නීරෝගිකමේ දොරටු විවර කරගන්න දේශීයත්වයේ යතුර අතට ගන්න

සැප්තැම්බර් 19, 2022

 

'දේශීයත්වය' යන වචනය නෙත ගැටුණු විගසම වර්තමානයේ ජීවත්වෙන අපේ හිතට එක්වරම නැෙඟන්නේ ප්‍රශ්නාර්ථයකි. අපේකම සමඟ සම්මිශ්‍රණය වූ දේශීයත්වය අඩකටත් වඩා අපෙන් ගිලිහී යාම එයට හේතුවයි.

අප පරිහරණය කරන කුඩාම ද්‍රව්‍යයේ සිට ආහාර, හුරුපුරුදු, ඇවතුම් පැවතුම්, ජීවන රටාව ආදී මේ සියල්ලක්ම කෘත්‍රිමකරණයට ලක් වී ඇති කාලයක දේශීයත්වය යන්න සවනට නුහුරු වචනයක් වීම අරුමයක් නොවේ.

අතීත මිනිසාගේ ජීවන ගමන් සගයා වූයේ සොබාදහම වුවත් වර්තමානය නම් ඊට හාත්පසින්ම වෙනස් ය. නිරන්තරයෙන් අපට අසන්නට දකින්නට ලැබෙන දෑ අනුව පෙනී යන්නේ වර්තමානයේ අයිතිකරුවන් වන අප හා සොබාදහම අතර ඇති බැඳීම කල් ඉකුත් වී ඇති හැඩකි.

නීරෝගි ජීවිතයක සුවය අත්විඳිමින් අතීතයෙන් අපේ පැරැන්නෝ කැටිකරගෙන ආ දේශීයත්වය හා අපේකම බහාලූ පන් මල්ලකි. වර්තමානයේ එය බොහෝ සෙයින් දිරාපත් වී සැදී ඇත්තා වූ විශාල ප්‍රමාණයේ සිදුරුවලින් යළි ප්‍රතිසංස්කරණය කළ නොහැකි ආකාරයෙන්ම දේශීයත්වය තැන තැන විසිරී ගොස් අවසානය.

මුදල් පසුපස

 

කාර්මීකරණයෙන් පසුව නෝට්ටුවට හිමි වූ වටිනාකමත් සමඟ ළෙන්ගතු වූ නූතන අපි මුදල් පසුපස හඹා යාමත් , වර්තමාන සමාජය තුළ පවතින තරගකාරී ජීවන රටාවත්, අධික කාර්යබහුලත්වයත් යන හේතුන් නිසාවෙන්ම දේශීයත්වය අපෙන් ගිලිහී ගොස් අවසානය. එහෙයින් අතීතයෙන් උරුම වූ පිරිසුදු දේශීයත්වය වෙනුවට අද ඇත්තේ කෘත්‍රිමත්වය කලවම් වූ දෙමුහුම් ජීවන රටාවකි.

වර්තමාන ජීවන රටාවත් සමඟ සටන් කරන අපි අපේම පහසුව වෙනුවෙන් අපිටම ආවේණික වූ අපේ ඇවතුම් පැවතුම්, සිරිත් විරිත්, ආහාර රටාවන් ආදිය මෙන්ම අපිටම ආවේණික වූ සංස්කෘතිය ද ටිකෙන් ටික ඈත් ක ෙළමු. සුවපහසුව සඳහා ශීත කාමර තනා ගනිමින් හිරු එළිය ද අමතක ක ෙළමු. වනාන්තර විනාශ කරමින් පස, වෘක්ෂලතාවන් සේම අපේකමට පණ දුන් රෝග සුවපත් කළ හෙළ ඔසු රාශියක් ද අනතුරේ හෙළිමු. වගාවන්ට හිතකර පස සාරවත් කරන පාංශු ජීවීන් ඇතුළු බොහෝ ජීවීන් විනාශ මුඛයට ඇද දැම්ෙමමු. තවද වගාවන් සඳහා වූ කෘත්‍රිම පොහොර වර්ග, කෘමිනාශක වර්ග පසට මුසු කරන්නට යුහුසුළු වීමු.

Bed Tea

 

දේශීයත්වයේ අගය දන්නා අපේ පැරැන්නෝ උදෑසන පිබිදුණු විගස කිතුල් හකුරු කෑල්ලක් සමඟ කොළ කැඳ වීදුරුවක් පානය කරමින් දවස පටන් ගන්නට හුරුව සිටියහ. එයින් නීරෝගි ජීවිතයකට වරප්‍රසාද ලැබූහ. එහෙත් දේශීයත්වය ගිලිහී යමින් පවතින වර්තමානය නම් බලා සිටින්නේ උදෑසන දෑස් විවර කරන විටම සයනයට නුදුරින් ස්ථාන ගැන්වූ මේසය මත ඇති Bed Tea එක නමින් හඳුන්වන්නා වූ රෝගවලින් සැදුම්ලත් කෘත්‍රිම දියරයක් පානය කිරීමටය. එය පානය කර ගිලන් සිරුරකට මඟ සලසා ගන්නටය. මාරයාගේ ලෝකයට ඉක්මනින් ප්‍රවේශ පත් ලබා ගන්නටය.

