මාළු කපන හරි පිළිවෙළ දැනගනිමු ද යාළු..

ඔසුකුටියෙන් ජීවිතයට..
අගෝස්තු 18, 2021

 

ආහාර වේලක් පිළියෙල කිරීමේ දී එයට මාංසමය ආහාරයක් ද බොහෝ විට එකතු කරනවා. ඒ, සමබල ආහාර වේලක් සඳහා එහි ඇති වටිනාකම නිසයි. විවිධාකාරයෙන් මාළු පිසගැනීමට අපේ ගෘහණියන් කැමැත්තක් දැක්වුවත් ඇතැම් විට එහිදී මාළු නිසියාකාරව කපා සකසා ගැනීමේ දී යම් යම් අතපසුවීම් සිදු විය හැකියි.

එළවළු, පලතුරු පමණක් නොවෙයි මාංසමය ආහාර පවා සකස් කරන ආකාරය අනුව විවිධ හැඩතලවලට කපා ගත යුතුය. එමනිසා බොහෝ දෙනෙක් ආහාරයට ගන්නා මාළු, විවිධ ක්‍රමවලට සැකසීමේ දී කපා ගන්නා ආකාරයන් ගැන ඔබත් දැනුවත් වන්න.

* මාළුවලින් මෝජු සකස් කරන විට මාළු කපා ගත යුත්තේ කුඩා කැබැලිවලටයි. මෝජුවේ ඇති විවිධ රසයන් මාළු කැබැලිවලට ලැබී මාළු මෝජුව වඩාත් රසවත් වන්නේ එසේ කුඩා කැබැලි ලෙස මාළු කපා ගැනීමෙනි.

* මාළු විනාකිරි තියල් (ෆිෂ් විනෙගර් මැරිනේඩ්) කිරීම සඳහා කපා ගත යුත්තේ මඳක් ලොකු කැබැලි ලෙස වුවත් එය එතරම් ඝනකම නොමැතිව සිහින්ව කපා ගත යුතුයි. විනාකිරි හා අනෙකුත් ද්‍රව්‍ය හොඳින් මාළු කැබැල්ලට උරා ගැනීමට මෙය පහසුවක් වේ.

* තෝර මාළු පොල්කිරි තියල් බත්, ඉඳි ආප්ප, පාන්, තෝස, පිට්ටු ආදී ඕනෑම ආහාරයක් රස විඳීමට හැකි රසවත් මාළු කරියකි. මෙය සෑදීමේ දී මාළු පෙති ලෙස කපා ගත යුතුයි. මෙහිදී මාළු හොඳින් තම්බන නිසා තරමක ප්‍රමාණයේ පෙති ලෙස කපා ගැනීම සුදුසු ය. නැතිනම් මාළු කැබැලි පොඩි වී යා හැකියි.

* බොහෝ විට මිරිසට සකසන මාළුවල රසය නිසා අනෙක් ව්‍යාංජනවල රසය දෙගුණ වන බව ඔබත් අත්දැකීමෙන්ම දන්නවාට සැක නැහැ. තෝර මාළු මිරිසට සැකසීමේ දී ද මාළු තරමක පෙති ලෙස කපා එම පෙති නැවත දෙකට කපා අඟලක පමණ ප්‍රමාණයට කැබැලි කපා ගැනීම සුදුසු ම ක්‍රමයයි.

* ෆිෂ් ෆින්ගර්ස් බොහෝ දෙනෙක් වැඩි කැමැත්තක් දක්වන ආහාරයක්. සාදයක දී රස විඳීමට වැඩි අවස්ථාවක් ලැබෙන ෆිෂ් ෆින්ගර්ස් සැකසීම පසු වුවත් එහි කැපුම නම් එතරම් පහසු නෑ. මාළුවල කටු නැති වන සේ අඟල් කාලක පමණ ඝනත්වයක් ඇතිවත් අඟල් දෙකක පමණ දිග ප්‍රමාණය ඇතිවත් තීරු ලෙස කපා ගත යුතුයි. මාළු එලෙසින් කපා ගත් විට එහි බිස්කට් කුඩු දවටා ගැඹුරු තෙලේ බැදීමෙන් සකසා ගන්නා මේ ආහාර වර්ගය සැකසීම නම් ඉතාම පහසුයි.

* මාළු තෙලේ බැද සකසා ගන්නා ආහාරවල ද ඇත්තේ ඉමිහිරි සුවඳක් මුසු වූ රසයකි. මෙසේ මාළු බැදීම සඳහා කපා ගන්නා විට අඟල් කාලක පමණ ඝනත්වයක් ඇති සේ අඟල් එකහමාරක් දෙකක් පමණ දිගට මාළු කැබැලි කපා ගත යුතුයි. මන්ද බැදීමේ දී මාළු කැබැලි ඇකිලී ප්‍රමාණය කුඩා වන බැවිනි.

* මාළු කූරියා පිටින් බේක්කර සැකසීමේ දී මාළුවාගේ දෙපැත්තෙන්, පිට පෙදෙසින් හරස් අතට තරමක ප්‍රමාණයේ කැපුම් කිහිපයක් යෙදිය යුතුයි. එසේ කරන්නේ යොදන රසකාරක එයට හොඳින් උරා ගැනීමට හා මාළුවා හොඳින් තැම්බීම සඳහා ය.

එසේ නම් මෙතෙක් දවසක් එකම ක්‍රමයකට මාළු කපා විවිධ ක්‍රමවලට සකස් කළ ඔබට අද පටන් මාළු විවිධ ක්‍රමවලට සැකසීමේ දී ඒ සඳහා වෙනස් ක්‍රමවලට කපා රසයත්, ගුණයත් වැඩිකර ගත හැකියි.