වටිනාකමින් ඉහළ වැන්ඩා ඕකිඩ්

නොවැම්බර් 3, 2021

 

එක යායට පිපී දිලෙන අපූරු ඕකිඩ් මල් ගොමුවක අසිරිය දැකගන්නට අකැමැති කවුරුන් ද ? විඩාබර නෙත සිත මොහොතකට දැහැන්ගත කරවන මේ මල් යාය ඔබේ අතමිට සරු කරවන කදිම ආදායම් මාර්ගයකි.

 

ඉතින් සුන්දරත්වය සේම අමතර ආදායමක් ලබාගන්නට නම් මේ ඕකිඩ් වගාව පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතුය. විශේෂයෙන්ම ඉහළ ආදායමක් ලබන්නට නම් වැඩි අස්වැන්නක් එනම් වැඩි මල් ප්‍රමාණයක් කපා ගත හැකි, සරුවට වැඩෙන ඕකිඩ් වර්ග පිළිබඳ ඔබ දැනගත යුතුය. එමෙන්ම ඒවා ක්‍රමානුකූලව හොඳ ආදායමක් ලබාගත හැකි පරිදි වගා කර ගැනීම පිළිබඳත් ඔබේ අවධානය යොමුකළ යුතු වේ.

ඒ පිළිබඳ ක්‍රමානුකූල දැනුමක් ඔබට ලබා දෙන මේ විශේෂාංගය ඔස්සේ පසුගිය කාලයේ අප ඔබට රැගෙන ආවේ ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් වර්ගය වගා කරන අන්දම පිළිබඳයි. ඊට අමතරව වැන්ඩා සහ එම ගණය ආශ්‍රිත ඕකිඩ් වගාවෙන් ද ඉහළ ආදායමක් හිමිකර ගත හැකි වේවි. එසේ නම් අද අපි වැන්ඩා සහ එම ගණය ආශ්‍රිත ඕකිඩ් වර්ග මොනවාදැයි හඳුනාගනිමු.

 

වැන්ඩා වර්ගයේ ඕකිඩ්

 

• වැන්ඩා (Vanda)

• ඇස්කොසෙන්ඩා (Ascocenda)

• ඇරැන්ඩා (Aranda)

• රයිකොවැන්ඩා ( Rhycovanda)

• රෙනන්තරා (Renanthera)

 

ආදී වශයෙන් කැපූ මල් සඳහා වවන තවත් ඕකිඩ් වර්ග කිහිපයක්ම වේ.

 

• පටි ආකාර එනම් ස්ට්‍රැප් (Strap)

• නාළාකාර ටෙරීට් (Terete)

වශයෙන් ද වැන්ඩා වර්ග දෙකකි.

 

ඊට අමතරව බොහෝ දෙනකු ගෝනුසු මල් ලෙසින් හඳුන්වන ඕකිඩ් වර්ගයේ ඇරෙන්ඩා වර්ග ද තවත් අය නරි වල්ග ( Foxtail) ලෙසින් හඳුන්වන රින්කොස්ටයිලිස් (Rhynchostylis) සහ ඒවායේ දෙමුහුන් ද පූර්ණ සූර්යාලෝකයක් ලැබෙන නිවර්තන දේශගුණයේ ඉතා හොඳින් වැවිය හැකිය.

 

 

කැපූ මල් ලෙසින් වටිනාකම අවමයි

 

නාළාකාර විශේෂයක් වන වැන්ඩා ජෝකීම් (Vanda Joaquim - සිංගප්පූරුවේ ජාතික පුෂ්පය ) සහ වැන්ඩා ඩයනා (vanda Diana) යනුවෙන් ද වැන්ඩා වර්ග දෙකකි. මේවා එළිමහනේ පහසුවෙන් වගා කළ හැකි ඕකිඩ් වර්ගයි. ටික කාලයක දී විශාල පඳුරක් බවට පත්වන මෙම වැන්ඩා වර්ග වල මල් වල ආයු කාලය ඉතා අඩුය. එම නිසා කැපූ මල් සඳහා වැන්ඩා ජෝකීම් හෝ වැන්ඩා ඩයනා වගාකිරීමේ වටිනාකමක් නැත.

 

ඉහළ වටිනාකමක්

 

ඉහත සඳහන් කළ වැන්ඩා වර්ග දෙක සුන්දරත්වයෙන් සේම රටක ජාතික පුෂ්පයක් ලෙසින් වැදගත්කමක් ඉසිලුවද කැපූ මල් ලෙසින් වටිනාකමක් නොදක්වයි. නමුත් පටි ආකාරයේ වැන්ඩා ( Strap leaved vanda) යනු කැපූ මල් වශයෙන් ඉතා අධික වටිනාකමක් ඇති ඕකිඩ් වර්ගයකි. මේවායේ ඇතැම් වර්ගවල මලක විශ්කම්භය සෙන්ටිමීටර් 15ක් පමණ වේ.

වැන්ඩා සැන්ඩරියානා (Vanda Sanderiana) සහ (Euanthe Sanderiana ) රෝස පැහැයේ සිට මෙරුන් පැහැය දක්වා වර්ණයේ ඕකිඩ් මල් ඔබට ලබාදෙන අතර වැන්ඩා කොයිරුලා (Vanda Coerulea) නිල් පැහැති සොඳුරු මල් පිරිනමයි. එමෙන්ම මේවායේ දෙමුහුන් වර්ග ද ඉතාමත් ආකර්ෂණීය රටාවන් සහ මනරම් පැහැයන්ගෙන් යුක්ත වේ. මේ වර්ගවල එක් මල් කිනිත්තක මල් දහයත් පහළොවත් අතර හට ගැනේ. ඒ වාගේම මේ වැන්ඩා වර්ගවල ආයු කාලය ද ඉතා දීර්ඝයි. එබැවින් කැපූ මල් ලෙසින් වැඩි කාලයක් තබා ගත හැකි නිසා වටිනාකමින් ද ඉතා ඉහළයි.

 

 

උපදෙස්

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