අවුරුදු පනහට පසු සැමියාට වඩා බිරිය වයසට යන්නේ ඇයි ?

වයසත් සමඟ ගතෙහි සිදු වන වෙනස හඳුනා ගනිමු
දෙසැම්බර් 27, 2021

 

දින දසුනේ අවසන් පිටුව පෙරලද්දී සිතට පුංචි දුකක් දැනෙනවා නේද ? ඒ පරණ අවුරුද්දට ආයුබෝවන් කීමට සිදුවන නිසා නම් නො වෙයි. අලුත් අවුරුද්ද උදා වන්නේ තවත් වසරකින් තමන් වයස්ගත කරමින් නිසයි.

කාන්තාවන් වයස්ගත වීම හරිම වේගවත්. 2050 වන විට වයස අවුරුදු 60 ට වැඩි කාන්තාවන් ගේ ගණන බිලියනය ඉක්මවනවා. දැනටමත් වයසට යාමෙන් කාන්තාවන් පිරිමින් පරදවා ජය අරන්. සෑම පිරිමින් සිය දෙනකුට ම වයස අවුරුදු 60 ට වැඩි කාන්තාවන් 123 ක් සිටිනවා. මෙය සුබ පුවතක් වන්නේ නැහැ. කාන්තාවන් බහුතරයක් සැම විටම උත්සාහ ගන්නේ උප්පැන්න සහතිකයේ වයස කුමක් වුවත් කණ්ණාඩියෙන් පෙනෙන වයස හැකි තරම් ළාබාලව දැකීමටයි. එහෙත් වයසත් සමඟ කාන්තාවන් ගේ සිදුවන වෙනස්කම් වළක්වන්නට නම් බැහැ. පිරිමින්ටත් වඩා කාන්තාවන් දශකයෙන් දශකය ට වෙනස් වෙනවා. වෙනස් වීම් ගැන කල් ඇතිව දැන ගැනීම දශකයකින් රුව තරුණකර ගැනීමට උපකාරකර ගත හැකියි.

වයස අවුරුදු විසි ගණන් කියන්නේ කොරෝනා වසංගතයට කලින් නම් රෝග බියක් නැති ම වයසක් කියායි සිතුවේ. ඒහෙත් එය වැරැදි සිතුවිල්ලක්. දැන් කාලයේ වයස්ගත වූවන් ට සෑදෙන රෝගවලට තරුණ වයසේදී ම ගොදුරු වෙන පිරිස වැඩි වෙමින් ඉන්නේ. වයස අඩු වුණත් අධි රුධිර පීඩනය වැලඳීමට ඇති ඉඩ අඩුයි කියා සිතන්න බැහැ. තරුණියන් වැඩි දෙනෙක් ගැබ් ගන්නේ වයස විසිගණන්වලදියි. ගර්භණීභාවය ඇය ගේ සෞඛ්‍ය තත්ත්වයේ කැඩපතක් වාගෙයි. ගැබ් ගෙන සිටියදී කාන්තාවක ප්‍රීඑක්ලැම්සියා තත්ත්වයට ගොදුරු වුණොත් ජීවිතයේ පසු කාලීනව අධි රුධිර පීඩනයට හා හෘද රෝගවලට ලක් වීමේ වැඩි ඉඩක් පවතිනවා. ගැබිනි භාවය stress test ට සමාන කරන්න පුළුවන්. පසු කාලීනව ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු ගැබිනි වියේදීම හඳුනා ගන්න පුළුවන්.

කාන්තාවක ගේ වයසත් සමඟ ඇතිවන පෙරළියට ප්‍රධාන හේතුවක් වන්නේ හෝර්මෝනයි. හෝර්මෝන කියන්නේ අපේ අන්තරාසර්ග ග්‍රන්ථි මඟින් නිපදවන රසායනික පණිවුඩකරුවන්ය. ඒවා රුධිර ධාරාව හරහා සිරුර පුරා සැරි සරන්නේ පටක හා අවයවවලට කළයුතු දේ ගැන සිහිපත්කර දෙන්නයි. එහෙත් නොයෙකුත් හේතූන් නිසා සිරුරේ හෝර්මෝන අසමතුලිතතාවක් ඇති වීමට පුළුවන්. හෝර්මෝන අධිකවීම හෝ හෝර්මෝන වැඩිවීම නිසා මේ අසමතුලිතතාව ඇතිවෙනවා.

