නිසි කලට වේලාවට වැනිලා අස්වැන්න නෙළා ගනිමු

නොවැම්බර් 3, 2021

 

අපේ දිවට දැනෙන විවිධාකාරයේ රස අතරින් නොවැරැදීම හඳුනාගත හැකි අපූරු රසයයි වැනිලා. ඒ වගේම දවස පුරාම අපේ නාසයට දැනෙන ඉමිහිරි සුවඳ අතර බොහෝ දුරට මේ වැනිලා සුවඳ හඳුනාගත හැකියි.

ඒ කෙසේ වුවත් වැනිලා ගැන අපිට තිබෙන්නේ අඩු දැනුමකි. විශේෂයෙන්ම වැනිලා වගා කිරීම සහ ඒවා භාවිතයට සුදුසු පරිදි සකස් කරන ආකාරය ගැන බොහෝ දෙනකු නොදන්නා කාරණා බොහොමයි. 

ඒ වාගේම වැනිලා වගාව කියන්නෙ දිවි ගැට ගහගන්න වෙර දරන මිනිසුන්ට හොඳ ආදායම් මාර්ගයක්.

මේ නිසා ක්‍රමානුකූලව වැනිලා වගාවක් පවත්වාගෙන යන ආකාරය වගේම ඒවායේ අස්වැන්න සකසා ගන්නා ආකාරයත් මෙලෙස අපි ඔබට රැගෙන එන්නෙමු.

මේ වනවිට වැනිලා වැල් සිටුවීම වාගේම ඒවායේ මල් පරාගනය කරන ආකාරය පිළිබඳ අපි ඔබට පැහැදිලි කළෙමු. මෙහිදී

වැනිලා මල් පරාගනය පිළිබඳ ඔබට නිසි අවබෝධයක් නොමැති නම් ඔබේ ප්‍රදේශයේ අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන්ගෙන් හෝ ඔබට අදාළ දිස්ත්‍රික්කයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවලින් විමසා මේ පිළිබඳ පුහුණුවක් වුවද ලබා ගත හැකි බව අමතක කරන්න එපා.

කරල් හටගැනීම

 

පරාගනය හරිහැටි සිදු නොවුණේ නම් එම මල් පසුදිනම හැලී යන බව අප සඳහන් කළා ඔබට මතක ඇති. එසේ නොහැලි නිසිලෙස පරාගනය වූ මල්, ටික දිනකින් කරල් බවට පත් වේ. මෙලෙස කරල් හටගෙන මාස 2කට පසුව අඟල් 4ට වඩා දිගින් අඩු කරල් කඩා ඉවත් කළ යුතුයි. එමඟින් ඉතිරිවන කරල් යොදා පළමු ශ්‍රේණියේ වැනිලා කරල් නිෂ්පාදනය කර ගැනීමට හැකියාව පවතී.

මෙහිදී එක පොකුරක කරල් 10ක් හෝ 15ක් තබා ගන්න. ඒ අයුරින් වැලක කරල් 100 - 150ක් පමණ වර්ධනය වීමට ඉඩ හරින්න.

මේ වැනිලා කරලක් මේරීම සඳහා මාස 8 සිට 9ක අතර කාලයක් ගතවීමට පුළුවන්. මෙම කාලය තුළ වැල් හොඳින් නඩත්තු කරන්න. ඊට හේතු වන්නේ එසේ නොකළහොත් පිරිපුන් වැනිලා කරලක් ඔබට ලබා ගත නොහැකිවීමයි. එනිසා පරාගනයෙන් පසු සෙවණ හොඳින් ලබාදීම, සුළඟින් ආරක්ෂා කිරීම, වැල මැලවීමට නොදී අවශ්‍ය විටෙක නොකඩවා ජලය ලබාදීම ඔබ විසින් අනිවාර්යයෙන් කළ යුත්තකි.

 

අස්වැන්න නෙළීම

 

මෙලෙස අප්‍රේල් මාසයේ පරාගනය වු මලකින් හටගන්නා කරලක් ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් යන මාසවලදී අස්වනු නෙළන මට්ටමට පැමිණේ. එහිදී වැනිලා කරලේ අග කෙළවරින් සෙ.මී 01ක් පමණ ළා කහ පාටට පැහැය වෙනස්වේ. එවිට කරල් නෙළීමට වග බලා ගන්න. කරල් මෝරා වැඩි වු විට පිපිරීමට තිබෙන ඉඩකඩ වැඩි අතර එවිට එහි ගුණාත්මකබව ද අඩු වේ. එසේම කොළ පාටින් යුතු නොමේරූ වැනිලා කරල් නෙළීමට සුදුසු නොවේ. ඒවායින් සකස් කරන නිෂ්පාදනවල ගුණාත්මකබව ද අඩු වේ.

කෙසේ වෙතත් පොකුරක ඇති වැනිලා කරල් දින 15ත් 25ත් අතර කාලයක් තුළ එකිනෙක අවස්ථාවලදී මෝරන නිසා ඒ අනුව එකින් එක නෙළීම සිදු කළ යුතුය. අස්වනු නෙළීමේ වාරය සති 8 – 10න් අවසන් විය යුතු වේ. වැනිලා අස්වනු නෙළන ප්‍රධාන කාලයේ දී සතියකට දෙවරක් ද ඉතිරි කාලයේ දී සතියකට වරක් ද අස්වනු නෙළන්න. මෙහිදී හොඳින් මෝරා ඇති කරල් මැදින් එසවු පසු පහසුවෙන් පොකුරෙන් වෙන් වේ. එය කරල් හොඳින් මෝරා ඇතිබවට සාධකයකි. කරල් නෙළීමේ දී පොකුරට හානියක් සිදු නොවන්නට වග බලා ගත යුතුයි.

වියළි වැනිලා කරල් කිලෝග්‍රෑම් 01ක් සඳහා හොඳින් මේරූ අමු වැනිලා කරල් 60ක් 70ක් පමණ අවශ්‍ය වේ.

නෙළාගත් වැනිලා කරල්වල ප්‍රමාණය, ගුණාත්මක බව හා මේරූ ප්‍රමාණය අනුව වර්ග කරනු ලබයි. වැනිලා අස්වනු සැකසීමට පෙර මෙලෙස වර්ග කිරීම ඉතා වැදගත් වන්නකි.

 

කරල් පදම් කිරීම

 

නිසිලෙස නෙළා ගත් වැනිලා අස්වැන්න වෙළෙඳපොළ සඳහා ඉදිරිපත් කිරීමට පෙර මනාව පිරිසුදුව සකසා ගතයුතු වේ. මන්ද වැනිලා කරලට හොඳ වටිනාකමක් ලැබෙන්නේ මෙම පදම් කිරීම එහෙ

ත් නැත්නම් සැකසීම මඟිනුයි.

එලෙස පදම් කිරීම සඳහා මාස 05ක පමණ කාලයක් ගතවන අතර එයද ක්‍රමානුකූලව නිසිලෙස කළ යුත්තකි. එබැවින් ක්‍රමානුකූලව වැනිලා කරල් පදම් කරන ආකාරය අපි ලබන සතියේ සොයා බලමු

.

උපදෙස් -

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ,

මාධ්‍ය හා සන්නිවේදන අංශයේ,

දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු

 

 

 ඡායා - ලසන්ත අබේරත්න