මී උණ රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි

පරිස්සමින් කටයුතු කර ජීවිත ආරක්ෂාව සලසාගන්න
ජූලි 11, 2022

 

පුරන් වූ කුඹුරු සහ වගා භූමි යළි අස්වැද්දීම සඳහා ශ්‍රී ලාංකේය ජනතාව මේ දිනවල දැඩි උනන්දුවක් දක්වති. මීට අමතරව පසුගිය සති කිහිපය පුරාවටම ලැබුණු අධික වර්ෂාව සහ විටින් විට ඇති වුන ජල ගැලීම් ද හේතුවෙන් ජල මූලාශ්‍රවලට සහ ජලය එකතු වූ ස්ථානවලට මිනිසුන් නිරාවරණය වීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙලෙස ජලය එක්රැස් වන ස්ථාන මීයන්ගේ මුත්‍රා මඟින් අපවිත්‍ර වී ඒ හරහා සම්ප්‍රේෂණය වන ලෙප්ටොස්පයිරෝසිස් (මී උණ) නමැති ආසාදන තත්ත්වය ඇති කරන බැක්ටීරියාව ඉතා ඉක්මනින් පැතිර යෑම ආරම්භ වී ඇත. මේ අවස්ථාව වනවිට රෝහල්වලට වාර්තාවන මී උණ සහිත රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.

 

 

 

මෙවැනි පසුබිමක් යටතේ, මේ රෝගය සම්ප්‍රේෂණය විය හැකි ආකාරය සහ ඉන් වැළකී සිටීමට අප කළ යුත්තේ කුමක්ද පිළිබඳෙ විමසා බැලීම ඉතාමත් වැදගත්.

 

කොහොමද පරිස්සම් වෙන්නේ?

මී උණ හෙවත් ලෙප්ටෝස්පයිරෝසිස් ‘leptospirosis' රෝගය මීයන්, ගවයන් සහ මී ගවයන් වැනි සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි රෝගී තත්ත්වයකි. මේ රෝගයම ‘වෙල් උණ, පතල් උණ' යනුවෙන් ද හඳුන්වනු ලැබේ. මීයන් හෝ වෙනත් සතකුගේ ශරීරයේ ඇති මේ බැක්ටීරියාව ඔවුන්ගේ මුත්‍ර මඟින් ජලයට එකතු වේ. ඒ අනුව කුඹුරු, දියකඩිති, ඇළ මාර්ග, කාණු, පතල්වල ජලයට මේ බැක්ටීරියාව එකතු වී රැඳී තිබිය හැකියි.

ඉහතින් සඳහන් කළ ජලය රැඳෙන ස්ථානවලට එකතු වන බැක්ටීරියාව ශරීරයේ කැපීම්, සීරීම්, තුවාල හෝ ශ්ලේෂ්මල පටල (ඇස්, මුඛය, ලිංගාශ්‍රිත ප්‍රදේශ) හරහා ද මිනිසාගේ සිරුරට ඇතුළු විය හැකියි. මේ ආසාදන තත්ත්වය අක්මාව/වකුගඩු වැනි අභ්‍යන්තර අවයවයන්ට හානි සිදුකළ හැකි අතර මෙනින්ජයිටීස් තත්ත්වයන්වලට ද හේතු විය හැකියි.

 

රෝග ලක්ෂණ

 

සාමාන්‍යයෙන් බැක්ටීරියාව ශරීර ගත වී දින 02ත් 14ත් අතර කාලයක දී පහත සඳහන් රෝග ලක්ෂණ මතුවිය හැකියි.

 

♦ උණ

♦ මස් පිඬු වේදනාව

♦ ඇස් රතු වීම

♦ හිසරදය

♦ මුත්‍රා කහ පැහැ වීම

♦ මුත්‍රා යාම අඩු වීම

♦ වමනය

♦ සිරුරේ අප්‍රාණිකත්වය

 

මී උණ රෝගය වැලඳුණ පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට රෝගය බෝ නොවේ.

 

මී උණ මාරාන්තිකද?

 

නිසි කලට නොපමාව ප්‍රතිකාර නො ගතහොත් රෝගය උත්සන්න වී මරණය පවා සිදු විය හැකියි. මේ රෝග කාරකයට සිරුරේ ඇති සියලුම ඉන්ද්‍රිය පද්ධතිවලට හානි කිරීමට හැකියි. විශේෂයෙන් වකුගඩු, අක්මාව, පෙනහලු සහ හෘදය අකර්මණ්‍ය කරයි.

 

මී උණෙන් වැළකී සිටීමට

නම්....

 

♦ කුඹුරු, වගුරු බිම්, ඇළවල්, කාණු සහ පතල් ආශ්‍රිත රැකියාවල නියැළෙන පුද්ගලයන්ට මෙන්ම ගං වතුර වැනි තත්ත්වයන්ට මුහුණ දෙන අයටත් රෝගය වැලඳීමේ අවදානම ඉතා ඉහළයි. එවැනි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැළකීම පිළිබඳ දැන්වත් වී සිටිය යුතු වේ.

♦ මී උණ යැයි සැක කළ හැකි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

♦ තුවාල, සීරීම් ඇත්නම් අපවිත්‍ර ජලයට බැසීමෙන් වළකින්න. නො එසේනම් එම තුවාල මනාව ආවරණය කර ගැනීමට උනන්දු වන්න.

♦ කුඹුරු ආශ්‍රිතව වැඩ කිරීමට ප්‍රථම රෝගය වැළැක්වීමට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබා ගන්න.

♦ මී උණ වළකන ප්‍රතිජීවක ඖෂධ නිසි කලට සේම නිසි මාත්‍රාව ලබා ගැනීම කෙරෙහි සැලකිලිමත් වන්න.

♦ ගං වතුර වැනි ආපදා තත්ත්ව පවතින කාල වකවානුවල දී ද රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අමතක නො කරන්න.

♦ විශේෂයෙන් කුඹුරු අවට ඇති කුඩා දිය කඩිතිවල මසුන් ඇල්ලීමේ දී හෝ දිය නෑමෙන්/ඇඟ සේදීමෙන් පසු වුවද රෝග ලක්ෂණ මතු වේ නම් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත් .

 

මේ අවදානම ගැන දැනුවත් වූ ඔබ, ඔබගේ හිතවතුන් අතරත් මේ දැනුම බෙදා හදාගෙන, හැකි උපරිමයෙන් මී උණ තත්ත්වය වළක්වා ගැනීමට උත්සුක වන්න. විශේෂයෙන් ම මේ අර්බුදකාරී වාතාවරණය අතරතුර මෙවන් සෞඛ්‍ය ගැටලු හැකිතාක් වළක්වා ගැනීමේ වැදගත්කම මෙන්ම සංකූලතාවන් ඇති නොවන පරිදි ප්‍රතිකාරවලට කඩිනමින් යොමු වීමේ අවශ්‍යතාවත් වටහාගෙන කටයුතු කරන්නේ නම් ඔබෙත්, ඔබේ පවුලේ සාමාජිකයන්ගේත්, අසල්වැසියන්ගේත් ජීවිත ආරක්ෂා වනු ඇත.

 

තොරතුරු ලබාගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශ ෆේස්බුක් පිටුවෙනි