රට පුරාම කතාකරන මොකක්ද මේ ලාදුරු බිය

නොවැම්බර් 21, 2022

 

ලාදුරු හැඳුනම ඇත්තට ම ඇඟිලි හැලෙනවාද?

මීට කාලෙකට ඉහතදී ජාතික රූපවාහිනයේ විකාශය වුණු 'කඩුල්ල' ටෙලිනාට්‍යයේ ජැක්සන් ඇන්තනී නම් වූ ප්‍රතිභාපූර්ණ රංග ශිල්පියා ලාදුරු රෝගියෙක් ලෙස කළ අපූර්වතම රඟපෑම තවමත් මගේ හිතේ මැවෙනවා. එතකොට අපි පුංචි ළමයි. ලාදුරු රෝගය සම්බන්ධයෙන් මට තිබුණු පළමු සහ එකම අත්දැකීමත් ඒක.

 

ලාදුරු රෝගය නැවතත් අපේ රටේ හිස ඔසවන්න පටන් අරගෙන දෝ යැයි සිතෙනවා. ලාදුරු අපේ රටෙන් තුරන් වූවක් කියලයි බොහෝදෙනෙක් හිතන්නේ.

 

බැක්ටීරියාවක ප්‍රතිඵලයක්

ලාදුරු යනු බැක්ටීරියාවක් (මයික්‍රෝ බැක්ටීරියම් ලෙප්‍රේ) නිසා වැලඳෙන රෝගයකි. මෙය බෝවන්නේ හුස්මෙනි. එනම් රෝගය බෝ කළ හැකි අයකුගේ ස්වසන මාර්ගයෙන් පිටවන කෙල බිඳිති, සෙම්, සොටු ආදිය පරිසරයට මුදා හැරීමෙන් පසු වායුගෝලයට මුසු වී එය තවත් කෙනකුගේ ස්වසන මාර්ගයට ඇතුළු වේ. විසබීජය ශරීරගතවන අයගෙන් සියයට දහයකට පමණක් රෝගය ඇති වේ.

රෝග ලක්ෂණ මතු වීමට වසර 5 - 6ක්

වෙනත් රෝග මෙන් නොව විසබීජය ශරීරගත වී ලාදුරු රෝග ලක්ෂණ පෙන්වීමට වසර 5ක් 6ක් ගත වේ. මුල් කාලයේ දීම හඳුනාගත නොහැකි වීම ලාදුරු රෝගයේ ඇති අවධානමයි.

 

සමට සහ ස්වසන මාර්ගය දෙකට ම හානි කිරීම මෙහි භයානකමයි. සමේ පැහැයට වඩා අඩු පැහැයෙන් යුතු ලප එකක් හෝ කිහිපයක් හටගෙන ඇත්නම් ඒවා සංවේදනය පරීක්ෂා කරන ක්‍රමයකින් පරීක්ෂා කළ පසු දැනීම් අඩු නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ ලපවල යම් හිරියක් ඇති බව රෝගියාට ම දැනේවි. එවැනි ලප හිස් කබලේ හැර සිරුරේ ඕනෑම තැනක මතුවන්නට පුළුවනි.

 

කිහිලි, ඉකිලි වැනි උෂ්ණත්වය වැඩි තැන්වල මේ ලප හට ගන්නේ අවම වශයෙනි. මුහුණේ, අතපයවල, පිටේ, උදරයේ, පපුවේ මේ ඕනෑම තැනක හටගන්නට පුළුවන.

 

අළුහම් යැයි සිතා රැවටෙන්න එපා

මේ ලප අළුහමක් මෙන් බැලූ බැල්මට දිස් වේ. විසබීජය සිරුරේ පැතිරෙන විට මෙවැනි ලප ප්‍රමාණයෙන් වැඩි වේවි. බොහෝදුරට අළුහමක් යැයි සිතා වරදවා ගනී. අපේ රටේ අළුහම්වලට ප්‍රතිකාර ගන්නට පෙලඹෙන්නේ අවම පිරිසකි.

 

සමේ පැහැයට හෝ රතු පැහැයට හුරු ලප ඉන් එහාට පැතිරේ. ඇතැම්විට මේ ලපවල දැනීම් තියෙන්නටත් පුළුවන්. මේ ලප උළුඳු වඩයක්, ඩෝ නට් එකක් වැනි හැඩයක් ගන්නටත් පුළුවන. විසබීජය සිරුර පුරාම පැතිරී මුහුණ වෙනස් වන්නට ගනියි. පුරවා දාපු ගතියක් පෙනේ. ඇහිබැමිවල රෝම හැලී ඇහිබැමක් නැත්තා සේ දිස් වේ. ඇහිබැම තිබුණත් තැන ගැටිති හට ගනී. කන්වල සහ නිකටේත් ගැටිති හට ගනියි. නහය හිරවීමක්, කටහඬ වෙනස් වීමක් (නහයෙන් කතා කරනවා වැනි) ඇති වේ. මේ මට්ටම ආ විටයි තවත් කෙනකුට රෝගය බෝ කළ හැකි වන්නේ. එනම් ලාදුරු රෝගය බෝවන්නේ ශරීරය පුරා විසබීජය ඇති විටයි.

