අන්තර්ජාලයේ වැරැදි තොරතුරු නිසා අතරමං වෙන්න එපා

ජනවාරි 17, 2022

මේ දිනවල කවුරුත් කතා කරන්නේ කෝවිඩ් - 19 ට ලබා දෙන බූස්ටර් එන්නත ගැනයි. සමහරු හරිම උනන්දුවෙන් බූස්ටර් එන්නත ලබා ගනිද්දී තවත් අය එන්නත ගැනීමට අදිමදි කරනවා. වෛද්‍ය උපදෙස්, අන්තර්ජාලයේ පුවත්, මිතුරන් ලබා දෙන තොරතුරු අතර අතරමං වී බූස්ටර් එන්නත (වර්ධක එන්නත) ගන්නවාද නො ගන්නවාද කියා දෙලොවක් අතර තනිවෙනවා.

ලොව වඩාත් ම කතා බහට ලක්වූ මාතෘකාවක් බවට කෝවිඩ් - 19 බූස්ටර් එන්නත පත් වුවත් රෝග ගණනාවකට ම බූස්ටර් එන්නත ලබා දෙනවා.

ජීවිතයේ සෑම‍ වයසකදීම බූස්ටර් එන්නත් ලබා ගැනීමට සිදු වෙනවා. ළදරුවකු, ගැටවරයකු වාගේම වැඩිහිටියකු ලෙසින් ද අප කී වරක් නම් බූස්ටර් එන්නත ලබා ගෙන තිබෙනවාද ? එන්නතක අඩංගු වන්නේ දුර්වල කරන ලද බැක්ටීරියාව හෝ වෛරසයක් එසේත් නැත්නම් විසබීජයේ කොටසක්. එය ශරීරගත කළ පසු සැබෑවට ම රෝග බීජය ශරීර ගතවූ විටදී මෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඊට එරෙහිව සටන් කරනවා. එපමණක් නොව රෝගයට හේතුවූ විසබීජය මතක තබාගෙන යළි ඒ විසබීජය ඇතුළු වුවහොත් විනාශ කිරීම සඳහා ප්‍රතිදේහ සෑදෙනවා. බූස්ටර් නැත්නම් වර්ධක එන්නතින් වයිරසය / බැක්ටීරියාව හෝ ක්ෂුද්‍රජීවියා හඳුනා ගෙන ඊට ප්‍රහාර එල්ල කරන්න පුරුදු කරනවා. එන්නත් වර්ගය අනුව බූස්ටර් එන්නත ලබා දෙන කාල සීමාව වෙනස් වෙනවා. එය පළමු මාත්‍රාව ලබා ගෙන සති කිහිපයකට පසුව හෝ මාස කිහිපයකට පසුව හෝ වසර ගණනාවකට පසුව ලබා ගැනීමට සිදුවන්න පුළුවන්.

ළමා වියේදී මාපියන් නියමිත එන්නත් මාත්‍රා අකුරට ම ලබා දෙනවා. ඒත් වැඩිහිටි වියේදී නම් අවශ්‍ය එන්නත් මාත්‍රා ලබා ගැනීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ.

දියුණු රටවල පිටගැස්ම, ගලපටලය, කක්කල් කැස්සට Tdap එන්නත දස වසරකට වරක් පමණ ලබා ගන්නවා.

සුනඛයකු සපා කෑවිට තුවාලයේ තරම, සතා කෑ ස්ථානය අනුව ජලභීතිකා එන්නත ලබා දෙනවා වාගේම පිටගැස්ම එන්නත ලබා දීමට ද වෛද්‍යවරයා අමතක කරන්නේ හැහැ. පිටගැස්ම පළමු එන්නත ලබාදී දෙවැනි තෙවැනි එන්නත් සඳහා දින නියම කරනවා. එන්නත් තුනම ලබා ගත්තොත් වසර පහක් යනතුරු පිටගැස්මෙන් ආරක්ෂාවක් ලැබෙනවා. එහෙත් වැඩි දෙනෙක් එක් මාත්‍රාවක් පමණක් ලබා ගෙන ඉතිරි එන්නත් මාත්‍රා අමතක කරනවා. තුවාලයකින්, සීරීමකින්, සත්ව සපා කෑමකින් පිටගැස්ම විසබීජය (මෙය බැක්ටීරියාවක්) ශරීරගත වීමට පුළුවන්. රෝගය වැලඳුණු පස්දෙනකුගෙන් එක් අයකු පමණ මිය යනවා. පිටගැස්ම ඒ තරමට දරුණුයි. බැක්ටීරියාව නිසා මාංසපේශීන් දැඩීවී, හකු හා ගෙල පෙදෙසේ වේදනාකාරී තත්ත්වයන් හටගෙන හකු සොලවන්නවත් බැරි තත්ත්වයක් උදා වෙනවා. රෝගය උග්‍ර වූ විට අධි රුධිර පීඩනය, අඩු රුධිර පීඩනය, හදවත වේගයෙන් ස්පන්දනය වීම, උණ, අධික ලෙස දහදිය දැමීම වැනි ලකුණු ඇති වෙනවා. පිටගැස්ම බූස්ටර් එන්නත දස වසරකට වරක් ලබා ගන්නා දියුණු රටවල පිටගැස්මෙන් කෙනකු මිය යන්නේ ම නැති තරම්.

