මුත්‍රා දැවිල්ලක් හැදිලම නැද්ද?

ජනවාරි 23, 2023

මුත්‍රා දැවිල්ල කාන්තා ,පිරිමි භේදයකින් තොරව හැමෝම වගේ පීඩා විඳින තත්ත්වයකි. කවදාවත්ම මුත්‍රා දැවිල්ලක් හැදිලා නැහැ කිව්වොත් ඒකත් අමූලික බොරුවකි. තමාට මුත්‍රා දැවිල්ලක් ඇති වුණත් ඒ බව කාටවත්ම නොකියා විඳ දරාගන්න බොහෝ දෙනෙක් පුරුදු වී සිටියි.

කාන්තාවන්ට මුත්‍රා දැවිල්ල ඇතිවීමේ ප්‍රවණතාව පුරුෂයන්ට සාපේක්ෂව තරමක් වැඩි බව හඳුනාගත් කාරණයකි. මීට හේතුව කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ මුත්‍රා පද්ධතියේ සැකැස්මේ ඇති සුළු සුළු වෙනස්කම් ය. වකුගඩු දෙකකින් පෙරී මුත්‍රා නාල හරහා මුත්‍රාශයට මුත්‍රා පැමිණීම කාන්තා පිරිමි දෙපාර්ශ්වයට ම පොදු කාරණයකි. එහෙත් මුත්‍රාශයේ සිට මුත්‍රා මාර්ගය ඔස්සේ මුත්‍රා පිටතට පැමිණෙන ව්‍යුහය වෙනස් ය. මුත්‍රාශයේ සිට පිටතට මුත්‍රා පැමිණෙන මුත්‍රා මාර්ගය පිරිමින්ට වඩා කාන්තාවන්ගේ තරමක් දිගින් අඩුය.

 

දොරවල් 13න් එකක්

ආයුර්වේදයට අනුව ශරීරයේ බාහිර ට විවෘත වන දොරවල් දහ තුනක් තිබේ. මුඛය, නාසය, කන ආදී ලෙස මුත්‍රා නාලය, මුත්‍රා විවරය යනු මුත්‍රා පිටවීම සඳහා විවර වන එක් දොරටුවකි. මේ දොරටු නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවීම රෝග ආකර්ෂණය කර ගැනීමට අවස්ථාවක් වේ. මුත්‍රා මාර්ගයෙන් යම් විසබීජයක් ඇතුළු වුවහොත් මුත්‍රා ආසාදන ඇතිවිය හැකියි. පෙර කී පරිදි කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගයේ දුර අඩුවීමම ඇය මුත්‍රා ආසාදන කරා පහසුවෙන් ගොදුරු වීමට ඉඩකඩ සලසයි.

 

බලපෑ හැකි කරුණු කාරණා

මුත්‍රා දැවිල්ල ඇති වන්නට විවිධ කරුණු බලපායි.

* මුත්‍රාශය ආශ්‍රිතව, මුත්‍රා මාර්ගය ආශ්‍රිතව රෝගී අවස්ථාවක් ඇත්නම් උදාහරණයක් ලෙස මුත්‍රා ගල්, මුත්‍රා සංයුතියේ වෙනස්වීම් මුත්‍රාවාහිනී හා මුත්‍රා පටකයේ ඇතිවන යම් යම් ආසාදන නිසාත් මුත්‍රා දැවිල්ල හට ගනී.

* ගැබිනි කාන්තාවන්ට මුත්‍රා ආසාදන ඇතිවීමේ ප්‍රවණතාව වැඩි බව හඳුනාගෙන තිබේ. ඊට හේතුව ඇගේ ශරීරයේ හෝමෝනවල ඇතිවන වෙනසයි.

* සමාජ රෝගවල ලක්ෂණයක් ලෙසත් මුත්‍රා රෝග හටගනී.

* ඇතැම්විට ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව, ඩිම්බ කෝෂ ග්‍රන්ථ, ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් වැනි තත්ත්ව නිසාත් කාන්තාවන්ට නිතර නිතර මුත්‍රා රෝග හට ගනී.

* යම් යම් රසායනික ද්‍රව්‍ය සඳහා සංවේදී වැඩියි නම්, එනම් සනීපාරක්ෂක තුවා, රසායනික ද්‍රව්‍ය අඩංගු කෘත්‍රිම පිරිසුදුකාරක, ටොයිලට් පේපර්ස්, සබන් වර්ග, යෝනි මාර්ගය සේදීමට ගන්නා විශේෂිත දියර වර්ග, කොන්ඩම් වැනි දේවල් නිසාත් ඇතැමෙකුට මුත්‍රා ආසාදන හට ගනී. මෙය පොදු කාරණයක් නොවේ.

* මුත්‍රාශය ආශ්‍රිතව පිළිකාමය තත්ත්ව නිසාත් තවත් සමහරකුට මුත්‍රා දැවිල්ල හට ගනී.