 

බෝ නොවන ලාදුරු

තනි ලපයක්, දෙකක් ඇති විට රෝගය බෝ නොවේ. ලාදුරු රෝගය බෝවන සහ බෝ නොවන ලෙස වර්ග දෙකක් ඇත්තා සේ ගැනෙන්නේ මේ නිසයි. බෝවන, බෝ නොවන ලෙස ශරීරගතව ඇත්තේ එකම බැක්ටීරියාවයි. එකම දේ බැක්ටීරියාව ශරීරයේ පාලනයකින් යුතුව පැවතිය ද එය තවත් කෙනකුට බෝ නොවේ.

 

මීට අමතරව ස්නායු දුර්වලතා ඇති වේ. අත හිරිවැටීමෙන් දැනේ. ඇඟිලි ටික එකතු කර බත් කටක් අනාගෙන කන්නට නොහැකි වේ. ලියන කියන දෑ, පරිගණකය පාවිච්චියේදී යතුරු පුවරුව හැසිරිම මනාව සිදු නොවේවි. මේ මට්ටමේ දී රෝගය නිශ්චිතවම හඳුනා ගතහොත් සම්පූර්ණයෙන් ම සුව කළ හැකි වේ. ඇඟිලි සම්පූර්ණයෙන් ම නොදැනෙන මට්ටමට ආ විට, කකුලේ සම්පූර්ණ යටිපතුලම හිරිවැටී ඇත්නම්, වළලු කරෙන් පහළ පාලනය කරගත නොහැකි මට්ටමේ නම් එවිට ද ඇත්තේ ස්නායු දුර්වලතාවකි. එය දුර දිග තත්ත්වයකි. බොහෝවිට යථා තත්ත්වයට පත් කරගත නොහැකි වේවි. අත්වල, යටිපතුල්වල තුවාල ඇති වී ඒවා හිරිය නිසා නොදැනේවි. මේ තුවාලවලින් විසබීජ ඇතුළුවන්නට පුළුවන.

 

ලාදුරුවලදී ඇඟිලි හැලෙනවා යැයි පවසන්නේ තුවාල ඔඩු දිවීම නිසා දියවැඩියාවේ දී මෙන් ඇඟිලි පාද පවා කපන්නට සිදු වීමයි. ඇඟිලි ගැලවී වැටෙනවා නොවේ.

 

ප්‍රතිකාර සමේ රෝග සායනවලින්

ලංකාවේ ලාදුරු රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්නේ සමේ රෝග සායනවලයි. හැම දිස්ත්‍රික්කයට ම අවම වශයෙන් එක් සමේ රෝග සායනයක් හෝ පවතී. ළඟම ඇති බාහිර රෝග සායනයට ගොස් මේ මේ රෝග ලක්ෂණ ඇති බව පවසා සමේ රෝග සායන වෙත යොමු කිරීමක් කළ හැකියි.

 

බස්නාහිර පළාතේ මධ්‍යම ලාදුරු රෝග සායනය කොළඹ ජාතික රෝහලේ කාමර අංක 12 හි පැවැත්වේ. සතියේ දින 5ම හා සෙනසුරාදා උදේ කාලයේ සායනය පැවැත්වේ. මේ සඳහා යොමු කිරීමක් අවශ්‍ය නොවේ. ලාදුරු රෝග ලක්ෂණ ඇතැයි යම් සැකයක් පවතී නම් සායනය සඳහා යොමු වී පරීක්ෂණ කරවාගත හැකියි. ලාදුරු රෝග ලක්ෂණ නම් ඇත්තේ ප්‍රතිකාර කිරීම ඇරැඹේ. වෙනත් ගැටලුවක් නම් ඇත්තේ අදාළ තැන්වලට යොමු කිරීමක් සිදු කරයි.

 

සායනික පරීක්ෂාව

මෙහිදී රුධිර පරීක්ෂාවක් සිදු නොවේ. රෝගියා නිවැරැදිව පරීක්ෂා කිරීමෙන්ම රෝග විනිශ්චයකට එළැඹේ. පලපුරුදු වෛද්‍යවරයකුට මෙය හඳුනා ගැනීම පහසු කටයුත්තකි.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය බහු ඖෂධ ප්‍රතිකාරය නම් වූ ප්‍රතිකාර ක්‍රමවේදයක් ලාදුරු රෝගීන් වෙත ලබාදේ. එය කාඩ් එකක් ලෙස පැමිණේ. බෝවන බෝ නොවන දෙවර්ගයකට ම ලබා දෙන්නේ එකම ඖෂධය යි. අවුරුදු 15ට අඩු වැඩි වශයෙන් පමණක් වෙනස් වේ. බෝවන වර්ගයට මාස 12කුත් බෝ නොවන වර්ගයට මාස 6කුත් ප්‍රතිකාර කෙරේ. මීට අමතරව ස්නායු ආබාධ ඇත්නම් ඒවාට වෙනම භෞත චිකිත්සක ප්‍රතිකාර ඇතුළු ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ම සිදුවේ.

