උගුරේ යමක් සිරවුවහොත්...

ඔක්තෝබර් 16, 2019

දිලුම් සහ නෙලුම් විවාහ දිවියට ඇතුළත් වෙලා තාම වැඩි දවසක් නැහැ. සතුටු සිනා සපිරි මේ යුග ජීවිතය හරිම ආදරණීයයි. ඒත් නොසිතූ මොහොතක සිදුවූ විපතක මහත....

එදා රාත්‍රී ආහාරය ගත්තු දිලුම් රූපවාහිනිය දෙසම නෙත් දල්වාගෙන හිටියේ ක්‍රිකට් තරගයේ උණුසුම මැද. මුළුතැන්ගෙයි වැඩ කටයුතු ලහි ලහියේම අවසන් කළ නෙලුම්, දිලුම් අසළින් වාඩිවුණේ ඇපල් ගෙඩියක් කැබලි කපමින්. ඇසිපිය නොහෙලා තරගය නරඹන තම සැමියාගේ කටට ඇපල් කැබැල්ලක් දැමුවේ ඇගේ ආදරය සමඟ හුරතලයත් කියාපාමින්. ඒත් ඒ ආදරණීය විහිළුව දිලුම්ට රැගෙන ආවේ නොසිතූ නොපැතූ විපතක්.

ඔබටත් ඇතැම්විට මෙවැනි මොහොතකට මුහුණදීමට සිදුවුවහොත්.... විශේෂයෙන්ම නොසිතූ මොහොතක උගුරේ යමක් සිරවුවහොත් මේ උපදෙස් දැනසිටීම ඉතා වැදගත්.

 

  •  ඕනෑම පුද්ගලයකුගේ උගුරේ යමක් සිරවුවහොත් පළමුව ඔහුට කතාකර කහින්න හැකිදැයි බලන්න. හැකිනම් තදින් කහින ලෙස උපදෙස් දෙන්න.
  •  එලෙස කහින්නට බැරිනම්.....
  •  පිටට පහරවල් 05 ක් ගසන්න.
  •  මෙහිදී එක් අතකින් රෝගියා ස්ථාවරව තබාගන්න. අනෙක් අත පිටෙහි උරපතු දෙක අතරට තබන්න. පහරවල් පහක් ගසන්න. (ගැඹුරට ගසමින් උඩට පිටතට පීඩනය යොදන්න)
  • බලන්න හිරවූ දෙය එළියට පැමිණේ ද කියා.
  •  නැතිනම්.....
  •  උදර තෙරපුම් 05 ක් ලබාදෙන්න.
  •  නාභියට උඩින් අත් තබා උදරය ඇතුළට පීඩනය යොදමින් පිටතට මුදාහරින පහරවල් පහක් ගසන්න. එය මාරුවෙන් මාරුවට සිදුකරන්න.
  •  ගැබිනි කාන්තාවක් නම් මෙලෙස උදර තෙරපුම සුදුසු නොවේ.
  •  එවැනි අවස්ථාවක නම් පිටට පහර 05 ක් සහ පපු තෙරපුම් 05 ක් ලබාදෙන්න.
  •  මෙලෙස උගුරේ සිරවූ දෙයින් හුස්ම නතර වූයේ නම්...
  • පපු තෙරපුම් 30 ට හුස්ම වාර දෙකක් බැගින් ලබාදෙමින් කඩිනමින් රෝහල වෙත රැගෙන යන්න.

උපදෙස්

කොළඹ ජාතික රෝහලේ

ජාතික පුහුණු කිරීමේ

හෙද නිලධාරිනී

පුෂ්පා රම්‍යානි සොයිසා