වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
වැනි වැනි ඉන්නේ නැතුව සීනි බස්සමු

අපේ සිරුරේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන්නේ ඉන්සියුලින් හෝමෝනයයි. දියවැඩියාව යනු ඉන්සියුලින් හෝමෝනය අඩුවීම හෝ ක්‍රියාකාරීත්වය අඩුවීමයි. එම නිසා ශරීරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යයි. දියවැඩියාව සිරුරේ දිගුකාලීන පරිවෘත්තීය රෝග තත්ත්වයකි. එය සිරුරේ සියලුම අවයවලට බලපෑම් කරන රෝගයකි. හෘදය, ස්නායු, වකුගඩු, දෙපා, ඇස් ආදී අවයව ඒ අතර ප්‍රධාන වේ.
දියවැඩියාව ප්‍රභේද තුනකි. එනම් පළමු වර්ගයේ දියවැඩියාව. (Type 01) දෙවැනි වර්ගයේ දියවැඩියාව (Type 02) සහ ගර්භිණී සමයේ දියවැඩියාව. මීට අමතරව වෙනත් රෝගවල ප්‍රතිඵලයක් ලෙස හෝ ගන්නා ඖෂධ හේතුවෙන්ද දියවැඩියාව ඇතිවන රෝගීහු සිටිති.
විශේෂයෙන්ම ළමුන් අතර දක්නට ලැබෙන්නේ පළමු වර්ගයේ දියවැඩියාවයි. දියවැඩියා රෝගයට ගොදුරු වන්නන්ගෙන් සියයට 5ක් පමණ පළමු කාණ්ඩයේ දියවැඩියාවට ගොදුරු වූවන්ය.
පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට රෝගය පාලනය වෙනුවෙන් මුඛයෙන් ලබාදෙන ඖෂධ ප්‍රමාණවත් නොවන අතර ඉන්සියුලින් හෝමෝනය එන්නත් මගින් ජීවිත කාලයටම ලබාදීමට සිදු වේ.
දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව ඇතිවීමට මූලිකම හේතුව ලෙස ස්ථුලතාව දැක්විය හැකි ය. ක්‍රියාශීලී නොවනා ජීවන රටාව, වැරදි ආහාරපාන භාවිතය, අධික සීනි, පිෂ්ටය අධික ආහාර ගැනීම, ව්‍යායාම මදිකම, මානසික ආතතිය ආදී කරුණු මෙම වර්ගයේ දියවැඩියා ඇතිවීමට මූලිකම හේතුවක් වේ.
දියවැඩියා රෝගීන් අතරින් 90%කට වඩා සිටින්නේ දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගීන්ය. ගැබිනි සමයේදී දියවැඩියාවට ගොදුරු වුවත් දරු ප්‍රසුතියෙන් පසුව එම තත්ත්වය පහව යයි.
රෝග ලක්ෂණ
මෙහි රෝග ලක්ෂණ ලෙස අධික පිපාසය, වැඩිපුර මූත්‍රපිටවීම, තෙහෙට්ටුව සහ බර අඩුවීම, තුවාල සුවවිම කල් ගතවීම හෝ සුව නොවීම වගේම රෝග ලක්ෂණ නැතිවත් හැදෙන්න පුළුවන්.
වළක්වා ගන්න පුළුවන් ද?
සෞඛ්‍යමත් ආහාර පුරුදු සහ ව්‍යායාම සහිත ක්‍රියාශීලී දිවියක් ගතකරන පුද්ගලයෙකුට දියවැඩියා අවදානම අඩුය. විශේෂයෙන්ම උසට සරිලන බරක් පවත්වාගෙන යාම ඉතා වැදගත්ය. එමෙන්ම සිරුරේ සීනි මට්ටම සමබරව පවත්වා ගැනීම ද ඉතාම අවශ්‍ය ය. සීනි, තෙල්, ශුද්ධ කළ පිටි සහිත ආහාරවලින් ඈත්වෙන්න. සමබල ආහාර වේලක් ලබා ගන්න. ඔබේ පිඟානෙන් 1/2කම එළවළු සහ පලා අඩංගු වීම වඩාත් සුදුසුය. එළවළු තෝරා ගැනීමේදී කැරට්, බීට්, වට්ටක්කා වැනි වර්ණවත් එළවළු රුධිරගත සීනි මට්ටම වැඩි කිරීමට ඉවහල් වන හෙයින් ඒවා අඩුවෙන් ද වැටකොළු, පතෝල, මුරුංගා, කරවිල, කොහිල, කෙසෙල්මුව සහ කොළ පැහැති එළවළු, පලා වර්ග බහුලව ආහාරයට ගන්න. ඒ වගේම පේර, ඇඹරැල්ලා, කොස් ඇට සහ ඇපල් වැනි ආහාර වගේම තන්තු බහුල ආහාරත් ආහාරයට එකතුකර ගන්න. ඒ වගේම අනවශ්‍ය ලෙස අවිවේකී වීමෙන් ද වළකින්න. ඕනෑවට වඩා අවිවේකී වීමෙන්ද ශරීරය රෝගී කරවන්නට පුළුවන්.
දියවැඩියාව පාලනය වන ව්‍යායාම
නිතර ශරීරය ජවයෙන් සහ ක්‍රියාශීලීව තබා ගැනීමෙන් රුධිරගත සීනි මට්ටම යම් තරමකට හෝ පාලනය කර ගැනීමට අවස්ථාව ලැබේ. දිනපතා ඇවිදින්න. සරල ව්‍යායාමවල නිරත වෙන්න. පිහිනීම, දීවීම වැනි දේ තුළින් ද සුවයක් ලබා ගතහැකියි. ඒ වගේම හොඳින් ආශ්වාස ප්‍රශ්වාසයේ යෙදෙන්න. උදෑසන හිරු එළියට නිරාවරණය වෙන්න. කම්මැලිකම දුරලා සතුටින් සිටීමත් නීරෝගි බවට හේතුවකි. යෝගා වැනි භාවනාමය ව්‍යායාමයන්ට හුරු වීමෙන් ශරීරයට වගේම හිතට ද සුවයක් ගෙන දේ.
උපදෙස් -
ශරීර යෝග්‍යතා උපදේශිකා
මෙත්මා බිසේකා නානායක්කාර