සැලකිල්ල ජීවිත රැකදෙයි එන්නත ඔබේ ආරක්ෂාව සඳහායි

අගෝස්තු 22, 2022

 

වසංගත රෝග පැතිර යාමේ අඩුවක් කවදාවත්, දක්නට නැති තරම්. මේ දිනවල වැඩිම අවදානමක් තිබෙන්නේ කෝවිඩ් සහ ඩෙංගු සම්බන්ධයෙනි. මීට සති කිහිපයකට පෙර ඉන්ෆුලුවන්සා තත්ත්වය ද බහුලව ම දක්නට ලැබිණි.

කෝවිඩ්වල පැතිර යෑම ගෝලීයව ම වැඩි වී ඇති අතර ඊට සාපේක්ෂව අපේ රටේ ද දෛනිකව වාර්තාවන කෝවිඩ් රෝගීන් සහ කෝවිඩ් මරණ ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන්නට පටන්ගෙන තිබේ.

වැඩිහිටියන් අතර මේ රෝගී තත්ත්වය වැඩිවනවා යනු වැඩිහිටියන්ගෙන් බෝ වී නිසැකවම දරුවන් අතර ද ව්‍යාප්ත වන බවයි. උණ, කැස්ස, හෙම්බිරිස්සාව පවුලේ සාමාජිකයන් අතර ඇත්නම් අඩුම තරමේ එක් අයෙක් හෝ කෝවිඩ් සඳහා වන පී.සී.ආර්. පරීක්ෂණයක් කරගත යුතුයි.

ඔමික්‍රෝන්වල අලුත්ම ප්‍රභේදයක් මෙසේ ගෝලීයව පැතිර යද්දී ශ්‍රී ලංකාවේ පැතිර යනුයේ එම ප්‍රභේදයම දැයි තවමත් නිශ්චිතව තහවුරු වී නැත. අලුත් ප්‍රභේදය වේවා පෙර පැවැති ප්‍රභේදයක් වේවා කෝවිඩ් පැතිර යන බව නම් අවධාරණය කළ යුතු ම වේ.

කෝවිඩ් සම්බන්ධයෙන් පරීක්ෂාවක් කිරීමට කා අතරත් පෙර පැවති උනන්දුව නොමැති තරම්. එහෙත් නිදන්ගත රෝග ඇති අයගේ ජීවිතවලට තර්ජනයක් වීම සහ අතුරු ආබාධ සම්බන්ධයෙන් වන අනතුරු ඇඟවීම් පෙර සේම පවතින බව අමතක කළ යුතු නොවේ.

පරීක්ෂා කිරීමෙන් අනතුරුව අඩුම තරමේ දින 5,6ක් නිවෙසේ රැඳී විවේකය ලබමින් උණ ඇත්නම් පැරසිටමෝල් අදාළ මාත්‍රාවන් පැය 6න් 6ට ලබා ගනිමින් සිටිය යුතු වේ.

මුඛ ආවරණ භාවිතයෙන් අපට කොහෙත් ම බැහැරව සිටීමට නොහැකි වේ. කෝවිඩ් අවදානම තරමක් අඩු වෙද්දී මුඛ ආවරණ භාවිතයෙන් ඈත් වූ පිරිස්, දැන් දැන් රෝග ව්‍යාප්තිය වැඩි වූවා කියා නැවත පෙර පරිදි ම මුඛ ආවරණ පැලඳීමට සූදානමක් නොමැති බවක් හැඟී යයි. විශේෂයෙන් ම පොදු ප්‍රවාහනය භාවිතයේ දී පොදු ස්ථානවල ගැවසීමේ දී රෝහල්වල දී දෙවරක් නොසිතා ම මුඛ ආවරණ පැලඳීමට උනන්දුවන්න.

ආර්ථික තත්ත්වය කඩා වැටෙමින් තිබිය දී රෝහල්වල ඖෂධ හිඟයක් පවතිද්දී කෝවිඩ් රැල්ලකුත් පැමිණියහොත් බොහෝ අපහසුතාවන්ට මුහුණ දෙන්නට සිදු වේවි. පෙර පරිදිම රෝහල්වල අසීමිත තදබදයක් ඇති වේවි. ඔක්සිජන් අවශ්‍යතාව දැඩි ලෙස දැනේවි. නියුමෝනියා තත්ත්වය නිසා කෝවිඩ් බිල්ලක් බවටත් පත්වන්නට පුළුවනි.

රෝග ලක්ෂණ ඇත්නම් දරුවන් පාසල්, පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට දින කිහිපයක් හෝ යැවීමෙන් වළකින්න. වැඩිහිටියන් රැකියාවලට නොයා නිවෙසේ රැඳෙන්න. ආත්මාර්ථකාමී ලෙස හැසිරීම සමස්ත සමාජයට ම තර්ජනයක් බව සිතට ගන්න.

