රහට ගුණට කෑම කන්න ලොකු වියදම් ඕනෙම නෑ..

ජනවාරි 10, 2022

 

ඉතිහාසය නැවත නැවත සිදුවෙන බව ඇත්තකි. වසංගත කාලයන් පිළිබඳ ඇසීමෙන් පමණක් දැන සිටි අපට එය මොනතරම් බලපෑමක් ලොවට, මිනිස් ජීවිතවලට සිදු කරන්නේදැයි දැන් හොඳාකාරව ම පැහැදිලි ය.

නිරෝගී බවට පමණක් නොවේ, මිනිසුන්ගේ එදිනෙදා ජීවන රටාව ම උඩුයටිකුරු කරන්නට මේ වසංගතයට හැකි වී තිබේ.

අපේ රටවල ඇති සංස්කෘතික ලක්ෂණවලට පවා අභියෝග කිරීමට මේ රෝ බිය සමත් ය. එකමුතුව සාමූහිකව සිටි අපේ සමාජය දැන් දැන් දුරස්ථ සබඳතා සඳහා තල්ලු වේ. උත්සව සමයේ දී ආහාර පාන අසල්වාසීන්, ඥාතීන් හා බෙදා හදා ගත්ත ද අද එයට ද මඟ ඇහිරී ඇත. අපේ අත්තම්මලා බතක් හොද්දක් වුවද හැදුවේ පවුලේ සාමාජිකයන්ට වඩා වැඩියෙනි. ඒ හදිසියේ නිවෙසට ගොඩවදින අමුත්තකුට, අසල්වැසියකුට බත් කටක් දීමේ අරමුණෙනි.

ඒත් ඒ සිරිත් අද වන විට අපට බැහැර කිරීමට සිදු ව ඇත. මේ අසීරු කාලය අපගේ ආර්ථික තත්ත්වයට පවා වැඩියෙන් බලපෑම් කරඇති නිසා ආහාර සුරක්ෂිතතාව ගැන ද පෙරටත් වඩා සිතීම වැදගත් ය. අපතේ යන ලෙස වැඩියෙන් ආහාර සකස් නොකොට නිවෙසේ සිටින පිරිසට සෑහෙන ප්‍රමාණයට පමණක් ආහාර සැකසීම මේ දිනවල ඔබේ ආර්ථිකයට මෙන්ම රටේ තත්ත්වයට ද වැදගත් ය.

ආහාර මිල දී ගැනීමේ දී හැකි තරම් දේශීය දේ සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්න. ඇපල්, මිදි, ඕට්ස් වැනි ආනයනික ආහාර වර්ග වෙනුවට පේර, වෙරළු, හබලපෙති ආදී දේශීය ආහාර වර්ග ගැනීමෙන් ඔබේ සෞඛ්‍යයට යහපත් වන අතරම ඉන් ඔබේත් රටේත් ආර්ථිකයට ද යහපතක් වනු ඇති.

අප නොදන්නා ඒත් අප අවට පරිසරයේ ම ආහාරයට ගත හැකි කෑම වර්ග කොයි තරම් නම් තිබෙනවාද?. මේ දිනවල ඒ විදියට කෑමට ගත හැකි ආහාර වර්ග ගැන දැනුමක් ලබා තිබීම හරිම වැදගත්. උදාහරණයක් ලෙස දිය බුලත් ලෙස හඳුන්වන බොහෝ දෙනා කුඩා අවධියේ දී සෙල්ලම් කිරීමට ගන්නා වතුර ගස් ආහාරයට ගන්නා බව ඔබ දන්නවාද?. එසේ අපේ ගෙමිදුලෙන් ම පහසුවෙන් සපයා ගත හැකි ආහාර වර්ග අප අවට ම පවතී.

ඔබ කොස් හෝ අල වර්ගයක් තම්බනවා නම් එදිනට උයන බත් ප්‍රමාණය අඩු කරන්න. නැතිනම් බත් අපතේ යා හැකියි. වෙනදාට වේලකට එළවළු මාළු වැඩි ප්‍රමාණයක් හැදුවත් දැන් එය පෝෂණ අවශ්‍යතාව ලැබෙන පරිදි කිහිපයකට අඩු කරන්න. එක් එළවළුවක්, බිත්තර, මස් හෝ මාළු, මැල්ලුමක් වේලකට හොඳින් ම සෑහේ.

පොල් සම්බෝලය අපේ බොහෝ දෙනෙක් එතරම් ගණන් නොගන්නා ආහාරයක් වුණත් එය අපට ලැබුණු ආශීර්වාදයකි. පොල් සුලබ අපේ රටේ පොල් සම්බෝල ආහාර වේලකට සැකසීම අසීරු නැත. පොල් සම්බෝලයක අපිට අවශ්‍ය වන බොහෝ පෝෂ්‍ය කොටස් ගැබ්ව පවතී. සුදු ලූනු බිකක්, ගම්මිරිස්, මිරිස්, ලූනු, කරපිංචා ඉත්තක්, ලුණු, දෙහි ඇඹුල් (තිබේ නම් උම්බලකඩ ස්වල්පයක්) යොදා සකසන පොල් සම්බෝලය සියලු රසින් මෙන්ම පෝෂ්‍ය ගුණයන්ගෙන් ද අනූන ය.

