ශ්වසන ආබාධයක් නිසා රටම හඬවා මියගිය දෙව්මි රත්සරා

ඔක්තෝබර් 24, 2022

උසස් පෙළ හදාරමින් සිටි දෙව්මිගේ මවුපියන් ඇයගේ ආබාධයට වඩා ඇයගේ දක්ෂතාවන් ගැන තිබුණේ මහත් ආඩම්බරයකි. සියලු දේ කැප කරමින් තම දියණියකගේ අනාගතය පිළිබඳ සුබ සිහින දුටු දෙව්මිගේ මවටත් පියාටත් වසර ගණනක් තුළ කළ කැපවීමට අවසානයේ ඉතිරි කළේ කඳුළක් පමණකි.

බොහෝ හැකියාවන්ගෙන් හා දක්ෂතාවන්ගෙන් පිරිපුන් මිනිසුන් උපත ලබන්නේ ඉතාම කලාතුරකිනි. එසේම ඔවුන්ගේ සුවිශේෂී හැකියාවෙන් ලොවක් බබලවන්නේ සැමගේ ආදර කරුණාව හා ගෞරවයට බඳුන් වෙමිනි. මෙලෙසින් දක්ෂතා සපිරි සුවිශේෂී චරිතවලට මේ මහ පොළොව මත රැඳෙන්නට අවස්ථාව හිමි වන්නේ ද ඉතාම කෙටි කාලයකි. දක්ෂතාව පිරි, ජනප්‍රිය මිනිසුන් ලොවක් එළිය කර සැමදෙනාගේම ආකර්ෂණය ලබා දීප්තිමත් පහනක් නිවී යන්නා සේ නිවී යන අවස්ථා අපට නිරතුරුවම අසන්නට දකින්නට ලැබෙයි.

 

දෙවිමි රත්සරා රාජපක්ෂ මෙලොව උපත ලැබූ දක්ෂතාවන්ගෙන් පිරිපුන් දියණියක්. දික්වැල්ල, රත්මලේ, බඹරන්ද රාජමහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මේ පුංචි දියණිය මුලින්ම රටම දැන ගන්නේ 2020 වසරේදී. ඒ ඇය ඉතාම හොඳින් සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමත් සමඟයි. රත්මලේ කුරුඳුගහහේනේ පදිංචිව සිටි මේ දියණිය උපතින්ම දෙපා ඇතුළු ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණික දරුවෙකි. නමුත් මේ දියණියට උපතින්ම උරුම වූ සෑම ආබාධයකටම අභියෝග කරමින් ශිෂ්‍යත්වය සමත් වෙන්නේ අනාගතය ගැන දහසක් බලාපොරොත්තු දල්වමිනි. ඒ බලාපොරොත්තු මල්ඵල දරමින් ඇය දෙවනුව සාමාන්‍ය පෙළ සමත් වෙන්නේ සියලුම විෂයයන් සඳහා A සමාර්ථ හිමි කර ගනිමිනි.

 

ඉඟටියෙන් පහළ සියලු කොටස අප්‍රාණිකව උපත ලැබූ දෙව්මිට ඒ තරම් දුරක් රැගෙන එන්නට ඇයගේ මවුපියන් කළ කැප කිරීම අසීමිතයි. දරුවන් තිදෙනකුගේ පවුලේ වැඩිමහල් දියණිය වූ දෙව්මි කවුරුත් නොසිතූ ලෙසින් පසුගියදා මෙලොව හැරගිය පුවත මුළු රටම කම්පාවට පත් කළා.

 

හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළෙමින් සිටි ඇය හදිසියේම මිය යෑමට හේතුව ගැන අපට දැන ගැනීමට ලැබුණේ දෙව්මිගේ පාසලෙන්. දරුවා තරමක් අසනීප තත්ත්වයෙන් සිටි නිසා මවුපියෝ ඇයව රෝහල් ගත කිරීමට උත්සාහ කර තිබෙන්නේ දින කිහිපයකට පෙරයි. නමුත් දෙව්මි පවසා ඇත්තේ මෙය හරි යයි කියලා. නමුත් තත්ත්වය එන්න එන්න උග්‍රවන විට මවුපියන් ඇය මාතර මහ රෝහලට ඇතුළත් කළ පසු තත්ත්වය තරමක් බරපතළ බැවින් වහාම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත්තේ ජීවිතය රැක ගැනීමේ අපේක්ෂාවෙනි.

 

මේ අයුරින් ඇයගේ ජීවිතය රැක ගැනීමට වෛද්‍යවරුන් උත්සාහ කළත් දෙව්මි සැමගේ නෙත් කඳුළින් තෙත් කර මෙලොව හැර ගියේ පසුගිය දිනකයි. වාණිජ විෂයය දහරාවෙන් උසස් පෙළ හදාරමින් සිටි දෙව්මිගේ මවුපියන් ඇයගේ ආබාධයට වඩා ඇයගේ දක්ෂතාවන් ගැන තිබුණේ මහත් ආඩම්බරයකි. සියලු දේ කැප කරමින් තම දියණියගේ අනාගතය පිළිබඳ සුබ සිහින දුටු දෙව්මිගේ මවටත් පියාටත් වසර ගණනක් තුළ කළ කැපවීමට අවසානයේ ඉතිරි කළේ කඳුළක් පමණකි. උපතින්ම සියල්ල අහිමි වූ දියණියක් උස් මහත් කර ලැබූ ජයග්‍රහණ හමුවේ මහත් සතුටින් අනාගතය පිළිබඳ සුබ සිහින දුටු ඔවුන්ට අවසානයේ ඉතිරි කළේ කඳුළකි. මේ කඳුළු සලනා මවුපියන්ට මෙන්ම සැමටම ඇයගේ වියෝව මහත් වේදනාවකි. දියණියේ නුඹ අද මෙලෙස ජීවිතය හැරගියත් කිසිදු අඩුපාඩුවක් නැති නීරෝගි දරුවකු ලෙස නැවත ඉපදේවා යන්න අපේ පැතුමයි.