කෝවිඩ් හා ඉන්ෆුලුවන්සාවල රෝග ලක්ෂණ බොහෝවිට එක හා සමාන නිසා වෙන්කොට හඳුනා ගැනීමට නම් රසායනාගාර පරීක්ෂාවන් කරන්නට ම සිදු වේවි. දරුවන් අතර කෝවිඩ් පරීක්ෂාවන් අවම වශයෙන් සිදුවන නිසා නිශ්චිත නිගමනයන්ට එළඹිය නොහැකි වේ. රෝහල්ගත වුවහොත් නම් නිසැකව ම පරීක්ෂාවන් සිදු වේවි. වැඩිහිටියන් කෝවිඩ් එන්නත් සියල්ල ම පාහේ ලබා ගැනීමට උනන්දුවන්න. මේ දිනවල අවුරුදු 20ට වැඩි අයට හතරවන එන්නත ද ලබා දෙන නිසා එය ලබා ගැනීමට නොපැකිළෙන්න. එන්නත ලබා ගත්, නොගත් සියලුදෙනාටම කෝවිඩ් වැලඳිය හැකි මුත් එන්නත ලබා ගත් කෙනකුට යම් තරමකට සංකූලතාවන්ගෙන් ඈත්වන්නට පුළුවනි. ඉන්ෆුලුවන්සා තත්ත්වය වඩාත් දරුණු වුවහොත් මොළයට පවා බලපෑම් ඇති කිරීමට, තද නියුමෝනියා තත්ත්වයන් මෙන්ම මරණ පවා ඇතිවිය හැකි බව අවධාරණය කළ යුතු වේ.

ඉන්ෆුලුවන්සා

ඉන්ෆුලුවන්සා තත්ත්වය වැඩි වද්දී විදෙස් රටවල නම් සීත කාලය ආරම්භවත් ම ඒ සඳහා වන එන්නත දීම අරඹයි. වයස අවුරුදු එකෙන් ඉහළ ළදරුවන්ගේ පටන් ලබාදෙන මෙම එන්නත අපේ රටේ රජයේ රෝහල්වලින් ලබා ගත නො හැකියි.

ඩෙංගු

ඩෙංගු රෝගයේ දී හැකි උපරිමයෙන් උත්සාහගත යුතුවන්නේ එය වළක්වා ගැනීමට යි. මන්ද ඩෙංගු සඳහා තවමත් එන්නතක් නොමැත. ඒ සඳහා එන්නතක් නිපදවීම පිළිබඳ පරීක්ෂණ තවමත් සිදු කෙරෙමින් පවතී. උණ, ඇස් යට කැක්කුම, හන්දි කැක්කුම, දැඩි හිසරදය වැනි රෝග ලක්ෂණවලින් යුතු ඩෙංගු රෝගයේ දී බාල, තරුණ, මහලු කාටත් ඇඳ විවේකය අත්‍යවශ්‍ය වේ. සිරුර වෙහෙසවන තරමට සංකූලතාවන් ද වැඩි වේ.

ඩෙංගු රෝගියකුට දෂ්ට කළ මදුරුවෙක් නීරෝගි අයකු දෂ්ට කළහොත් පහසුවෙන් ම ඩෙංගු රෝගය බෝවිය හැකි නිසා අවට පරිසරය පිළිබඳ සැලකිලිමත් වෙමින් සිටීම අතිශය වැදගත් වේ. ඩෙංගු මදුරුවා බෝවන ස්ථාන අවම කරගැනීම මෙහිදී කළ යුතුම වේ. සාමාන්‍ය වෛරස් උණක්, රක්තපාත තත්ත්වය, කම්පන තත්ත්වය වැනි අවස්ථා කිහිපයක දී දැකීම සුළු කොට තැකිය හැකි නොවේ. දින 3කට වඩා පවතින උණක දී වෛද්‍ය උපදෙස් අනුව Full blood count එකක් හෝ අඩුම තරමේ සිදු කිරීම හොඳයි. දරුවන්ගේ රුධිර පට්ටිකා (Platlet) 150000ට වඩා අඩු වේ. නැතිනම් දියර ජාති හොඳින් පානය කරන්නේ ද මුත්‍රා ප්‍රමාණවත් පරිදි පිටවන්නේ ද යන්න පිළිබඳ සැලකිලිමත් වන්න. දින තුනකට අඩු කාලයක දී වුවත් දියර වර්ග බීම, මුත්‍රා පිටවීම නිසිලෙස සිදු නොවන්නේ නම් රෝහලක් කරා යෑම නුවණැති ක්‍රියාවකි.

 

උපදෙස් -

ළමා රෝග විශේෂඥ

වෛද්‍ය දීපාල් පෙරේරා