හාල් මැස්සන් සකසන විට ඔළු කඩා සුද්දකර ගැනීම සිදු කරයි. මෙහිදී හාල් මැස්සන්ගේ ඔළු කොටස් වෙනම එකතුකර සෝදා වේලා තබා ගැනීමෙන් තෙල් දැමීම්වලදී මෙන්ම පොල් සම්බෝල සැකසීමේ දී ද උම්බලකඩ වෙනුවට යොදා ගත හැකියි. පොල් සම්බෝලයට යෙදීමේදී මේ හාල්මැස්සන් ඔළු බැද කුඩුකර එයට එක් කළ හැකියි. වේලාව ඉතිරිකර ගැනීමට මෙලෙස පවිත්‍රකර බැදගත් හාල්මැස්සන් ඔළු කුඩුකර බෝතල්කර තැබීමෙන් අවශ්‍ය විටෙක භාවිතයට ගන්නත් පුළුවන්.

කිරි හොද්ද ඉතා වටිනා රසවත් ආහාරයක්. පොල් කිරි, උළුහාල්, රම්පෙ, කරපිංචා, අබ, තුනපහ, කහ, සුදු ලූනු, රතු ලූනු, සියඹලා යුෂ හෝ දෙහි යුෂ, ලුණු එකතුකර සකසන කිරි හොද්ද පෝෂ්‍ය ගුණයෙන්ද ඉහළ ය. ඉස්සර අපේ ඇත්තෝ බත්, ඉඳි ආප්ප ආදී ආහාර වර්ග සඳහා සකසා ගත්තේ කිරි හොද්දයි. ඉන් රසවත් බවත්, පෝෂණයත් හොඳින්ම ලැබිණි. එයට තවත් මැල්ලුමක්, මාළු/මස් හෝ කරවල බැදුමක් සමඟින් දහවල් වේලට වුවද රසවත් කෑම වේලක් සකස් කරගත හැකියි.

කිරි හොද්දක් සැකසීම සඳහා වැඩි වියදමක් නොයන නිසා එය අඩු වියදමකින් වැඩි පෝෂ්‍ය ගුණයක් ලබා ගත හැකි අරපිරිමැසුම්දායක ක්‍රමයකි.

ගස්ලබු ව්‍යාංජනය, ගස්ලබු මැල්ලුම, නමිනං ව්‍යාංජනය, ජම්බු ව්‍යාංජනය, කෝමාරිකා ව්‍යාංජනය, නෙල්ලි ව්‍යාංජනය ආදී බොහොමයක් වැඩියෙන් ආහාරයට ගැනීමට උනන්දු නොවන ආහාර වර්ග මේ එළවළු මිල අහස උසට නැග ඇති සමයේ ඔබේ ආර්ථික අපහසුතාවට සවියක් වේවි.

ඔබේ ගෙවත්තේ අලංකාරයට වවන මල් අතරට එළවළු පැළ කිහිපයක්, මිරිස් පැළ කිහිපයක් වවා ගැනීමෙන් මේ ආහාර අර්බුදයට කුඩා හෝ සහනයක් ලබා ගත හැකියි. ගෙවත්තක් නැති ඔබට කුඩා බඳුන් කිහිපයක හෝ මුගුණුවැන්න, ගොටුකොළ වැනි පලා කොළ වවා ගැනීමෙන් පිරිසුදුවට ඒවා ආහාරයට ගැනීමටත්, නිවෙසේ ආහාර වියදම අවම කරගැනීමටත් හැකි වේවි.

එමෙන්ම නිවෙසේ ගෙවත්තේ ඇති ආහාර වර්ග ඉතාමත් අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කිරීමෙන් ආහාර සුරක්ෂිතතාව ඇතිකර ගත හැකියි. කොස්, දෙල්, අඹ වැනි කාලයකට පමණක් ඇති ආහාර ද්‍රව්‍ය වියළා කල් තබා ගැනීමටත්, අඹ, දෙහි, බිලිං වැනි වර්ග ලුණු දමා කල් තබා ගැනීමටත් හැකියි. මෙලෙසින් වැඩියෙන් ඇති ආහාර වර්ග කල් තබා ගැනීමට කටයුතු කිරීමෙන් අපට තවත් මාස කිහිපයක් ආහාර පිළිබඳ සැක බිය නැතිව සිටින්නට පුළුවනි.

මේ කාලයේ දී අප සතුව පැවැති ආහාර පුරුදු හා රටාවන් මඳක් වෙනස්කර ගැනීමෙන් මේ අසීරු කාලය වැඩි අපහසුවකින් තොරව ගෙවා ගත හැකියි. එය පෞද්ගලිකව අපේ ආර්ථිකයට මෙන්ම වක්‍රාකාරයෙන් රටේ ආර්ථිකයට ද යහපත් වන්නකි.

අප සියලුදෙනා එක්ව මේ කාලය ඉතාමත් සකසුරුවමින් හා කල්පනාකාරීව ගෙවා දැමිය යුතු කාලයකි. එවිට උදාවන අනාගතය යහපත් එකක් කරගැනීමට හැකි වීම අනිවාර්ය ය.