බඩ පිරෙන්න කාලා බඩ අඩුකර ගන්න

හැඩ වැඩිකර ලෙඩ අඩුකරන අලුත්ම ක්‍රමය
දෙසැම්බර් 6, 2021

 

කොවිඩ් නිසා ලොකු පොඩි හැමටම නිවෙස්වලට ම කොටු වෙන්නට සිදු වුණා. වැඩි වැඩක් නැතිව එකතැන ඉන්න නිසා කෑම හැදීමත් කෑම ගැනීමත් බොහෝ දෙනකුගේ විනෝදාංශයක් වුණා කීම බොරුවක් නෙවෙයි.

රට ඇරියම ආයෙත් වැඩට යන්න, ගමන් බිමන් යන්න ඇඳුම් අඳින්න ගියාමයි විනෝදාංශයේ තරම ගොඩක් අයට තේරුණේ.

වැඩි වුණ ඇඟ, බඩ, බර අඩුකර ගන්නේ කොහොමද කියලා හිතන ඔබ වෙනුවෙන් මේ ක්‍රමවේදය හඳුන්වා දෙනවා.

සාමාන්‍යයෙන් බර, ඇඟ අඩුකර ගන්න ලැබෙන උපදෙස වෙන්නේ පොඩ්ඩක් කාලා වැඩියෙන් ව්‍යායාම කරන්න කියන එකයි. නමුත් මේ ක්‍රමයෙන් කෙටි කාලීනව බර අඩු වුණත් ටික දවසකින් ම කලින් හිටියාටත් වඩා මහත්වෙනවා.

මේ නිසා අපි අලුත් ක්‍රමයක් අත්හදා බලමු. හොඳට බඩ පිරෙන්න කාලා පොඩ්ඩක් ව්‍යායාම කරලා බඩ අඩුකර ගන්න මේ ක්‍රමයෙන් පුළුවන්. මේ ලිපි පෙළ ඔබේ ඇඟ හැඩකර ලෙඩ අඩුකර ගන්න මාර්ගෝපදේශයක් වේවි.

අද ඔබට දෙන උපදේශය වෙන්නේ, පොඩ්ඩක් කන්න එපා. බඩ පිරෙන්න කන්න. හැබැයි හැමදේම නෙවෙයි. ඔබ නිතර ආහාරයට ගන්න පිෂ්ටය අධික ආහාර වෙනුවට මේදය සහ ප්‍රෝටීන අධික ආහාර වැඩිපුර බෙදා ගන්න.

මොනවද පිෂ්ටය (කාබෝහයිඩ්‍රේට) අධික අහාර කියලා බලමු. සීනි, පැණිරස වර්ග, පිටි වර්ග, පාන් පිටි යොදා සකස් කරන ලද සියලුම ආහාර වර්ග, පිටි කිරි, දියර කිරි, බත්, කොස්, දෙල්, අල, බතල, මඤ්ඤොක්කා, කඩල, කවුපි, මුං ඇට, අඹ, අන්නාසි, ගස්ලබු, කෙසෙල්, කොමඩු, කැරට්, බීට්, වට්ටක්කා, අලු කෙසෙල්, පරිප්පු, සෝයා මීට්, චොකලට්, ඕට්ස් සහ පැකට් කරන ලද කෘත්‍රිම ආහාර වර්ග ආදී මේ සියල්ල ඔබේ පිඟානෙන් හැකි තරම් ඉවත් කිරීමට උත්සාහ ගන්න. මේ ආහාර වර්ග සිරුරට ඔරොත්තු නොදෙන ප්‍රමාණවලින් අධිකව ගැනීම ඔබේ මහතට හා බොහෝ රෝගාබාධවලට හේතුවයි.

ඉන්පසුව ඒ වෙනුවට ආදේශක ආහාර ඔබේ පිඟානට එකතුකර ගැනීම කළ යුතුයි. මොනවද ඒ ආහාර වර්ග?

පොල් සම්බෝල (සම්බෝලම කන්න අකැමැති නම් පොල්, පොල් වැඩියෙන් යෙදූ මැල්ලුම්), දිනකට කහ මදයත් සමඟ බිත්තර හතරක්, මීකිරි, මාලු, මස්, කුකුළු මස් නම් සම සහිතව ගන්න, මේදය අධික රතු මස් වර්ග, බටර් සහ පොල්තෙල්, අලිගැටපේර, වැඩි වශයෙන් ආහාරයට ගත යුතුයි. මෙතෙක් දවසක් මේ ආහාර වැඩියෙන් ගැනීම හොඳ නැති බව සිතා සිටියත් පිෂ්ටය අධික ආහාර අවමකර මේ ආහාර වැඩියෙන් ගැනීමෙන් ඉන් සිරුරට දැනෙන වෙනස ඔබට ම දැක ගන්න පුළුවන්.

මේදය සහ ප්‍රෝටීන සහිත ආහාරවල තිබෙන විශේෂත්වය වෙන්නේ, එමඟින් සිරුරේ තිබෙන විශේෂ හෝමෝන වර්ග ශ්‍රාවය කිරීමයි. ඉතින් අපි මේදය සහ ප්‍රෝටීන බහුල ආහාර ගත් විට මේ බඩපිරෙන හෝමෝනය නිසා ඉක්මනින් බඩ පිරෙනවා. නිතර බඩගිනි ඇතිවෙන්නෙත් නෑ. දවසට ආහාර වේල් එකක් හෝ දෙකක් ගැනීම ප්‍රමාණවත් බවකුත් තමාටම දැනෙනවා. මේ වගේ ආහාර වේලක් ගැනීමෙන් නිතර බඩ පිරිලා තියෙන නිසා නිතර නිතර පොඩි පොඩි දේවල් කන්න ඕනෙ වෙන්නේ නෑ. කෑම ගැනම හිතන්නේ නැතිව ඒ කාලයත් ඔබේ වැඩ සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

