දකුණු අප්‍රිකාවෙන් මතුවුණු ඔමික්‍රෝන් (Omicron ) ගැන කියන කතා ඇත්තද ?

දෙසැම්බර් 6, 2021

 

නව ප්‍රභේදයේ විකෘතිතාවන් 50 ක් ඇති අතර ඉන් 26ක් ඔමික්‍රෝන්ටම ආවේණිකයි. මෙය තවමත් හඳුනා ගනිමින් පවතින වෛරස් ප්‍රභේදයක් වුවත් ලොවටම තර්ජනයක් විය හැකි බව බොහෝ වෛරස් විශේෂඥයන් පවසනවා. ඔවුන් ගේ අවධානය මේ කෙරෙහි වැඩිපුර යොමුවී ඇත්තේ වෛරසයේ මතුපිට ප්‍රෝටීනයේ විකෘතිතා 30 ක් දැකිය හැකි නිසයි. මිනිස් සෛලවලට මේ වෛරස සම්බන්ධ වන්නේ මතුපිට ඇති ප්‍රෝටීනයෙනි.

මෙය තරුණ අයට වැඩි අවදානමක් ඇති වෛරසයක් නිසා වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයන් ද කෝවිඩ් එන්නත්, බූස්ටර් එන්නත් ලබා ගැනීම ඉතා වැදගත්.

දුරස්ථභාවය රැකගැනීම මෙන්ම හොඳින් මුව, නාසය වැසෙන සේ මුහුණු ආවරණ පැලඳීමත් සබන් ගා නිතර දෑත් සේදීමත් දිගින් දිගටම පවත්වා ගෙන යායුතුයි. සමහරුන් මුව ආවරණ පලඳින්නේ ආවරණය තුළින් වාතයට ඇතුළු විය හැකි පරිදිය.

නිතරම වෙස් පෙරළෙන නව කොරෝනා වෛරසයේ අලුත්ම ප්‍රභේදය ඔමික්‍රෝන්. මේ වන විට ඔමික්‍රෝන් නම් අලුත්ම ප්‍රභේදය ලොව කලඹමින් රටවල් ගණනාවක ව්‍යාප්ත වෙලා.

ඔමික්‍රෝන් කියන්නේ ග්‍රීක හෝඩියේ 15 වැනි ස්ථානය හැඳින්වීමට යොදන අකුරයි. මේ දක්වා හමුවී ඇති විකෘතිතා වැඩිම ප්‍රභේදය වන්නේ ඔමික්‍රෝන්. මෙහි විකෘතිතා 50 ක් ඇති බවට විශ්වාස කරනවා. දැනටමත් නව ප්‍රභේදයට බියෙන් රටවල් ගණනාවක් දකුණු අප්‍රිකාවට සංචරණ සීමා පනවලා.

මුලින්ම නව ප්‍රභේදය හඳුනාගත් දකුණු අප්‍රිකානු වෛද්‍යවරිය ඇන්ගෙලකි කෝට්සි පවසන්නේ මේ දක්වා එරටින් හමුවූ ඔමික්‍රෝන් වෛරසය ආසාදිත රෝගීන් සුළු රෝග ලකුණු පෙන්වන බවයි. ඒ වාගේම ඔවුන්ට නිවෙසේදීම ප්‍රතිකාර කළ හැකි බවත් ඇය පවසනවා. දකුණු අප්‍රිකානු වෛද්‍ය සංගමයේ සභාපතිනියවූ ඇය රෝගීන් සත් දෙනකු හඳුනා ගෙන තිබෙනවා. දෙදිනක් පමණ පවතින දැඩි වෙහෙස, හිසරදය, ඇඟේ පතේ වේදනාව රෝගීන් වැඩි දෙනකු පෙන්වා ඇති රෝග ලකුණුයි. මේ ලක්ෂණ සාමාන්‍ය වෛරස් ආසාදනයක ලකුණ ද වෙනවා. පසුගිය සති අටකට දහයකට ඇයට කෝවිඩ් රෝගීන් හමුවී නැහැ. එක්වරම දිනකට රෝගීන් දෙතුන් දෙනා වාර්තා වීමට පටන් ගත් විට වෛද්‍යවරියට සැක සිතී තිබෙනවා. පළමුවෙන්ම මේ ප්‍රභේදය ගැන වාර්තාවී තිබෙන්නේ නොවැම්බර් 24 වැනි දිනයි.

