දූරියන් මදුලක් කියන්නේ විටමින් සී ගබඩාවක්

දෙසැම්බර් 13, 2021

දූරියන් වාරය පැමිණිලා බව දැන ගන්න ගහ දිහා බලන්න ඕන නැහැ. පළාතෙම විසිරිලා යන සුවඳින් ඒ බව කියන්න පුළුවන්.

අඩි සියයක දුරට පවා දූරියන් ගන්ධය දැනෙනවා. සමහරු නම් ඒ ගන්ධයට ඒ තරම් ප්‍රියමනාප නැහැ. කොහොම වුණත් දූරියන් කියන්නේ නාසය වසා ගෙන හෝ කෑමට ගත යුතු වටිනා පලතුරක්. දකුණු ආසියාවේ පලතුරු ලොව රජු යන ආරූඪ නමත් මීට ලැබිලා තියෙනවා. එය පුදුමයක් නො වන්නේ දූරියන් කියන්නේ විටමින්, ඛනිජ ලවණ ඇතුළු පෝෂක ගණනාවක් අඩංගු පලතුරක් නිසයි. එය ලොව වඩාත්ම ගුණදායක් පලතුරු අතරින් එක් පලතුරක්. මැලේ බසින් දූරි කියන්නේ කටුවලටයි. ලංකාවට දූරියන් ගෙනාවේ නම් පෘතුගීසීන්. දැන් එය අපේ පලතුරු නාමාවලියට එක්වී අවසන්.

දූරියන් කෝප්පයක ( ග්‍රෑම් 243 ක ) දෛනික විටමින, ඛනිජ ලවණ අවශ්‍යතාවෙන් බොහොමයක් අඩංගුයි. දවසකට අවශ්‍ය කරන විටමින් සී අවශ්‍යතාවෙන් සියයට 80 ක් ම දූරියන් කෝප්පයකින් ලැබෙනවා. මීට අමතරව මේදය ග්‍රෑම් 13 ක් ද කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 66 ක් ද තන්තු ග්‍රෑම් 9 ක් ද ප්‍රෝටීන ග්‍රෑම් 4 ක් ද තයමීන් සියයට 61 ක් ද මැංගනීස් සියයට 39 ක් ද පිරිඩොක්සීන් සියයට 38 ක් ද පොටෑසියම් සියයට 30 ක් ද රයිබොෆ්ලේවින් සියයට 29 ක් ද තඹ සියයට 25 ක් ද ෆෝලේට් සියයට 22 ක් ද මැග්නීසියම් සියයට 18 ක් ද නයසින් සියයට 13 ක් ද අඩංගුයි.

අධ්‍යයන මඟින් හෙළිවී ඇත්තේ දූරියන් පලතුරේ පිළිකා නාශක ගුණයක් පවතින බවයි. ඊට අමතරව හදවතේ සුවය රැක ගැනීමට, බැක්ටීරියා - දිලීර රෝගවලට එරෙහිව සටන් කිරීමට, රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත්ව තබා ගැනීමට දූරියන් උපකාරී වෙනවා. දූරියන් මඟින් හදවත ආරක්ෂා වන්නේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමෙන්.

මත් වතුර පානය කිරීමේ වැරැදි පුරුද්දට ඇබ්බැහිවූ සැමියන් ට නම් දූරියන් කෑමට දීම අති භයානකයි. මත් වතුර සමඟ දූරියන් කෑමට ගත්තොත් වමනය, ඔක්කාරය, හද ගැස්ම වේගවත් වීම වැනි ලකුණු ඇති වෙනවා.

මේ සුමිහිරි පලතුර බීමක්, සුප් එකක්, අයිස් ක්‍රීම් වැනි අතුරු පසක් ආදී ඕනෑම ආකාරයකට ආහාරයට ගන්න පුළුවන්. කොස් ඇට මෙන්ම දූරියන් ඇට ද තම්බා හෝ ටෝස්ට් කර කෑමට ගන්නවා.

දූරියන්වල රස පහක් සැඟව ඇතැයි කියවෙනවා. මෙය දියවැඩියා රෝගීන් සීමා සහිතව කෑමට ගත යුත්තේ අධික කාබෝහයිඩ්‍රේට් පුමාණයක් අඩංගුව තිබෙන නිසයි.

දැඩි ලෙස වෙහෙසට පත් විටක දූරියන් මදුලක රස බලන්න. ක්ෂණයකින් ශක්තිය ලැබෙනවා. මෙහි අධිකව පොටෑසියම් අඩංගු නිසා වෙහෙස දුරුවී මානසික ආතතිය, කාංසාව දුරු වෙනවා. සුව දායක නින්දකට ද දූරියන් මඟ පාදනවා.

 

 

 

අන්තර්ජාලයෙනි