මේදය සහ ප්‍රෝටීන බහුල ආහාරවල ඇති අනෙක් වැදගත් ලක්ෂණය වන්නේ, අපට නිරෝගීව ජීවත් වීමට අවශ්‍ය විටමින සහ ඛණිජ ලවන වර්ග වැඩියෙන් ම අඩංගු වීම. එනම් විටමින් ඒ, ඩී, කේ, ඊ, බී12, සින්ක්, මැග්නීසියම්, මැන්ගනීස් සහ යකඩ බහුලව ඇත්තේ සත්ත්වමය අහාරවලයි. එමෙන්ම සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමටත් මේ ආහාර ඉතා වැදගත්. ශාකමය ආහාරවල මෙවැනි පෝෂක තිබුණත් අපේ ආහාර මාර්ගයේ ස්වභාව නිසා සිරුරට අවශෝෂණය කරගන්නේ ඉතා අඩුවෙන්.

වැඩෙන දරුවන්ට, කිරි දෙන මවුවරුන්ට, ගර්භණී මවුවරුන්ට, ක්‍රීඩකයන්ට ආදී මේ සියලුදෙනාට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් මේ ආහාර කාණ්ඩයේ පවතී.

පිෂ්ටය සහ සීනි බහුල ආහාරවල දී සිදු වන්නේ මෙහි විරුද්ධ දෙයයි. එනම් බඩගිනි හෝමෝන වැඩිපුර ශ්‍රාවය වී අප කොපමණ ආහාර ගත්තත් ඉක්මනින් කුසගිනි ඇති වීමයි. කොපමණ අධිෂ්ඨානයකින් ආහාර පාලනය කිරීමට සිතුවත් කාබෝහයිඩ්‍රේට් අධික ආහාර දුටු විට කුසගිනි ඇති වේ. මෙය ඔබේ වරදක් නොවේ, හෝමෝනය නිසා මොළයේ ඇති කරන කෑමට ඇති ආශාව වැඩි කිරීමයි.

කාබෝහයිඩ්‍රේට සහ සීනි වලින් නිතර බඩගිනි වන බවත් ඒවා කොපමණ කෑවත් ඇති නොවන බවත් දන්නා තවත් කණ්ඩායමක් සිටියි. ඒ ආහාර නිපදවන බහුජාතික සමාගම් හා අනෙකුත් රසකැවිලි නිෂ්පාදකයන්ය. මඳක් සිතා බැලුවොත් ඔබට වැටහේවි මුළු මහත් ආහාර වෙළෙඳ ජාලයම පවතින්නේ සීනි සහ පාන් පිටි මත බව.

මේ ක්‍රමයට ආහාර ගන්නා විට පිළිපැදිය යුතු චාරිත්‍ර වාරිත්‍ර කිහිපයකුත් පවතී.

  •  ආහාර ගැනීමට පැය භාගයකට පෙර ලොකු වතුර වීදුරුවක් බොන්න. ආහාර ගෙන පැය භාගයක් යන තෙක් වතුර නොබී සිටින්න.
  •  ආහාර වේල් දෙකක් අතර අඩුම වශයෙන් පැය 4කවත් පරතරයක් තබා ගන්න. පැය 4ක් යන තෙක් බඩගිනි නොවීමට නම් පෙර කී ආහාර බඩ පිරෙන්න ම කන්න.
  •  අතරින් පතර, අනම් මනම් හිතුණ හිතුණ සැරේ කන්න තහනම්. ඒත් අවශ්‍ය නම් තේ කහට, කෝපි, කොත්තමල්ලි වතුර, බෙලිමල් වතුර බොන්න පුළුවන්. ඒත් සීනි, හකුරු, රටඉඳි, කිරි එකතු කරන්න බැහැ.
  •  උදේ ආහාර වේල හැකි තරම් ප්‍රමාද කරන්න. නමය දහය වනතෙක් ප්‍රමාද වුණත් හොඳයි. මේ කාලයේ දී හැකි තරම් වතුර බොන්න.
  •  උදේ පාන්දර බිස්කට් කෑම මෙන්ම කිරිතේ බොන පුරුද්ද හැකි ඉක්මනින් නවතන්න.
  •  රාත්‍රී ආහාර වේල බිං කළුවර වැටෙන්නට පෙර ගැනීමට උනන්දු වෙන්න. මෙසේ ගන්නා රාත්‍රී ආහාරය බඩ පිරෙන්නට ම කන්න. නැතිනම් උදේට ඉක්මනින් බඩගිනි වෙන්න පුළුවන්.
  •  බඩගිනි නැතිනම් දහවල් වේල නොගෙන සිටීමටත් පුළුවන්. එක් වේලක් නොගෙන සිටියාට සිරුරට කිසිම හානියක් සිදු වන්නේ නෑ.
  •  මතක ඇතිව රාත්‍රී දහයට පෙර නින්දට යන්න. උදේ පහට පෙර අවදි නොවන්න. රාත්‍රියේ හොඳ නින්දක් ලබා ගැනීම බඩ අඩුකර ගැනීමට උදවුවක්. (උදෑසන පහට පෙර අවදිවීමට අවශ්‍ය නම් පැය හතක නින්දක් ලැබෙන පරිදි කලින් නින්දට යන්න)

මේ ක්‍රමවේදය ගැන තවත් කරුණු ලබන සතියේ දීත් අපි කතා කරමු.

 

ලෙඩ අඩු කර හැඩ වැඩි කරන හැටි කියාදෙන වෛද්‍ය ජානක වන්නකු