කාර්මීකරණයත් සමඟ අතීතය මුළුමනින්ම අමතක කර මුදල් පසුපස පමණක් හඹා ගොස් කෘත්‍රිමත්වය අභියස නැවතුණු අපිට දේශීයත්වය යන්න විටෙක මහා විහිළුවකි. එහෙත් ගෙවීගෙන ආ මෑත අතීතයේ පැවති කොරෝනා ව යිරසය වටා ගෙතුණු සිදුවීම් රාමුවත් සමඟ නම් දේශීයත්වය මිල කළ නොහැකි ඔසුවකි.

පෝෂණය පසෙකලා පහසුව

 

කාර්යබහුලත්වය පිරුණු නොසැලකිලිමත් ජීවන රටාව නිසාම අපි ආහාර පිළියෙල කිරීමේ දී පෝෂණ ගුණය පසෙකලා ඉක්මන සහ සාදා ගැනීමේ පහසුව පිළිබඳ පමණක් සිතන්නට පුරුදුව සිටිමු. දේශීය රසකාරක වෙනුවට කෘත්‍රිමව ආහාර රස කරන්නට වර්තමාන ගෘහිණියෝ පුරුදුව සිටිති. කෘත්‍රිමත්වය සිත කොතරම් ආක්‍රමණය කර ඇත්දැයි කිවහොත් ස්වාභාවිකත්වයෙන් පිරි ගුණදායක පොලොස් ඇඹුලට පවා කෘත්‍රිම රසකාරක එකතු කරන්නට ගෘහිණියෝ පසුබට නොවෙති.

කෘත්‍රිමව සාදා පැකට් කළ ආහාර විනාඩි කිහිපයකින් පිස ගන්නට වයස් භේදයකින් තොරව අපි සියලු දෙනා හුරුව සිටින්ෙනමු. දේශීය ආහාර කල්තබා ගන්නටත් කෘත්‍රිම රසකාරක එකතු කරයි. නැවුම් ආහාර වෙනුවට සති මාස ගණන් ශීතකරයේ දිවි ගෙවූ ආහාර පරිභෝජනය කරන්නට ද අපි පසුබට නොවෙමු. එහෙයින් මේ සියල්ල එකට කැටිකර ගත්කල දේශීයත්වය විවිධ වූ අංශයන් සමඟ මුසු වෙමින් නව්‍යකරණය වී ඇත. එහෙත් එය වර්තමාන හා අනාගත පරපුර තුළ ධාරානිපාත සුළි කුණාටුවක් ඇතිකරවන්නට සමත් වී ඇති බව නම් සාක්ෂි සහිතවම අපේ දෑස් ඉදිරිපිට පෙනෙන්නට ඇත.

ඉතින් සොබාදහම, සංස්කෘතිය හා දේශීයත්වය නම් වූ අපේකම කැටිව ඇති අංගයන්ට වර්තමාන පරපුරට හිමිකම් කියන අප විසින් නැවත පණ ගැහෙන්නට නොදෙන්නේ නම් අවසානයේ පසුපස නොබලා දුවන අපට අපව ද මඟහැරී යාමට ඇති අවකාශය බොහෝය.

එහෙයින් අපි සොබාදහම, අපේකම හා දේශීයත්වය වටා පවුරු බඳිමින් අතීතය වෙත කාලතරණයක් සිදු නො කරන්නේ නම් දේශීයත්වය මඟහැරීමේ අනාගත ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ අතරමං වීමෙන් නීරෝගි අනාගතයකට හිමි වරප්‍රසාද යථා තත්ත්වයට පත් කළ නොහැකි ලෙසින් අපෙන් ගිලිහී යනු ඇත. එහෙයින් දේශීයත්වය අපෙන් ගිලිහී යන්නට පටන් ගත් විට ජීවිතයට උතුම්ම ලාභය වූ නීරෝගිකම ද අපෙන් දුරස් වී යන්නට පෙරමඟ බලා සිටින බව අපි තරයේම සිහිතබා ගත යුතු වෙමු.

ජීවිතයට නීරෝගිකම නම් වූ දොරටුව විවර කරගන්නට දේශීයත්වය නම් වූ යතුර අවැසිමය.