ඩෙල්ටා වෛරසයේදී මෙන් නොව ඔක්සිජන් මට්ටමේ බැස්මක්, ගඳ - රස නො දැනී යාමක් මේ දක්වා රෝගීන්ගෙන් වාර්තා වී නැහැ. වයස අවුරුදු හතළිහට අඩු රෝගීන් හමුවී ඇති අතර ඉන් අඩක්ම කෝවිඩ් සඳහා එන්නත් ලබා නො ගත් අයයි.

දකුණු අප්‍රිකාවේ සෑම පළාතකින්ම ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතවූ රෝගීන් හමුවී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ මෙය සලකා බැලිය යුතු, අවධානයට ලක් කළ යුතු වෛරසයක් ලෙසයි. ලොව මෙතෙක් හඳුනාගත් මාරාන්තික නව කොරෝනා වෛරස් ප්‍රභේදය ලෙස දක්වා තිබෙන්නේ ඩෙල්ටා ප්‍රභේදයයි. එහෙත් නවතම ප්‍රභේදය ඊට වඩා දරුණු ලෙසින් පැතිරෙනු ඇති බවට ඔවුන් අනුමාන කරනවා. වෛරසය කෝවිඩ් එන්නත් බලය බිඳීද?, ඩෙල්ටාවලට වඩා මෙය මොනතරම් මාරාන්තිකද ?, ඩෙල්ටාවලටත් වඩා ශීඝ්‍රයෙන් බෝ වෙනවාද? ආදී ගැටලුවලට නිවැරැදිම ප්‍රතිඵල ලැබීමට තව සති කිහිපයක් ගතවනු ඇති. තවමත් සමහර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ කෝවිඩ් එන්නත්වලට යම් තරමකට ඔමික්‍රෝන් සමඟ සටන් කළ හැකි බවයි. එහෙත් එන්නත්වල බලය බිඳීමට වෛරසයට හැකි බවට අනුමාන කරන විද්‍යාඥයන් ද සිටිනවා. එන්නත් මාත්‍රා දෙක පමණක් නොව බූස්ටර් එන්නත ලබාගත් අය ද රෝගයට ගොදුරුවී තිබීම ඊට හේතුවයි. ඔමික්‍රෝන්ට අපේ ප්‍රතිශක්ති පද්ධතිය රවටා ශරීරගත වීමේ හැකියාවක් ඇති බව පෙන්වා දෙන විද්‍යාඥයන් සිටිනවා.

දින සියයක් ඇතුළත වෛරසයට එරෙහිව එන්නතක් නිපද වීමට බව ෆයිසර්, BioNTech සමාගම් පියවර ගනිමින් සිටිනවා. ජොන්සන් සහ ජොන්සන් සමාගම, ඇස්ට්‍රසෙනිකා, නොවාවැක්ස්ද අලුත් ප්‍රභේදය ගැන අධ්‍යයනය කරමින් සිටින්නේ ඊට එරෙහි එන්නතක් නිපදවීමටයි. නොවාවැක්ස් එන්නත ප්‍රෝටීන පාදක කරගත්තක්. මෙය ෆයිසර්, මොඩර්නා, ජොන්සන් සහ ජොන්සන්, ඇස්ට්‍රසෙනිකාවලට වඩා හාත්පසින්ම වෙනස් එන්නතක්. ශිතකරණයේ සෙල්සියස් අංශක 2 - 8 ක උෂ්ණත්වයක තැන්පත් කිරීමට පුළුවන්. ‍මෙය සියයට 93ක සාර්ථකත්වයක් දක්වනවා.

ඔමික්‍රෝන් මේ වන විට රටවල් 13 ක් ආක්‍රමණය කර තිබෙනවා. ලොව පුරා සිටින වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ හැකි තරම් කෝවිඩ් එන්නත් මාත්‍රා සහ බූස්ටර් මාත්‍රා ලබා ගන්නා ලෙසයි. තවමත් කුමන ප්‍රභේදය පැමිණුණත් එන්නත් ලබා ගත් විට යම් රැකවරණයක් ලැබෙන බව සොයා ගෙන තිබෙනවා. එන්නත් මඟින් සිරුරේ ඇති කරන ප්‍රතිදේහ රෝගය දරුණු වීම වළක්වනවා.