වර්ෂ 2023 ක්වූ March 20 වැනිදා Monday
දහඩිය දුඟදට තිත තියන හෙළ ඔසුවල බල මහිමය

අපි හැමෝම ලස්සනට ඉන්න කැමතියි කෙනෙකුගේ එදිනෙදා සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් සමඟ සහසම්බන්ධතා පවත්වන අපි සියලුදෙනාගේම ආකර්ෂණය දිනා ගැනීමට රුව වරුණාව ගැන දක්වන උනන්දුව අමුතුවෙන් කිවයුතු නැහැ.අපි කොතරම් රුව පිළිබඳ උනන්දු වුණත් ඇතැම්විට පුංචි දහඩිය දුගඳක් අපේ සියලු පෞරුෂය නැති කරන්නට නැඟී සිටින්නට සමත්වන බව ඔබ මොහොතකටවත් හිතුවද?
ඇතැම්විට ඔබේ සිරුරෙන් හමන දහඩිය දුඟද ඔබට නොදැනී අන් අයට දැනී නොදැනුවත්වම සමාජයෙන් අනපේක්ෂිතව කොන්වන වග ඔබට සිතුණද?
අපි අද මේ ලිපිය හරහා කතා බහ කරනු ලබන්නේ කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම එක ලෙස බලපාන දහඩිය දුඟද සහ එය නැති කර ගැනීමේ ක්‍රමවේදය ගැන.
දහඩිය දැමීමට ගැහැනු, පිරිමි භේදයක් නැති බව අපි කතා බහ කළා. නමුත් දහඩිය දුගඳින් යුතු වීම, ඒ කෙනාගේ පෞරුෂත්වය බිඳ වට්ටන කාරණයක්. කොහොම නමුත් මේ දහඩිය දුඟද සාමාන්‍ය අවස්ථාවක් ද රෝග අවස්ථාවක් ද ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් ද යන්න තෝරා බේරා ගන්න බැරිව අපි අතරමං වෙන අවස්ථාවන් එමටයි.
දහඩිය ශරීරයේ ඇති අපිරිසුදු දෑ පිටකරන තරලයක්. එසේත් නැත්නම් ශරීරය විසින් සිදුකරනු ලබන බහිස්රාවීය ක්‍රමවේදයක්. මෙලෙස පිටවන දහඩියෙහි සියයට අනූ නමයක්ම ඇත්තේ ජලයයි. ඊට අමතරව මැග්නීසියම්, පොටෑසියම්, සින්ක් වැනි පරිවෘත්තීය කටයුතුවලින් නිෂ්පාදනය වන යම් යම් රසායනිකයක් ද අපෙන් පිටවන දහඩිය සමඟ මුසු වී තිබේ.
දහඩිය පිට වන්නේ සම ආශ්රිත ස්වේද ග්‍රන්ථි තුළිනි. මේ නිසාම දහඩිය පිට වීමේ දී සැලකිය යුතු කාලයක් එය සම මත පවතී. වාෂ්ප වීමට ගතවන කාලය අනුව විවිධ බැක්ටීරියා ආදිය පිටවූ දහඩිය හා එක්වේ. සමේ ස්ථර දෙකක් එකට යා වන තැන්වල එනම් කිහිලි, ඉකිළි, ගෙල යන ප්‍රදේශවල වැඩිපුර වේලාවක් දහඩිය රැඳීමෙන් ඒ ඒ ස්ථාන ආශ්‍රිතව දුගඳක් හටගනී. අනෙකුත් ස්ථාන බාහිර පරිසරයට සෘජුවම නිරාවරණය වන නිසාම දහඩිය දුගඳ අඩුවේ.
වැඩිපුර දහඩිය දැමීම නිසා සමේ කැසීමක්, සමේ වර්ණයේ වෙනසක් ඇති වෙන්නත් පුළුවන් වගේම දිලීර ආසාදන ආදිය ඇති වෙන්නත් පුළුවන්. කාන්තාවන්ට තම පියයුරු යට කොටසේ වැඩිපුර දහඩිය රැඳෙන බැවින් එම ස්ථනයන්හි කැසීම් ආදිය ඇතිවෙන්නටත් පුළුවන්.