* ඇතැම් තරුණියන්ට විවාහ පත් වූ අලුත එනම් මධුසමය ගතකර පැමිණි පසු මුත්‍රා දැවිල්ල හට ගනී. මෙතුවක් කල් සිරුරට ආගන්තුක වූ අත්දැකීමක් නිසා මුත්‍රාශයට, යෝනි මාර්ගයට ඇතිවන තෙරපීම, පිරිමැදීම, ස්පර්ශය ආදී තත්ත්ව නිසාවන ආසාදනවලදී එය මුත්‍රා ආසාදනයක් ලෙසින් දැන වේ. මෙය ඇතැමෙකුට ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් දක්වා දිවේ. තවත් කෙනෙකුට කිසිදු ප්‍රතිකාරයක් නොකර දින කිහිපයකින් ඉබේම යථා තත්ත්වයට පත්වේ.

 

මුත්‍රා දැවිල්ලත් සමගින් මතුවන ලක්ෂණ

* මුත්‍රා කිරීමේදී දැවිල්ල

* මුත්‍රා කරන විට යටිබඩ ආශ්‍රිත ව වේදනාව

* මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාව නිතර නිතර දැනීම (ආසාදන තත්ත්වයකදී මුත්‍රාශය බෙහෙවින්ම සංවේදී නිසා මුත්‍රාශය පිරෙන පිරෙන මුත්‍රා ප්‍රමාණය හිස් කරන්නට සංඥා නිකුත් කරයි.)

* පිරිසුදු කිරීමේදී, ස්පර්ශ කිරීමේදී මුත්‍රා මාර්ගය ආශ්‍රිත බාහිර ව්‍යුහයන්ගේ වේදනාව

* මුත්‍රා ආසාදනයක් නම් උණ ගතිය

* කාලයක් ගතවී ඇත්නම් ඉකිලි ආශ්‍රිතව කුද්දැටි මතුවීම.

 

ආයුර්වේදයේ පිළියම්

* මුත්‍රා ආසාදනවලින් වැළකී සිටින්නට නම් මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව ඇතිවූ වහාම කිසිසේත්ම එය රඳවා නොසිට පිට කළ යුතුයි. ආයුර්වේදයට අනුව ස්වභාවික වේග පිට නොකර දරා සිටීම සුදුසු නොවේ. මුත්‍රා වේගයත් එයට අයිති වේ.

* මුත්‍රාවල සාන්ද්‍රණය අඩු කිරීමට එනම් මුත්‍රා තනුක කිරීමට ප්‍රමාණවත් පරිදි දියර වර්ග පානය කළ යුතුයි. මේවා ස්වභාවික පාන වර්ග වීම අතිශය වැදගත්. සුදුසුම දියරය පිරිසුදු වතුරයි. මීට අමතරව ස්වභාවික පාන ලෙස කුරුම්බා වතුර, පොල් වතුර, තැඹිලි වතුර පානයට සුදුසුයි.

* පලතුරු වර්ගවල යුෂ ගුණදායක වේ. උක් දඬු යුෂ, නෙල්ලි යුෂ, පැණිකොමඩු යුෂ ඒ අතර වේ.

* කැකිරි යුෂ කැකිරි ඇට සමග පානය මුත්‍රා පද්ධතියේ රෝග සඳහා හොඳ සහනයක් දෙයි.

* පොල්කිරි ද සුදුසුය. එය පානයට අපහසු නම් කිරි කැඳ ලෙස ගත හැකියි.

* කෝමාරිකා යුෂ මී පැණි සමග පානයට ගත හැකියි.

* ආයුර්වේද ඖෂධවලට අනුව ලංකාවේ සුලබ වැවෙන පොල් පලා මුත්‍රා ආසාදනවලට අනගි ඔසුවකි. පොල් පලා කැඳ ලෙස, සෝදා කැබලි කපා තම්බා පානයක් ලෙසත් ගත හැකියි.

* හීන් මදුරුතලා, ලුණු වරණ, ගොකටු ද මෙලෙස තම්බා තේ වෙනුවට පානයට ගත හැකියි.

* බාර්ලි මුත්‍රා දැවිල්ල මනාව පාලනය කරයි.

* මෝරු හෙවත් මුදවපු කිරිවල මතුවන වතුර කොටස මුත්‍රා ආසාදන වළකාලයි. එහිදී මුදවපු කිරි මේස හැඳි දෙකකට වතුර වීදුරුවක් දමා බ්ලෙන්ඩර් කර අවශ්‍ය නම් සූදූරු ටිකකුත් එක් කර සීනි දමා බීමට ගත හැකියි.

* දිනපතා ස්නානය සිරුර සීතල කරන උපක්‍රමයකි.එය මුත්‍රා ආසාදන වළකයි.

* මුත්‍රා දැවිල්ල ඇති අයට යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය වෙනිවැල්ගැට තැම්බූ වතුර, බෙලි කොළ, නුග පොතු, බෝ පොතු, අට්ටික්කා පොතු තැම්බූ වතුරින් උදේ සවස සේදිය හැකියි.

ඉහත ප්‍රතිකර්ම ආයුර්වේදයට අනුව මුත්‍රා ආසාදන ඇතිවීම වළකනවා මෙන්ම වැලඳී ඇති මුත්‍රා ආසාදන සුව කිරීමට ද හේතු වේ.

 

උපදෙස් :

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,

නාරි හා ප්‍රසව ආයුර්වේද

විශේෂඥ වෛද්‍ය ආචාර්ය

කෞමදී කරුණාගොඩ