සමෙහි තද පැහැති පැල්ලම් හට ගැනීම

( Pigmentation )

සමෙහි එක් තද පැහැති පැල්ලමක් ඇති වුණත් එය කාන්තාවකට සිත රිදවන කාරණයක්. විශේෂයෙන් එවන් පැල්ලම් ගණනාවක් වැඩිපුර ම මුහුණේ ඇති වුණොත් ..... දවස පුරාම අසහනයෙන් කණ්ණාඩිය අසල රැඳෙන්නත් පුළුවන්. මේවාට වගකියන්න ඕන හෝර්මෝන අසමතුලිතතාවයි. ඊස්ට්‍රජන් හෝර්මෝන මට්ටම වැඩිවී සමේ තද පැහැය වැඩි කරන මෙලනොසයිට් වර්ණකයේ මට්ටම වෙනස් වීම මේ කෙරෙහි බලපානවා. ගැබිනි සමයේ හෝර්මෝන වෙනස් වීම තවත් හේතුවක්. උපත් පාලන පෙති දිගු කාලයක් ගැනීම ඊස්ට්‍රජන් මට්ටම වැඩි කරන අතර

සමෙහි දුඹුරු/කළු පැල්ලම් ඇති වීමට එය හේතු වෙනවා.

සමෙහි මෘදු, කුඩා මාංසමය එල්ලා වැටීම් ඇතිවනවා නම් (විශේෂයෙන් කිහිල්ල වැනි නැවෙන තැන්වල) එයට එක් හේතුවක් ගැබිනි වියේ ඇතිවන හෝර්මෝන පෙරළිය වීමට පුළුවන්. ආර්තවහරණයෙන් පසු ඊස්ට්‍රජන් මට්ටම අඩු වීම නිසා සම වඩාත් තුනීවී එල්ලා වැටීමටත් ඉඩ තිබෙනවා. හෝර්මෝන අසමතුලිතතාව නිසා ම ඇති වන පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් රෝග තත්ත්වයේදී ද මෙවැනි එල්ලා වැටීම් දක්නට ලැබෙනවා.

කුරුලෑ වයසත් සමඟ වධ දෙන තවත් ගැටලුවක්. නව යොවුන් වියේදී වැඩිපුර ම මේ ගැටලුවට මුහුණ පානවා. මුහුණේ, පපුවේ, ගෙලේ, කොන්දේ, හිසේ කුරුලෑ හට ගන්නවා. එක්වර ම ඇතිවූ හෝර්මෝන පෙරළියක් මීට ප්‍රධාන හේතුවයි. පිරිමි හෝර්මෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය කාන්තා සිරුරේත් තිබෙනවා. ඇන්ඩ්‍රොජන්ස් හෝර්මෝනයත් පිරිමි හෝර්මෝනයක් ලෙස සලකනවා. එය ද කාන්තා සිරුරේ පවතිනවා. මේවා පවතින්නේ සුළු ප්‍රමාණවලින්. ඇන්ඩ්‍රොජන් මට්ටම වැඩි වුණොත් ස්නේහ ස්‍රාවයන් නිපදවීම වැඩි වෙනවා. ස්නේහස්‍රාවයන් කෙස් මුල්වල බැක්ටීරියා කොලනි ඇති කිරීමට හේතු වෙනවා. ස්නේහස්‍රාවයන් සම වේළීම වළක්වා ගැනීමට සිරුරින් නිපදවෙන තෙල් වර්ගයක්. එහෙත් ඇන්ඩ්‍රොජන් වැඩිවුණොත් අවශ්‍ය තරමට වඩා වැඩිපුර ස්නේහස්‍රාවයන් නිපදවෙනවා. මැරුණූ සමේ සෛල, වැඩිපුර නිපදවෙන ස්නේහස්‍රාවයන් සමඟ එක්වී සමේ කුහර අවහිර වෙනවා. මේවා ආසාදනය වූ විට පැසවනවා.