ආයුර්වේදයට අනුව ශරීරයෙන් පිටවන බහිස්රාවී ද්‍රව්‍ය ත්‍රීමල ලෙස හඳුන්වයි. මල ලෙස හඳුන්වනු ලබන්නේ අපද්‍රව්‍ය යන්නයි. ස්වේද (දහඩිය), මුත්‍ර (මුත්‍රා) සහ පුරිෂ(මලපහ) යනු මේ ත්‍රිත්වයයි. වාත, පිත, කප යන ත්‍රිදෝෂ කෝප නොවී තබා ගැනීමට අපි නිතර වෙහෙසෙයි.එසේම ත්‍රීමල යනු පුද්ගලයකුගේ නිරෝගී බව පෙන්වන හොඳ කැඩපතකි. දහඩිය දුගඳ වීමට පුද්ගල ස්වභාවය බලපායි.ශරීරය උෂ්ණ අයගේ දහඩිය තරමක් දුගඳින් යුතුයි. තයිරොයිඩ් හෝර්මෝනයේ විෂමතාව නිසාත් දහඩිය වැඩියෙන් පිටවනවා සේම දුගඳින් යුතුවන්නත් පුළුවන්. විවිධ ලෙඩ රෝග සඳහා ඖෂධ ගන්නා අයගේත් දහඩිය තරමක් දුගඳ විය හැකියි.
කාන්තාවන්ගේ දහඩිය දුගඳ වීමට සනීපාරක්ෂාව සඳහා එකිනෙකා යොදවන අවධානය සෘජුව බලපානු ලබයි. එක් එක් කාන්තාවන් තම සනීපාරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන අන්දම වෙනස්ය.සමහරු දිනපතා ස්නානය කරද්දී තවත් කෙනෙක් සතියකට වරක් ස්නානය කරයි. කෙනෙක් දිනපතා ඇඟපත සෝදද්දී තවත් කෙනෙක් දිනකට දෙවරක් ඇඟපත සෝදයි.
දහඩිය යනු සම ආශ්රිත ව සිදුවන ගනුදෙනුවක් බැවින් එය වලක්වාගැනීම සඳහා යට ඇඳුම් කෙරෙහි මනා සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත් අංගයකි. එමෙන්ම බාහිර ඇඳුම් වලින් පවා ශරීරයට ස්පර්ශවන ස්ථානවලින් දුගඳක් හමන බැවින් දහඩිය උරා ගන්නා කපු ඇඳුම් භාවිතය වඩාත් යෝග්‍යයි. එවිට දහඩිය දැමූ විගසම එය ඇඳුමට උරා ගනියි. උඩ ඇඳුම් වේවා යට ඇඳුම් වේවා එක් වරන් ඇන්ඳේ නම් අනිවාර්යෙන්ම එය සෝදා දමා මිසක නැවත වරක් ඇඳීමෙන් වැළකී සිටිය යුතුයි.වැඩියෙන් දහඩිය දමන අය, දහඩිය දුගඳින් යුතු අය සනීපාරක්ෂාව කෙරෙහි මනා අවධානයක් යොමු කළ යුතුයි.
ශරීරයෙන් හමන දුගඳ තමාටම එතරම් නොදැනුනත් බාහිර පුද්ගලයන්ට අප්‍රසන්න හැඟීමක් ගෙන දෙන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම ප්‍රසන්න බව රැකීමට ප්රබලව බලපාන සාධකයකි.
ස්වාභාවික සේදුම්කාරක සහ
ස්නානයේදී, ඇඟ සේදීමේදී භාවිත කරන සේදුම්කාරක පිළිබඳත් සැලකිලිමත් වීම දහඩිය දුඟද මඟහරවා ගැනීමට හේතුවේ.
ආයුර්වේදයට අනුව බෙලි කොළ, වෙනිවැල්ගැට, සමන් පිච්ච කැකුළු, රත්මල් කැකුළු තම්බා ස්නානයෙන්, ඇඟ සේදීමෙන් ශරීරයේ දුගඳ නැති කර ගත හැකිවේ. ගතකොකුම් පොතු( තරමක් මිල වැඩි වැඩි),සුදු හඳුන් ද මේ සඳහා එක් කළ හැකියි.
