දරු සුරතල් බලන්න හිතනවා නම්....

සරු කාලයේ දී එකතු වෙන්න
ඔක්තෝබර් 17, 2022

 

 

ඕනෑම කෙනෙක්ගෙ ජීවිතවලට අමාරු කාලයක් එනවා. ඒවාට බුද්ධිමත්ව මුහුණ දෙන්න ඕනෙ. මේ කාලේ අපි හැමෝටම හරිම අමාරුයි ජීවත් වන්න. ආර්ථික මට්ටම බිංදුවටම වැටුණ කාලයක්. ඒත් ඉතිං තියෙන දේ රැකගෙන පවුලේ අයත් එක්ක ආදරණීයව ජීවත් වීම තමයි කළ යුත්තේ.

හිරණ්‍යා සහ සේමිතගේ මෙලොව ඇති එකම වස්තුව බිඟුනි දෝණී. පහුගිය දිනවල ඔවුන් කාර්යබහුල වුණේ බිඟුනි දෝණිගේ විවාහ මංගල්‍යය වෙනුවෙනුයි.

 

බිඟුනි සහ තිසෙන් දැන් අලුත විවාහපත් යුවළක්. අලුත විවාහපත් යුවළකට ලිංගිකව එකතු වීම, සරු කාලය, මඳ සරු බව මේ ආදී දැනුම අතිශය වැදගත්.

 

සරු කාලය

මුලින්ම අපි බලමු මොකක්ද මේ සරු කාලය කියා. ඩිම්බයක් ඩිම්බ කෝෂයෙන් නිකුත් වී පැලෝපීය නාළය දිගේ දින පහ හයක ගමනක් ශුක්‍රාණුවක් බලාපොරොත්තුවෙන් පැමිණෙයි. මේ එන ගමන සරු කාලය ලෙස හඳුන්වන්න පුළුවන්. අද කාර්යබහුල සමාජය තුළ ලිංගිකව දරුවකු බලාපොරොත්තුවෙන් එකතු වීමත්, සාමාන්‍යයෙන් ලිංගිකව එකතු වීමත් කාර්යබහුල දෙයක් බවට පත් වෙලා.

 

ඒ සඳහා යොදා ගන්නෙත් වෙන් කරගත් දින කිහිපයක්. ආශ්වාදජනක ලිංගික ජීවිතය විඩාපත් ලිංගික ජීවිතයක් බවට පත් කර ගන්නට ඔවුන් පෙලඹී සිටී. රැකියා ස්ථානයේ කාර්යබහුලකම, උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වීම වැනි කරුණු මෙයට හේතුවිය හැකියි. සැමියා, බිරිය දෙදෙනා එක් එක් වේලාවට රැකියාව නිම වී නිවෙසට පැමිණෙයි. අද කාලයේ බිරියන් සමාජයේ පිළිගත් තනතුරු හොබවන බැවින් ඔවුන් සවස් වරුවේ නිවෙසට පැමිණ බොහෝ විට රාත්‍රියට කඩෙන් ගෙනෙන කෑමක් කා දමා නින්දට යයි. දවසේ වෙහෙස කර බව මඟහරවා ගැනීමට හොඳ නින්දක් ලබන්නට සිතයි. මේ නිසාම සරු කාලයේ දී ලිංගිකව එක්වීම මඟහැරී යයි.

 

මාස්ශුද්ධිය

සාමාන්‍යයෙන් දින 28කට වරක් මාස්ශුද්ධිය ඇතිවන කාන්තාවකට දින 14 ක දී බොහෝවිට ඩිම්බයක් නිකුත් වන්නට ඉඩ තිබේ. එසේ විය යුතුයැයි කියා නියමයක් හෝ ක්‍රියාවලියක් නැත. සාමාන්‍ය බහුතරයකගේ විශ්වාසය මාස්ශුද්ධිය සෑදුණු පළමු දිනයේ සිට දින 11ත් දින 16ත් අතර ඩිම්බයක් නිකුත් වන බවයි. එය අසත්‍යයක් නොවේ. එය හැම විටම සත්‍යයක් ද වන්නේ ද නැත.

