් මලක් වගේ සිතකට වෙනදේ ගැන කවර කතාද ?

වැඩිපුරම හැඟීම්බර කාන්තාවන්. වසංගත කාලයක වැඩිපුර ආතතියට පත් වෙන්නේත් කාන්තාවන්. ඒ තමන්ටත් වඩා පවුලේ සාමාජිකයන් ගැන සිතන නිසයි. එනිසාම ලොව පුරාම මේ කාලයේ වෙනදාටත් වඩා කාන්තාවන් බිඳුණු හදක සින්ඩ්‍රෝමය හෙවත් බ්‍රෝකන් හාට් සින්ඩ්‍රෝමයෙන් පීඩා විඳිනවා. වෙනදාට වඩා දස ගුණයකින් මේ තත්ත්වය වැඩිවී ඇති බව අමෙරිකානු හදවත් සංගමයේ ජර්නලය පෙන්වා දෙනවා. වයස අවුරුදු 50 ත් 74 ත් අතර කාන්තාවන් අතර මේ තත්ත්වය වැඩිපුර දක්නට ලැබෙන බව ඔවුන් වාර්තාකර තිබෙනවා. මෙයට පිරිමින් ද පත් නො වනවා නො වෙයි. බරපතළ කායික රෝග තත්ත්වයකින් පීඩා විඳිනවා නම් සැත්කමකට ලක්වී සිටිනවා නම් මෙවැනි අවදානමක් ඇති වීමට පුළුවන්. මේ තත්ත්වය කාඩියෝමයෝපති, ටකොසුබෝ කාඩියෝමයෝපති, ඇපිකල් / එපිකල් කාඩියෝමයෝපති ආදී විවිධ නම්වලින් හඳුන්වයි.

මොකක්ද මේ බ්‍රෝකන් හාට් සින්ඩ්‍රෝමය ?

මෙය තාවකාලිකව හදවතේ ඇතිවන තත්ත්වයක්. මේ තත්ත්වය නිසා තාවකාලිකව හදවතේ එක් කොටසක රුධිරය පොම්ප කරන ක්‍රියාවලියට බාධා සිදු වෙනවා. හදවතේ ඉතිරි කොටස් මඟින් සුපුරුදු පරිදි හෝ වැඩි වේගයකින් හෝ රුධිරය පොම්ප කෙරෙනවා.

මෙය ප්‍රතිකාර කළ හැකි තත්ත්වයක්. ප්‍රතිකාර නො කළ ද දින කිහිපයකින් හෝ සති කිහිපයකින් යථා තත්ත්වයට පත් වෙනවා.

රෝග ලකුණු මොනවාද ?

පපුවේ වේදනාව හුස්ම ගැනීමට අසීරු වීම

හදවත් රෝගයක හා බ්‍රෝකන් හාට් සින්ඩ්‍රෝමයේ පපුවේ වේදනාව අතර වෙනසක් තිබෙනවාද ?

හදවත් රෝගයකදී දිගට පවතින පපුවේ වේදනාවක් ඇති වෙනවා.

හේතුව කුමක්ද ?

මෙයට වෛද්‍ය විද්‍යාත්මකව තවමත් හරියටම හේතුවක් සොයා ගෙන නැතත් ඇඩ්‍රිනලින් වැනි ආතති හෝර්මෝන ඉහළ යාම මේ කෙරෙහි බලපාන බවට විශ්වාස කරනවා.

ආදරණීයයකු මියයාම, භීතියක් ඇති කරන රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව දැන ගැනීම, ගෘහස්ථ හිංසනයට ගොදුරු වීම, විශාල මුදලක් ලැබීම හෝ විශාල මුදලක් අහිමි වීම, තදබල වාදයකට මුහුණ දීම, පුදුම කරන සාද, ( සර්ප්‍රයිස් පාටි ), පොදු ස්ථානයක කතා කිරීමට සිදු වීම, රැකියාව අහිමි වීම, විශාල ධන හානියකට මුහුණ දීමට සිදුවීම, දික්කසාද වීම, බරපතළ සැත්කමකට මුහුණ දීමට සිදුවීම, ඇදුම උත්සන්න වී ඇස්මා ඇටෑක් තත්ත්වයට මුහුණ දීමට සිදු වීම, අස්ථි බිඳී යන තරමට ප්‍රබල අනතුරක් සිදුවීම. වැනි කරුණු රැසක් මේ කෙරෙහි බලපානවා. බ්‍රෝකන් හාට් සින්ඩ්‍රෝමයට හේතුවන අලුත්ම කාරණය වී ඇත්තේ කෝවිඩ් - 19 වසංගතයයි.

ඇතැම් ඖෂධ නිසා ද ආතති හෝර්මෝනය ඉහළ ගොස් මේ තත්ත්වය ඇති වෙනවා. තදබල අසාත්මිකතාවට, ඇස්මා ඇටෑක් සඳහා දෙන ඔසු, දියවැඩියා රෝගීන් ගේ ස්නායු ගැටලු සඳහා දෙන ඔසු, විෂාදයට දෙන ඔසු, තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලුවලට දෙන ඔසු මේ කෙරෙහි බලපාන්න පුළුවන්. කොකේන් වැනි මත් ද්‍රව්‍ය නිසා ද මේ තත්ත්වය ඇති වෙනවා.

මෙය හෘදයාබාධයකින් වෙනස් වන්නේ කෙසේද?

හෘදයා බාධයක් සෑදෙන්නේ හෘද නාල සම්පූර්ණයෙන් හෝ ආසන්න වශයෙන් අවහිර වී ඇති විටයි. බ්‍රොකන් හාට් සින්ඩ්‍රෝම් තත්ත්වයේදී හෘද නාල අවහිර වන්නේ නැහැ.

අවදානම් සාධක මොනවාද ?

පිරිමින්‍ට වඩා කාන්තාවන් අතර සුලබයි. ඒ වාගේම වයස 50 ට වැඩි පිරිස අතර වැඩිපුර දක්නට ලැබෙන රෝගයක්. ස්නායු අක්‍රමිකතාවක් නිසා ( හිස තුවාල වීම, වලිප්පුව වැනි ) ද මෙය හට ගන්න පුළුවන්.

කාංසාව, විෂාදය වැනි තත්ත්වයකින් කලින් පීඩා විඳ තිබීමත් බ්‍රෝකන් හාට් සින්ඩ්‍රෝමය වැලඳීමේ ඉඩ වැඩි කරනවා.

බොහොම කලාතුරකින් බ්‍රෝකන් හාට් සින්ඩ්‍රෝම් තත්ත්වය මාරාන්තික වෙන්න පුළුවන්. පෙණහලුවල තරල පිරීම, අඩු රුධිර පීඩනය, හද ස්පන්දනය වන රටාවට බාධා සිදු වීම, හෘද අකර්මණ්‍යතාව ඇති විය හැකි හානිකර සංකූලතායි. මෙවැනි සංකූලතා ඇති වන්නේ ඉතාමත් ම කලාතුරකින්. සින්ඩ්‍රෝමය වරක් සෑදුණු කෙනකුට දෙවැනි වරට සෑදුණත් ඒ බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. කෙහොම වුණත් මීට ඖෂධීය ප්‍රතිකාර තිබෙන නිසා අනියත බියක් ඇතිකර ගත යුතු තත්ත්වයක් නො වෙයි.

 

අමෙරිකානු හදවත් සංගමයේ ජර්නලය ඇසුරිනි