කෝවිඩ් - 19 ට පෙර ලොව ම වැඩිපුර කතා වුණු වෛරස් රෝගය ඉන්ෆ්ලුවෙන්සාවයි. වැඩිහිටියන් වසරකට වරක් ඉන්ෆ්ලුවෙන්සාව (ෆ්ලූ) සඳහා බූස්ටර් එන්නත ලබා ගන්නවා.

පැපොල නව කොරෝනා වයිරසය වාගේ ම වැඩිහිටියන් ට දරුණු ලෙසින් බලපාන රෝගයක්. පැපොල එන්නත ලබා ගැනීම නිසා අමෙරිකාව වැනි රටවල රෝගයට ගොදුරු වන්නන් අඩුයි.

වැඩිහිටියකුට එක් එන්නතක් ලබා ගෙන දින 28 කට පසුව දෙවැනි මාත්‍රාව ලබා ගන්න පුළුවන්. පැපොල එන්නත සෑම වැඩිහිටියකු ම වාගේ ලබාගත යුතු එන්නතක්. මේ එන්නත ගෙන මාසයක් යනතුරු ගැබ් ගැනීම සුදුසු නැහැ. පිළිකා රෝගීන් ද එන්නත ගැනීමෙන් වැළකී සිටිය යුතුයි.

අලුත්ම බූස්ටර් එන්නත කෝවිඩ් - 19 ට එරෙහිව ගන්නා තෙවැනි එන්නතයි.

එය වයස විස්සට වැඩි ඕනෑම කෙනකුට ලබාගත හැකියි. වයස හැටට වැඩි සියල්ලන් ම වාගේ ලබාගත යුතු එන්නතක් ලෙස කෝවිඩ් බූස්ටර් එන්නත නිර්දේශකර තිබෙනවා.

පළමු හා දෙවැනි එන්නත් මාත්‍රා ගැනීමට දැක්වූ උනන්දුව බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රාව ගැනීමේදී වැඩි දෙනකුගෙන් ගිලිහිලා. නිවෙසේ වැඩිහිටියන් බෝවන රෝග එකකින් හෝ කීපයකින් පීඩා විඳීම පළමු එන්නත විඳීමට බාධාවක්කර නොගත්තත් එය බූස්ටර් එන්නත දීමට සමහරු බාධාවක් කරගෙන. වැඩිහිටියන් ට ලෙඩ වැඩිවන තරමට බූස්ටර් එන්නත ලබා දීමේ වැදගත්කම වැඩියි. ලෙඩ ගණන වැඩිවන තරමට ඔවුන්ට කෝවිඩ් - 19 වැලඳුණොත් බරපතළ ලෙස වෙනවා. මිය යාමේ අවදානම ඉහළ යනවා. පළමු හා දෙවැනි එන්නත් ගෙන මාස හයකින් පසු ප්‍රතිශක්තිය හීන වෙනවා. ඒ නිසා ඉක්මනින් පැතිරෙන කෝවිඩ් ප්‍රභේදයන්ගෙන් වැඩි හානිය සිදුවන්නේ වැඩිහිටි ප්‍රජාවටයි.

ලොව කිසිදු එන්නතක් සංකූලතාවන්ගෙන් තොරයි කීමට බැහැ. එහෙත් අප සිතිය යුත්තේ සංකූලතාවලට වඩා යහපත් ප්‍රතිඵල ගැනයි.

 

 

උපදෙස් - රුහුණු වෛද්‍ය පීඨයේ කායක රෝග පිළිබඳ මහාචාර්ය, ශ්‍රී ලංකා වෘද්ධ සංගමයේ සභාපති වෛද්‍ය

සරත් ලේකම්වසම්