කෙස් ගැලවී යාම, තුනී වීම සඳහා හෝර්මෝන අසමතුලිතතාව බලපානවා. ඊස්ට්‍රජන්, ටෙස්ටොස්ටෙරෝන්, ඉන්සියුලින් යන හෝර්මෝන තුනම මේ කෙරෙහි බලපානවා. තයිරොයිඩ් ගැටලු තවත් හේතුවක්. මොනර පිළක් වැනි කෙස් කළඹක් පිටුපස ඇත්තේ ඊස්ට්‍රජන් හෝර්මෝනයේ බලයයි. එහෙත් කෙස් ගැලවී යාමට, වැඩි ඊස්ට්‍රජන් මට්ටම මෙන්ම අඩු ඊස්ට්‍රජන් මට්ටම ද බලපානවා. ආර්තවහරණය, ගර්භණීභාවය ඊස්ට්‍රජන් මට්ටම අසමතුලිත කිරීමට බලපානවා.

**************************

පිරිමින්ට වඩා මාසිකවම හෝර්මෝන පෙරළියක්

හිතින් වැඩිපුර විඳවන්නේ ගැහැනුයි.

කාන්තාවන්ට දුක හිතෙනවා වැඩියි. මානසිකව ඇද වැටෙනවා වැඩියි. රැකියාව, ගෘහ ජීවිතය සමඟ යුද්ධයක් කිරීමට සිදුවීම මීට ප්‍රධාන හේතුවක්. පිරිමින්ට වඩා මාසිකව ම හෝර්මෝන පෙරළියක් සිදුවීම තවත් කරුණක්. හෝර්මෝන පෙරළිය හා විෂාදය අතර සම්බන්ධයක් තිබෙනවා. මේ සියල්ල ම බලපාන්නේ ඉක්මනින් වයස්ගත පෙනුමක් ලැබීමටයි.

දරුවකු බිහිකළ පසු කාන්තාවක් ඉක්මනින් වයසට යන බව ජෝර්ජ් මේසන් සරසවිය පෙන්වා දෙනවා. ගැබිනි වියේ දී ආතතියත් අත්දකිනවා. තමන් ගේ දැන් ඇති වයස‍‍ට වඩා දරුවකු බිහිකළ පසු වසර 11 න් වියපත් වන බව ජෝර්ජ් මේසන් සරසවියේ විද්‍යාඥයන් පෙන්වා දෙනවා. චර්ම රෝග විශේෂඥයන්ට අනුව කාන්තාවන්ට වඩා පිරිමින් ගේ සම සියයට 25 ක් ඝනකමයි. මේ ප්‍රතිශතය වෙනස් වුවත් කාන්තාවන් ට වඩා සමේ ඝනකම වැඩි වීම නිසා ගැහැනුන් ගේ තරම් ඉක්මනින් පිරිමි සමේ රැලි ඇති වන්නේ නැහැ.

ආර්තවහරණය සමඟ කාන්තාවන් ගේ තරුණ බව රැක දෙන ඊස්ට්‍රජන් හෝර්මෝනය ශීඝ්‍රයෙන් අඩු වෙනවා. එය වයස්ගත පිරිමින් ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය අඩු වෙනවාට වඩා ශීඝ්‍රයෙන් සිදු වන්නක්. එනිසා ද පිරිමින් ට වඩා ඉක්මනින් කාන්තා මුහුණ රැලි වැටෙන්න ගන්නවා.

ආර්තවරහණය සමඟ ඇතිවන හෝර්මෝන පෙරළිය කාන්තාවන් ඉක්මනින් වයස්ගත කිරීමට මූලිකවම බලපානවා.

උපදෙස් - නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ

ගාමිණී පෙරේරා