ඕනම දේකට බොන පැරසිටමෝල් පෙත්තත් විස වෙන්න පුළුවන්

ලෝකයේ වඩාත් ම ජනප්‍රිය වේදනානාශකය පැරසිටමෝල්.
ජනවාරි 10, 2022

 

දිනපතා ම පැරසිටමෝල් පෙති ගත්තොත් හෘදයාබාධ, ආඝාතය සෑදීමේ අවදානම වැඩි වෙනවා වගේම අකාලයේ මිය යාමේ ඉඩත් වැඩි වෙනවා.

 

ලංකාවේ ඖෂධ විසවීම් අතරින් සියයට හැට පහක් පමණ පැරසිටමෝල් විසවීම්. දිනපතා පැරසිටමෝල් විසවී රෝහල්ගත වන්නන් සිටිනවා.

 

අධිකව පැරසිටමෝල් ජීර්ණය වූ විට සමහරුන්ගෙන් රෝග ලකුණු පෙන්නුම් කෙරෙන්නේ නැහැ. සමහරුන්ට සුළු වශයෙන් උදරාන්ත්‍රික රෝග ලකුණු ඇතිවෙනවා.

 

වැඩිහිටියකුට පැය 24 කදී එනම් දවසකදී මිලිග්‍රෑම් 500 පැරසිටමෝල් පෙති දෙක බැගින් හතර වරක් ගන්න පුළුවන්.

 

පුංචි වේදනාවකටත් ලැබෙන්නේ “ ඕකට පැරසිටමෝල් පෙත්තක් ගන්නකො “ යන උපදෙසයි. ඕනෑම වේදනාවකට පැරසිටමෝල් පෙත්තකින් සහනයක් ලැබුණත් හිතෙන හිතෙන වේලාවට කැමැති මාත්‍රාවලින් ගත්තොත් නම් ජීවිතය අනතුරේ.

ඖෂධ ශාලාවලින් කිසිදු තහංචියක් නැතිව හරිම පහසුවෙන් කැක්කුම්, වේදනා පමණක් නොව උණ පාලනය කිරීමට ද පැරසිටමෝල් පෙති / කරල් මිලදී ගන්න පුළුවන්. අහිංසක ඖෂධයක් ලෙසින් පෙනුණත් නියමිත මාත්‍රාවට නියමිත වාර ගණනට නො ගත්තොත් නම් මරු දකින්නත් ඉඩ තියෙනවා.

සාමාන්‍යයෙන් වරකට මිලිග්‍රෑම් 500 ක පෙති හෝ කරල් වශයෙන් මේ වේදනානාශකය අරගන්නවා. වේදනානාශකය ගෙන පැයකින් පමණ වේදනාව සමනයට පත් වෙනවා.

 

පැරසිටමෝල් ගත් කාල සීමාවේදී පැරසිටමෝල් අඩංගු වෙනත් ඖෂධයක් නො ගත යුතුයි. මේවා ආහාර සමඟ හෝ ආහාර නැතිව ගැනීම ට පුළුවන්.

පැරසිටමෝල් මාත්‍රා දෙකක් අතර පරතරය අඩු වශයෙන් පැය හතරක් විය යුතුයි. එනම් එක් මාත්‍රාවක් ගෙන පැය හතරක් යන තුරු තවත් මාත්‍රාවක් ගැනීම සුදුසු නැහැ. වැඩිහිටියකු දිනකට මිලිග්‍රෑම් 500 පැරසිටමෝල් පෙති අටක ට වඩා ගැනීම හානිකරයි. වෛද්‍ය උපදේශයකින් තොරව දින තුනකට වඩා කාලයක් දිනකට පෙති අට බැගින් ගැනීම සුදුසු නැහැ. දිගින් දිගට ම පැරසිටමෝල් ගන්නවා නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුමයි. වෙනත් වේදනානාශක සමඟ ද පැරසිටමෝල් ගත හැකියි. එහෙත් ඒ ගන්නා කිසිදු වේදනානාශකයක පැරසිටමෝල් අඩංගු වී නො තිබිය යුතුයි. (උණට සෙම්ප්‍රතිෂ්‍යාවට මිග්‍රේන්වලට කැස්සට දෙන ඖෂධ ගණනාවක පැරසිටමෝල් අඩංගුයි.) අනෙක් පෙතිවල හෝ වේදනානාශකවල හෝ පැරසිටමෝල් තිබුණොත් අධිමාත්‍රාවක් ශරීරගත වීමට පුළුවන්. පෙති, කරල්, සිරප්, දියවෙන පෙති වශයෙන් විවිධාකාරයෙන් පැරසිටමෝල් ලබා ගන්න පුළුවන් නිසා මාත්‍රාව ගැන විමසිලිමත් වීම ඉතා වැදගත්.

රුධිරය තුනී වන ඖෂධ ගන්නවා නම් දිගට ම පැරසිටමෝල් ගැනීමෙන් රුධිර වහනය වීමේ අවදාන ම වැඩිවෙනවා.

කෝකටත් තෛලයක් ලෙසින් ප්‍රසිද්ධවී තිබුණත් මෙන්න මේ අය පැරසිටමෝල් ගත යුත්තේ වෛද්‍ය උපදෙස් අනුවයි.

 

* පැරසිටමෝල් හෝ වෙනත් වේදනානාශකයක ට අසාත්මික නම්

 

 *අක්මා හෝ වකුගඩු ආබාධ ඇත්නම්

 *පමණ ඉක්මවා මත් වතුර පානය කරනවා නම්

 

 *අපස්මාරය ට ඖෂධ ගන්නවා නම්

 

 +ක්ෂය රෝගයට ඖෂධ ගන්නවා නම්

 

 *රුධිරය තුනී කරන ඔසු ගන්නවා නම්

 

වැඩිපුර එනම් අධි මාත්‍රාවෙන් පැරසිටමෝල් ගැනීම අහිතකර වුණත් නියමිත මාත්‍රාෙවන් ගැනීමෙන් අතුරු ආබාධ ඇතිවන්නේ නම් කලාතුරකින්. මේ වේදනානාශකයට කෙනකු අසාත්මිකතාවන් ඇති වන්නේ ඉතා කලාතුරකින්.

 

උපදෙස් - මහාචාර්ය ‍විශේෂඥ වෛද්‍ය

ප්‍රියදර්ශනී ගලප්පත්ති

ප්‍රජා වෛද්‍ය විශේෂඥ

දිමුතු ධර්මවර්ධන