 

ලාදුරු සඳහා ප්‍රතිකාර කරනුයේ විසබීජය විනාශ කිරීමට යි. හිරිය යනු විසබීජය විසින් ශරිරයේ ඇති කළ වෙනසකි. ස්නායු සම්පූර්ණයෙන් විනාශ වී ඇත්නම් හිරිගතිය මඟහැරී නොයාවි.

 

නමුත් ප්‍රතිකාරවලින් විසබීජය සම්පූර්ණයෙන්ම සිරුරෙන් ඉවත් වී තිබේවි. ස්නායු ආබාධ ඇති විට හැකි විගස ප්‍රතිකාර සඳහා යොමුවන්නට යැයි පවසන්නේ මේ නිසයි.

උපදෙස්

ලාදුරු මර්ධන ව්‍යාපාරයේ

විශේෂඥ වෛද්‍ය

ඉන්දිරා කහවිට

 

************************

මෙන්න අලුත්ම සංඛ්‍යා ලේඛන

ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම වගේ එක් ලාදුරු රෝගියෙක් හෝ සිටියි. කොළඹ, ගම්පහ, කළුතර, මඩකලපුව යන දිස්ත්‍රික්ක හතරේ ලාදුරු රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටියදි පස්වන තැනට කුරුණෑගල දිස්ත්‍රික්කය සිටියි. ලාදුරු රෝගීන්ගෙන් සියයට හතළිහක්ම සිටිනුයේ බස්නාහිර පළාතේ ය.

 

මේ වසර මුල් මාස 8, 9 වන විට වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වූයේ මඩකලපුව දිස්ත්‍රික්කයෙනි. මෙහිදී රෝගීන් 120ක් සිටි අතර ඉන් 27ක්ම අවුරුදු 15ට අඩු දරුවන් ය.

 

සමස්තයක් ලෙස ගත් කළ ලංකාවේ ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් 11ක් පමණ පිරිස අවුරුදු 15ට අඩු දරුවන් ය. 2021 වසරේ 10.9ක් ම සිටියේ දරුවන් ය. වයස අවුරුදු 15ට අඩු අය දරුවන් ලෙස සැලකෙන නිර්ණායකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෙන ආයේ එම වයස් කාණ්ඩයෙන් අඩු අය දරුවන් ලෙසත් ඊට වැඩි අය වැඩිහිටියන් වශයෙන් ගෙන නියම කරන ඖෂධ මාත්‍රාව වෙනස්වන නිසායි.

 

සාමාන්‍යයෙන් වසරකට (2019 වනතුරු) රෝගීන් 1700ක් පමණ වාර්තා වේ. 2001 සිට 2015 පමණ වනතුරු වසරකට අලුත් රෝගීන් 2000ක් පමණ හඳුනා ගැනිණි. 2015 සිට 2019 වනතුරු කාලයේ ලාදුරු රෝගීන් වාර්තා වීම ක්‍රම ක්‍රමයෙන් අඩු වුණි. 2020 - 2021 වසරවල කෝවිඩ් සහ සෞඛ්‍ය සේවාවල ඇති වුණු අඩුපාඩු සමඟින් රෝගින් හඳුනා ගැනීම හෙවත් රෝගීන් පරීක්ෂණ සඳහා යොමු වීම අඩු වුණි. හඳුනා ගැනීම අඩු වූවා යන රෝගීන් පිරිස අඩු වූවා යන්නක් ගම්‍ය නොවේ. විසබීජය ශරීරගත වූවන් ප්‍රතිකාර නොගෙන සමාජයේ වෙසෙයි. මෙහිදී අවධානම් දෙකක් හට ගනියි.

 

පළමුවැන්න එවැන්නවුන් සමාජයේ සිටිනවා යනු ඔවුන්ම රෝගය පතුරුවන්නට ඇති ඉඩකඩ වැඩි වීමයි.

 

දෙවැන්න මොවුන් ප්‍රතිකාර නොගෙන සමාජයේ සිටිනවා යනු ඔවුන්ට ස්නායු ආබාධ ඇති වී සදාකාලීක ආබාධිත තත්ත්වයට පත් වේ. මෙය රෝගියාට මෙන්ම සමාජයට ද අධි අවධානමක් ගෙන දෙන තත්ත්වයකි.

 

ඒ අනුව පසුගිය වසර දෙකේ දී මඟ හැරුණු රෝගීන් 1500ක් පමණ අවම වශයෙන් සිටින්නට පුළුවනි.

 

මේ වසරේ මුල් මාස හත ඇතුළත රෝගීන් 400ක් පමණ හඳුනා ගැනිණි. සමාජ මාධ්‍ය හා විද්්‍යුත් , මුද්‍රිත මාධ්‍යයන් හි කරන ලද විවිධ දැනුවත් කිරීම්වලට අනුව මේ වසරේ මේ වනවිට රෝගීන් 1000ක් පමණ හඳුනාගෙන තිබේ.

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.