 

කාන්තාවකට මාස්ශුද්ධිය සෑදී සතියකට පසුවත් මාස්ශුද්ධි සෑදෙන්නට සතියකට පෙරත් යන කාලය ඇතුළත ඩිම්බයක් නිකුත් විය හැකියි. ඒ නිසා දරුවන් බලාපොරොත්තු වන යුවළක් දින බලමින් එකතු වීමෙන් ඔවුන්ට සිදුවන්නේ අවාසියකි. අවම වශයෙන් සතියකට දෙතුන් වතාවක් ආදරණීයව එකතු විය යුතුයි.

 

 

ආයු කාලය

සාමාන්‍යයෙන් ඩිම්බයකට පැය 36 ක කාලයක් සජීවීව ජීවත්විය හැකියි. ශුක්‍රාණුවකට ගර්භාෂය තුළ දින තුනක් ජීවත්විය හැකියි. සතියකට තුන් වතාවක් එකතු වන්නේ නම් පුරුෂයාගේ ශුක්‍රාණු ගර්භාෂය තුළ ජීවත් ව සිට ඩිම්බයක් ඒ දිනකදීම නිකුත් වන්නේ නම් සංසේචනයක් සිදුවිය හැකියි. යම් අයෙක් උපත් පාලනයක් ලෙස දින බලා එකතු වන්නේ නම් එය වැරැදීමට ඉඩ කඩ ඇති බව තේරුම් ගන්න.

දරුවන් ප්‍රමාද වන මවුවරුන් තමාගේ වෛද්‍යවරයා ලවා දින 11 හි සිට 16 දක්වා කාලයේ ස්කෑන් පරීක්ෂාවක් කරගත හැකියි. එවිට වෛද්‍යවරයා සෙන්ටිමීටර් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක හොඳ ඩිම්බයක් ඇති බව පවසයි. සෙන්ටිමීටර් 1.8 ට වඩා වැඩි ඩිම්බ ඉතා හොඳ ඩිම්බ බවට සමාජ මතයක් ගොඩනැගී තිබේ. එසේ වුවත් ඒ යුවළ ප්‍රකාශ කර සිටිනුයේ තමා මෙතෙක් ගැබ් නොගත් බවයි. එනම් සංසේචනයක් සිදු නොවූ බවයි. වෛද්‍යවරයකුට ස්කෑන් පරීක්ෂාවකින් කිව හැකි වන්නේ ඩිම්බයේ ස්තරයේ වටේට ඇති බිත්තියේ (Folical) ඇති දිග පළල පමණි. දිග පළල වූ යහපත් වූ පමණින් එය සරු ඩිම්බයක්/බීජයක් බව කිව නොහැකියි. ඩිම්බයේ ජීවී බව පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකියි.

එම ඩිම්බය ශුක්‍රාණුවක් හමු වූ පසු ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් සිදුවේ. ඩිම්බයේ ජානගත ආබාධ මෙන්ම ජීව විද්‍යාත්මක ආබාධ ද පැවතිය හැකියි. එහි සැබෑ ස්වරූපය පිළිබඳ ශුක්‍රාණුවක් හා සංසේචනයට ප්‍රථමව නිගමනයකට යා නොහැකියි. තවද ඩිම්බය කොතරම් හොඳ වුවද ඩිම්බය වෙත ආ ශුක්‍රාණුවල ජීව විද්‍යාත්මක හා ජානගත ආබාධ ද පැවතිය හැකියි. එවිට ද ඩිම්බය වෙතට ගොස් සංසේචනය වීමේ අපහසුතා පවතින්නට පුළුවනි. ශුක්‍රාණුවකට පිහිනීමේ ආබාධ, ඩිම්බයේ පිටත ආවරණය විද ඩිම්බය තුළට ඇතුළු වීමේ ආබාධ මෙන්ම ශුක්‍රාණුවේ ක්‍රොමසෝනවල ආබාධ ද පැවතිය හැකියි.

මේ නිසා දරු සුරතල් බැලීමේ නොනිමි ආශාවකින් පෙළෙන අය සතියකට දෙතුන් වතාවක් හෝ ආදරණීයව එකතු විය යුතුයි. එවිට දරුවෙක් බිහි කිරීමට ඇති ඉඩකඩ වැඩි විය හැකියි.

 

 

 

උපදෙස්

ආයුර්වේද විශාරද පණ්ඩිත

විශේෂඥ වෛද්‍ය, මානව උපදේශක

සුදත් ගුණතිලක