තවද ශරීරය අභ්‍යන්තරයට එක් කරගන්නා ආහාර රටාව ද මැනවින් පවත්වා ගත යුතුයි. මස් මාංශ වැඩිපුර ගන්නා අයගේ දහඩිය දුගඳින් යුතු විය හැකියි. මාංශ වල අඩංගු ඇමෝනියා සංයෝග ඊට බලපායි. දහඩිය දුගඳින් යුතු අය හැකි තරම් සමබල ආහාරයකට යොමුවීම වැදගත්ය. වැඩිපුර එළවළු, පලතුරු, ජලය පානය අතිශය වැදගත්වන අතර ස්වභාවික පානයක් ලෙස තැඹිලි එක්කර ගැනීම ගුණදායකයි.දියර වර්ග වැඩිපුර ගනිද්දී රුධිරයේ පරිමාව වැඩි වේ. එවිට රුධිරයේ අඩංගු අපද්‍රව්‍ය සංඝටක ද අඩුවේ.එම නිසා දහඩිය දුඟද මඟ හැරී යයි.
ජලය සහ තැඹිලි මෙන්ම රණවරා, ඉරමුසු, බෙලිමල්, නෙල්ලි රසකිඳ ආදී ස්වභාවික පානයන් නිතර භාවිතය කෙරෙහි ද යොමු වීම වැදගත් වේ. තේ වෙනුවට එදිනෙදා ජීවිතයට මෙම ශාඛ සාර එකතු කරගත හැකියි. හාතවාරිය කොළ පිත නසන ගුණයෙන් හා කාන්තාවන්ගේ හෝර්මෝන සමතුලිත කරවීමේ ගුණය සහිතයි. මේ නිසා හාතවාරිය කොළ කැඳ ගුණදායකයි.
පිටවන දහඩියේ දුගඳ බව අවම කරන ඩියෝඩ්‍රන් දහඩිය පිට කරන ස්ථානවල ස්වේද ග්‍රන්ථි අවහිර කරයි.එම නිසා ඒවා භාවිතය අයහපත් නොවේ.මේවා ආලේප කළත් නිතර නිතර ඇඟපත සෝදා පිරිසුදුව සිටිය යුතුයි.ඒවා දිගු වෙලාවක් සමේ හෝ ඇඳුමේ රැඳී තිබීම එතරම් සුදුසු නොවේ.
ආයුර්වේදය තුළ ස්වභාවික ඩියෝඩ්‍රන් වර්ග ඇති නමුත් අවිවේකී ජීවිතයක් ගත කරන අය සඳහා එය ප්‍රායෝගික නොවේ. එනමුත් හැකි විටදී එම ස්වාභාවික ඩියෝඩ්‍රන් ආලේපයෙන් දහඩිය දුඟද වළකා ගැනීමට ඔබට හැකිය.
ස්වාභාවික ඩියෝඩ්‍රන් ලෙස සුදු හඳුන් ගලගා ආලේප කළ හැකි අතර කහ සහ වෙනිවැල් ගැට ගලගා එළකිරි සමඟ ආලේප කළ හැකිය.
අද කාන්තාව එදාට වඩා කාර්යබහුලය. ඒ ඇය හරි හරියට සමාජයේ ඉහළ තලයන්හි සිටිමින් විවිධ පුද්ගලයන් ඇසුරු කරයි. මෙහිදී ඇයට මනා පෞරුෂත්වයක් තිබිය යුතුමයි. දහඩිය දුඟද ඇයට එල්ල කරන ප්‍රබල පහරකි.එවැවින් ඉහත කරුණු මනාව සැලකිල්ලට ගෙන ඔබේ දහඩිය දුඟද ඔබ අසලින් පලවා හැරීම තුළින් ඔබේ මනා පෞරුෂය තවත් වර්ධනය කර ගැනීමට ඔබට අවස්ථාව හිමිවේ.
උපදෙස් :
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය
ආචාර්ය කෞමදී කරුණාගොඩ