කොලෙස්ටරෝල් අඩු වැඩි වීමෙන් සිරුර ලෙඩ වෙනව ද?

දෙසැම්බර් 27, 2021

හෘදයාබාධ අප බොහෝ දෙනෙක් බිය වන රෝගාබාධයකි. බොහෝ විට ඒ සඳහා කොලෙස්ටරෝල් ප්‍රබල සාධකයක් වන බව මෙතෙක් තිබූ වෛද්‍ය මතයයි. නමුත් අද වන විට වෛද්‍ය මතය මීට වඩා වෙනස් ය. අද වන විට පැවසෙන්නේ කොලෙස්ටරෝල් සිරුරට අහිතකර නොවන බවයි.

හෘද්යාබාධ වළක්වා ගැනීම සඳහාත් වන්නකු ක්‍රමය උපයෝගී කරගත හැකි අතර ඒ සඳහා පළමුව අපි කොලෙස්ටරෝල් පිළිබඳ දැනගනිමු.

ඇත්තට ම කොලෙස්ටරෝල් කියන්නේ සතුරෙක්ද? කෙලෙස්ටරෝල් මඟින් සිරුර තුළ සිදු කරන කාර්යය කුමක්දැයි අපි බලමු.

සිරුරේ සියලුම සෛලවල බිත්තිය සෑදී ඇත්තේ කොලෙස්ටරෝල් වලිනි. සෛලවල හැඩය සහ නොයෙකුත් වර්ගයේ හෝමෝන නිපදවීම සඳහා කොලෙස්ටරෝල් අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස ලිංගික හෝමෝන වන ටෙස්ටොස්ටෙරෝන්, ඊස්ට්‍රජන්, කෝටිසොල් දැක්විය හැකියි.

විටමින් ඒ, ඩී, ඊ, සහ කේ අවශෝෂණය කරගැනීම සඳහා අවශ්‍ය වන පිත නිෂ්පාදනය කරගැනීමට ද කොලෙස්ටරෝල් අවශ්‍ය වේ. එමෙන්ම මෙය ස්නායු සෛල වටා පවතිමින් එය ආරක්ෂා කරන මයලින් කොපුවේ ප්‍රධාන සංඝටකයකි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වීමට ද කොලෙස්ටරෝල් අවශ්‍ය වේ. මොළයෙන් 80%ක් සෑදී ඇත්තේ ද කොලෙස්ටරෝල් වලිනි.

සිරුරට අවශ්‍ය වන කොලෙස්ටරෝල්වලින් වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ අක්මාවයි. බිත්තර කහ මදයේ අඩංගු කොලෙස්ටරෝල් නිසා රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යා හැකි බැවින් බිත්තර කහ මදය ඉවත දමා සුදු මදය පමණක් ආහාරයට ගන්නා ලෙස පසුගිය කාලයේ දී උපදෙස් ලැබිණි. නමුත් රුධිරයේ සංසරණය වන කොලෙස්ටරෝල් ප්‍රමාණය නියතව තබා ගැනීම සඳහා ආහාරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යන විට අක්මාව අඩුවෙන් කොලෙස්ටරෝල් නිපදවන බව සොයාගෙන ඇත.

නමුත් අපේ රටේ තවමත් මේ පිළිබඳ ඇත්තේ පැරැණි මත ය. අලුත් දැනුම සමාජගත වී නොමැතිකම නිසා රෝගයෙන් වැළකීමට නොකළ යුතු දෑම මිනිසුන් විසින් සිදු කරන බව පෙනී යයි.

කොලෙස්ටරෝල් රුධිරයේ සංසරණය වන්නේ ලිපොප්‍රෝටීනවල දැවටීගෙන ය. ලිපොප්‍රෝටීනවල ඇපෝලිපෝ ප්‍රෝටීන සහ ට්‍රයිග්ලිසරයිඩ ආදී වෙනත් සංඝටක ද අඩංගු වේ. නියමිත කාර්යය කළ පසුව කොලෙස්ටරෝල් ආපසු අක්මාව වෙත පැමිණ පිත බවට පරිවර්තනය වෙයි.

LDL ඇපෝලිපෝප්‍රෝටීන් බී තුළ ප්‍රවාහනය කරන කොලෙස්ටරෝල් LDL-C නැතිනම් LDL ලෙස හඳුන්වයි. මේ මඟින් කොලෙස්ටරෝල් සිරුර පුරා බෙදා හරිනු ලබයි. ඉහළ LDL අගයන් හෘද රෝග හා සමීප සබඳතාවක් ඇති බව පැවසුණි. එම නිසා LDL නරක කොලෙස්ටරෝල් ලෙස නිතර හඳුන්වා දෙනු ලැබීය. නමුත් මේ මතය නොයෙකුත් පාර්ශ්ව විසින් හේතු සහගතව අභියෝගයට ලක්කර තිබේ.

LDL ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ වැදගත් කාර්යයක් ඉටු කරන බැවින් ඇතැම් විටෙක මෙය ඉහළ අගයන් ඇති පුද්ගලයන්ට වැඩි ආයු කාලයක් ඇති බව සමහර සමීක්ෂණ වලින් පෙන්වා දී ඇත.

HDL-ඇපොලිපෝ ප්‍රෝටීන් - ඒ තුළ ප්‍රවාහනය කරන කොලෙස්ටරෝල් HDL-C නැතිනම් HDL ලෙස හඳුන්වයි. මේ නිසා මෙය හොඳ කොලෙස්ටරෝල් ලෙස හැඳින්වේ. අඩු HDL අගයන් හෘද රෝග අවදානම වැඩි කරන බව පැවසේ. මේ කොලෙස්ටරෝල් වර්ගයේ ප්‍රධාන කාර්යය වන්නේ කොලෙස්ටරෝල් නැවත අක්මාව වෙත රැගෙන ඒමයි. ඉන් අනතුරුව ඒවා ප්‍රතිචක්‍රීකරණයකර නැවත භාවිත කරයි. නැතහොත් සිරුරෙන් බැහැර කරයි.

HDL හොඳ කොලෙස්ටරෝල් ලෙසත් LDLනරක කොලෙස්ටරෝල් ලෙසත් හැඳින් වුවද කොලෙස්ටරෝල් ඇත්තේ එක් වර්ගයක් පමණි. එසේම මේ හොඳ හෝ නරක ලෙස හැඳින්වීම නොමඟ යන සුලු සහ වැරැදි සහගත තත්ත්වයකි.

HDL සහ LDL වලට ඒ අවස්ථාවට අනුකූලව යහපත් හෝ අයහපත් ප්‍රතිඵල ගෙන දීමේ හැකියාවක් ඇත. නමුත් වන්නකු ක්‍රමයට ආහාර ගැනීම මඟින් ඔබට හෘදයාබාධ අවදානම අවමකර ගැනීමට ද හැකි වේ. කොලෙස්ටරෝල් ගැන නිසි දැනුම්වත් වීමකින් පසුව අපි මේ සඳහා සිදු කළ යුතු ආහාර රටාවේ හා ජීවන රටාවේ වෙනස්කම් පිළිබඳ කතා කරමු.

ලබන සතියේ ලිපියෙන් අපි මේ සම්බන්ධයෙන් තවත් වැදගත් කරුණු පිළිබඳ සොයා බලමු.

 

 

ලෙඩ අඩු කර හැඩ වැඩි කරන හැටි කියාදෙන වෛද්‍ය

ජානක වන්නකු